1

ආරම්භය. පසුතැවිලිවීමට ආරාධනාව

1 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ අටවෙනි මාසයේදීස්වාමීන්වහන්සේගේවචනය ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතට පැමිණ කියනුයේ: 2 ස්වාමීන්වහන්සේනුඹලාගේ පියවරුන් කෙරෙහි ඉතා අප්‍රසන්නවූසේක. 3 එබැවින්: සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න–මා වෙතට හැරීඑන්නැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක, එවිට මම නුඹලා වෙතට හැරීඑන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 4 නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයිස්වාමීන්වහන්සේකියනසේක. 5 නුඹලාගේ පියවරු කොයිද? අනාගතවක්තෘවරු සැමකල්ම ජීවත්වෙද්ද? 6 නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවලස්වාමීන්වහන්සේඅපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.

රතු අශ්වයෙකු පිට නැගී ඉන්නෙක් නම්වූ දර්ශනය

7 දාරියුස්ගේ දෙවෙනි අවුරුද්දේ ෂෙබාට් නම්වූ එකොළොස්වෙනි මාසයේ විසිහතරවෙනිදා ඉද්දෝගේ පුත්‍රයා වන බෙරෙකියාගේ පුත්‍රවූ අනාගතවක්තෘවූ සෙකරියා වෙතටස්වාමීන්වහන්සේගේවචනය පැමිණ මෙසේ කීයේය: 8 මම රාත්‍රියේදී බලා මනුෂ්‍යයෙක් රතු අශ්වයෙකු පිට නැගී ඉන්නවා දුටිමි, ඔහු පහළ තිබුණු රටමරඳ ගස් අතරේ සිටියේය; ඔහුට පිටිපස්සේ රතුවූ දුඹුරුවූ සුදුවූ අශ්වයෝ සිටියෝය. 9 එවිට මම: මාගේ ස්වාමිනි, මොව්හු කවුරුදැයි ඇසුවෙමි. මා සමග කථාකළ දූතයාද: මොව්හු කවුරුද කියා මම නුඹට පෙන්වන්නෙමියි කීවේය. 10 එවිට රටමරඳ ගස් අතරේ සිටි මනුෂ්‍යයා උත්තරදෙමින්: මොව්හු වනාහි පොළොවෙහි ඇවිදින්ටස්වාමීන්වහන්සේවිසින් ඇරිය තැනැත්තෝයයි කීවේය. 11 ඔව්හු රටමරඳ ගස් අතරේ සිටිස්වාමීන්වහන්සේගේදූතයාට උත්තරදෙමින්: අපි පොළොවෙහි ඇවිද්දෙමුව, මුළු පොළොව නිස්කලංකව නිශ්චලව තිබේයයි කීවෝය. 12 එවිටස්වාමීන්වහන්සේගේදූතයා උත්තරදෙමින්: සේනාවලස්වාමීන්වහන්ස,ඔබ විසින් දැනට සැත්තෑ අවුරුද්දක් උදහස දැක්වූ යෙරුසලමටත් යූදාහි නුවරවලටත් කොපමණ කල් අනුකම්පා නොකර සිටිනසේක්දැයි කීවේය. 13 ස්වාමීන්වහන්සේමා සමග කථාකළ දූතයාට යහපත්වූ සැනසිලිදායක වචනවලින් උත්තර දුන්සේක. 14 මා සමග කථාකළ දූතයාද: නුඹ මොරගසා මෙසේ කියන්න–සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් ජ්වලිතව සිටිමි. 15 නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය. 16 එබැවින්ස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක, ලනුවක්ද යෙරුසලම උඩ අදිනු ලබන්නේය. 17 නැවත මොරගසා මෙසේ කියන්න: සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක. නැවත මාගේ නුවරවලින් යසස ඉතිරීයන්ටත්ස්වාමීන්වහන්සේවිසින් සියොන් නැවත සනසා යෙරුසලම නැවත තෝරාගන්ටත් යෙදේයයි කීය.

අං සතර සහ ආචාරියන් සතර දෙනා නම්වූ දර්ශනය

18 තවද මාගේ ඇස් ඔසවා බැලූ විට අං සතරක් දුටිමි. 19 එවිට මම: මේවා මොනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. මේවා යූදා සහ ඉශ්‍රායෙල්ද යෙරුසලමද විසිරෙවු අංයයි ඔහු මට කීවේය. 20 ස්වාමීන්වහන්සේද ආචාරියන් සතරදෙනෙකු මට පෙන්වූසේක. 21 එවිට මම: මොවුන් මක්කරන්ට එනවාදැයි ඇසීමි. උන්වහන්සේ කථාකොට: මේවා වනාහි කිසිවෙකු විසින් තමාගේ හිස නොඔසවන තරම් යූදා විසුරුවා දැමූ අංය. මොවුන් එන්නේ ඒවා භයගන්වා, යූදා දේශය විසුරුවාදමන්ට අඟ එසෙවූ ජාතීන්ගේ අං හෙළාදමන්ටයයි කීසේක.

2

මනින ලනුව ඇති මනුෂ්‍යයා නම්වූ දර්ශනය

1 තවද මා ඇස් ඔසවා බැලූ විට මනුෂ්‍යයෙක් මනින ලනුවක් තමාගේ අතේ ඇතුව ඉන්නවා දුටිමි. 2 එවිට මම: නුඹ කොතනට යනවාදැයි ඇසීමි. යෙරුසලමේ පළල කොපමණද කියාත් දිග කොපමණද කියාත් මැන බලන පිණිසයයි මට කීවේය. 3 එවිට මා සමග කථාකළ දූතයා පිටත්ව ගියේය, වෙන දූතයෙක් ඔහුගේ පෙරමගට ඇවිත් ඔහුට කථාකොට: 4 නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය. 5 මක්නිසාද මම්ම ඒක අවට ගිනි පවුරක්ව ඒක තුළ තේජසව සිටින්නෙමියි කියාස්වාමීන්වහන්සේකියනසේකැයි කියන්නැයි කීය. 6 හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා එන්නැයිස්වාමීන්වහන්සේකියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග හුළං මෙන් නුඹලා විසිරෙවුවෙමියිස්වාමීන්වහන්සේකියනසේක. 7 මෙන්න, බබිලෝන් දුව වෙත වසන සියොන්, මිදී වරෙන්න. 8 මක්නිසාද සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය. 9 එසේය, මම ඔවුන්ට විරුද්ධව මාගේ අත සොලවන්නෙමි, ඔව්හු තමුන්ට මෙහෙකළවුන්ට කොල්ලයක් වන්නේය. සේනාවලස්වාමීන්වහන්සේමා යැවූ බව නුඹලා දැනගන්නවා ඇත. 10 සියොන් දුවණියෙනි, ගී කියා ප්‍රීතිවෙන්න. මක්නිසාද මම ඇවිත් නුඹ තුළෙහි වාසයකරන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේක. 11 ඒ කාලයෙහි බොහෝ ජාතීහුස්වාමීන්වහන්සේටඑකතුවී මාගේ සෙනඟ වන්නෝය. මම නුඹ තුළෙහි වාසයකරන්නෙමි, නුඹද සේනාවලස්වාමීන්වහන්සේමා නුඹ ළඟට එවූ බව දැනගන්නෙහිය. 12 ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක. 13 මාංසමයවූ සියල්ලෙනි,ස්වාමීන්වහන්සේඉදිරියෙහි නිශ්ශබ්දවෙන්න. මක්නිසාද උන්වහන්සේ ස්වකීය ශුද්ධ වාසස්ථානයෙන් නැගුටුණුසේක.

3

උත්තම පූජකයාවූ යෝෂුවා නම්වූ දර්ශනය

1 තවද උත්තම පූජකයාවූ යෝෂුවාස්වාමීන්වහන්සේගේදූතයා ඉදිරියෙහිද, ඔහුගේ එදිරිකාරයා වන පිණිස සාතන් ඔහුගේ දකුණු පැත්තෙහිද සිටිනවා ඔහු මට පෙන්නුවේය. 2 ස්වාමීන්වහන්සේසාතන්ට කථාකොට: සාතන්,ස්වාමීන්වහන්සේනුඹට තරවටුකරනසේක්වා; එසේය, යෙරුසලම තෝරාගත්ස්වාමීන්වහන්සේනුඹට තරවටුකරනසේක්වා. මොහු ගින්නෙන් ඇදලාගත් පෙනෙල්ලක් නොවේදැයි කීසේක. 3 යෝෂුවා වනාහි කිලුටු වස්ත්‍ර ඇඳගන දූතයා ඉදිරියෙහි සිටියේය. 4 දූතයා තමා ඉදිරියෙහි සිටිය තැනැත්තන්ට කථාකොට: කිලුටු වස්ත්‍ර ඔහුගෙන් ගළවාදමන්නයි කීය. තවද ඔහුට කථාකොට: මෙන්න නුඹේ අපරාධකම නුඹෙන් පහකෙළෙමි, මංගල්‍ය වස්ත්‍ර නුඹට පළඳවමියි කියා– 5 මොහුගේ හිසේ ශෝභන මකුටයක් තබත්වයි කීය. එසේ ඔව්හු ශෝභන මකුටයක් ඔහුගේ හිසේ තබා ඔහුට වස්ත්‍ර පැළඳවූවෝය;ස්වාමීන්වහන්සේගේදූතයාද නැගිට එහි සිටියේය. 6 එවිටස්වාමීන්වහන්සේගේදූතයා යෝෂුවාට අනුශාසනාකරමින්: 7 සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක–නුඹ මාගේ මාර්ගවල හැසිර, මාගේ භාරය රක්ෂාකරන්නෙහි නම්, නුඹට මාගේ ගෘහය විනිශ්චය කරන්ටත් මාගේ මණ්ඩප බලාගන්ටත් ලැබෙයි, මෙහි සිටින මොවුන් අතරේ ළඟාවිය හැකි ස්ථානයක් නුඹට දෙන්නෙමි. 8 ඉතින් උත්තම පූජකයාවූ යෝෂුවා, නුඹ අසන්න, නුඹ ඉදිරියෙහි ඉඳගන්නාවූ නුඹේ සහායකාරයන්ද සලකුණක් පිණිස වූ මනුෂ්‍යයන් බැවින් ඔව්හුද අසත්වා. මක්නිසාද මාගේ මෙහෙකරුවාවූපැළෑටියපැමිණෙන්ට සලස්වන්නෙමි. 9 මෙන්න, යෝෂුවා ඉදිරියේ මා විසින් තබා තිබෙන ගල වූ ඒ එක ගල පිට ඇස් සතක් ඇත්තේය. මම්ම එහි කැටයම්කරන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක, ඒ දේශයේ අපරාධය එක දවසකින් පහකරන්නෙමි. 10 ඒ කාලයෙහි නුඹලා එකිනෙකා තම තමාගේ මිත්‍රයා මුද්‍රිකවැල යටටත් අත්තික්කා ගස යටටත් කැඳවාගන යනවා ඇතැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේකැයි කීය.

4

රන් පහන් රුක සහ ඔලීව අතු දෙක නම්වූ දර්ශනය

1 මා සමග කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා: 2 නුඹට පෙනෙන්නේ මොකදැයි මාගෙන් ඇසුවේය. මමද: මුළුමනින්ම රන්මයවූ පහන් රුකක් මට පෙනෙයි; ඒකේ මුදුනේ ඒකේ භාජනයත් ඒක උඩ ඒකේ පහන් සතකුත්, ඒක උඩ තිබෙන පහන්වලට නළ සතකුත්, 3 ඒක ළඟ පාත්‍රයට දකුණෙන් එකක්ද වමෙන් එකක්ද බැගින් ඔලීව ගස් දෙකකුත් තිබේයයි කීවෙමි. 4 තවද මා සමග කථාකළ දූතයාට මම උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, මේවා මොනවාදැයි ඇසුවෙමි. 5 මා සමග කථාකළ දූතයා මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි මට කීවේය. මාගේ ස්වාමිනි, නැතැයි මම කීවෙමි. 6 එකල ඔහු මට උත්තරදෙමින්: සෙරුබ්බාබෙල්ටස්වාමීන්වහන්සේගේවචනය මේය. එනම්, බලයෙන්වත් ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන්යයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 7 එම්බා මහත් කන්ද, නුඹ කවුද? සෙරුබ්බාබෙල් ඉදිරියෙහි නුඹ සමභූමියක් වන්නෙහිය. ඔහුද: ඊට කරුණාව ලැබේවා, කරුණාව ලැබේවයි මොරගසමින් ප්‍රධාන ගල පිටතට ගෙනෙනවා ඇතැයි කීය. 8 තවදස්වාමීන්වහන්සේගේවචනය මා වෙතට පැමිණ කියනුයේ: 9 සෙරුබ්බාබෙල්ගේ අත්වලින් මේ ගෘහයේ අත්තිවාරම තැබුවාක්මෙන් ඔහුගේ අත්වලින් ඒක තීන්දුකරනවා ඇත; එසේ සේනාවලස්වාමීන්වහන්සේනුඹලා ළඟට මා එවූ බව නුඹ දැන ගන්නවා ඇත. 10 මක්නිසාද කුඩා දේවල දවස හෙළාදැක්කේ කවුද? මේ සත වනස්වාමීන්වහන්සේගේඇස් තුමූ සෙරුබ්බාබෙල්ගේ අතේ ලඹකැටය තිබෙනවා දැක ප්‍රීතිවන්නෝය; ඒවා පොළොව මුළුල්ලෙහි ඔබ මොබ දුවතියි කීය. 11 මම තවත් කථාකොට: පහන්රුකට දකුණෙනුත් වමෙනුත් තිබෙන මේ ඔලීව ගස් දෙක මොනවාදැයි ඔහුගෙන් අසා, 12 නැවත කථාකොට: රන් නළ දෙකෙන් රන් වැනි තෙල් වත්කරදෙන ඔලීව අතු දෙක මොනවාදැයි ඔහුගෙන් ඇසුවෙමි. 13 ඔහු මට උත්තරදෙමින්: මේවා මොනවාද කියා නුඹ දන්නේ නැද්දැයි ඇසුවේය. මාගේ ස්වාමිනි, නැතැයි කීමි. 14 මොව්හු මුළු පොළොවේස්වාමීන්වහන්සේවෙත සිටින ආලේපලත් දෙදෙනායයි ඔහු කීය.

5

ඉගිලෙන අකුළාපු පොත නම්වූ දර්ශනය

1 නැවත මම මාගේ ඇස් ඔසවා බැලීමි, එවිට අකුළන පොතක් ඉගිලයනවා දුටිමි. 2 නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඔහු මාගෙන් ඇසුවේය. මමද: අකුළන පොතක් ඉගිලයනවා මට පෙනෙයි; එහි දිග රියන් විස්සක්ය, පළල රියන් දසයක්යයි කීමි. 3 එවිට ඔහු මට කථාකොට: මේක දේශය මුළුල්ලෙහි පිටත්ව යන ශාපයය. මක්නිසාද එහි මේ පැත්තේ ලියා තිබෙන හැටියට, සොරකම්කරන සියල්ලෝ පහකරනු ලබන්නෝය; එහි අනිත් පැත්තේ ලියා තිබෙන හැටියට බොරුවට දිවුරන සියල්ලෝද පහකරනු ලබන්නෝයයි කීය. 4 ඒක සොරාගේ ගෙටත් මාගේ නාමයෙන් බොරුවට දිවුරන අයගේ ගෙටත් වැද, ඔහුගේ ගෙය තුළ නැවතී, එහි දඬුත් ගලුත් ඇතුළුව නැතිකරන පිණිස පිටත්කර හරින්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේකැයි කීවේය.

5 එවිට මා සමග කථාකළ දූතයා පිටතට ඇවිත් මට කථාකොට: මේ පිටතට එන්නේ මොකද කියා නුඹේ ඇස් ඔසවා බලන්නැයි කීවේය. 6 ඒක මොකක්දැයි ඇසීමි. එය නම් පිටතට එන ඒඵාවයයි ඔහු කීවේය. තවද මුළු දේශයෙහි ඔවුන්ගේ පෙනීම මේ ආකාරයයි කීවේය. 7 (බලව, ඊයම් තලෙන්තයක් උස්සනු ලැබුවේය.) එක් ස්ත්‍රියක් ඒඵාව තුළ ඉඳගන උන්නාය. 8 ඔහු: මෑ නම් දුෂ්ටකමයයි කියා. ඇය ඒඵාව ඇතුළට හෙළා, එහි කටට ඊයම් බර තැබුවේය. 9 එවිට මම මාගේ ඇස් ඔසවා බලා, ස්ත්‍රීන් දෙදෙනෙක් එනවා දුටිමි, ඔවුන්ගේ පියාපත්වල හුළඟ තිබුණේය; කනකොකාගේ පියාපත් වැනි පියාපත් ඔවුන්ට තිබුණේය. ඔව්හු අහසටත් පොළොවටත් අතරේ ඒඵාව උස්සාගෙන ගියෝය. 10 එවිට මම: ඒඵාව ඔවුන් කොතනට ගෙනයනවාදැයි මා සමග කථාකළ දූතයාගෙන් ඇසීමි. 11 ෂීනාර් දේශයේ ඈට ගෙයක් ගොඩනගන්ටය. ඒක පිහිටෙවු කල්හි ඈ එහි ඇගේම ඉඩමෙහි සිටුවනු ලබන්නීයයි ඔහු මට කීය.

6

රථ සතර නම්වූ දර්ශනය

1 නැවත මම මාගේ ඇස් ඔසවා බැලූ විට රථ සතරක් කඳු දෙකකට අතරෙන් පිටත්ව එනවා දුටිමි; ඒ කඳු වනාහි පිත්තල කඳුය. 2 පළමුවෙනි රථයට රතු අශ්වයෝද දෙවෙනි රථයට කළු අශ්වයෝද, 3 තුන්වෙනි රථයට සුදු අශ්වයෝද හතරවෙනි රථයට ලප ඇත්තාවූ දුඹුරුපාට අශ්වයෝද යොදා සිටියෝය. 4 එකල මම මා සමග කථාකළ දූතයාට කථාකොට: මාගේ ස්වාමිනි, මේ මොකදැයි ඇසුවෙමි. 5 දූතයා මට උත්තරදෙමින්: මොව්හු මුළු පොළොවේස්වාමීන්වහන්සේඉදිරියෙහි සිට පිටත්ව යන්නාවූ ආකාශයේ හුළං සතරයයි කීවේය. 6 එහි කළු අශ්වයන් බැඳ සිටින රථය උතුරු දේශයට පිටත්ව යයි; සුදු අශ්වයෝ එවුන් පස්සේ ගියෝය; ලප ඇති එවුවෝ දකුණු දේශයට ගියෝය. 7 දුඹුරුපාට එවුවෝ පිටත්ව දේශයෙහි ඇවිදීමට යන්ට වෑයම්කළෝය. ගොස් දේශයෙහි ඇවිදින්නැයි උන්වහන්සේ කීසේක. එවිට උන් දේශයෙහි ඇවිද්දෝය. 8 එකල උන්වහන්සේ මට අඬගසා මට කථාකොට: උතුරු දේශයට පිටත්ව ගිය එවුවෝ උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳෙවුවෝයයි කීසේක.

උත්තම පූජකයාට ඔටුනු පැළදීම නම්වූ දර්ශනය

9 තවදස්වාමීන්වහන්සේගේවචනය මා වෙතට පැමිණ කියනුයේ: 10 වහල්කමට ගිය අයගෙන්, එනම් බබිලෝනියේ සිට ආවාවූ හෙල්දයිගෙන්ද ටෝබියාගෙන්ද යෙදායාගෙන්ද නුඹ රන් රිදී ලබාගන, ඒ දවසේදී ශෙපනියාගේ පුත්‍රවූ යොෂියාගේ ගෙදරට පැමිණ ඇතුල්වී, 11 ඔටුනු සාදා, යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ඉසේ තබා, 12 ඔහුට මෙසේ කියන්න–සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මෙන්න, පැළෑටිය නම්වූ මනුෂ්‍යයා තමන්ගේ ස්ථානයෙන් පැළවී ඇවිත්ස්වාමීන්වහන්සේගේමාළිගාව ගොඩනගනවා ඇත. 13 උන්වහන්සේමස්වාමීන්වහන්සේගේමාළිගාව ගොඩනගා, උන්වහන්සේම මහිමය දරමින්, තමන් සිංහාසනයෙහි වැඩහිඳ ආණ්ඩුකරනසේක; තමන් සිංහාසනයෙහිම පූජකයෙක්වද සිටිනසේක. ඒ දෙදෙනා අතරේද සමාදාන මන්ත්‍රණය තිබෙයි. 14 ඒ ඔටුනු වනාහි හේලෙම්ද ටෝබියාද යෙදායාද ශෙපනියාගේ පුත්‍රවූ හේන්ද උදෙසා සිහිවීමක් පිණිසස්වාමීන්වහන්සේගේමාළිගාවෙහි තිබෙයි. 15 තවද දුර සිටින්නෝ ඇවිත්ස්වාමීන්වහන්සේගේමාළිගාව ගොඩනැගීමට උදව්වන්නෝය, සේනාවලස්වාමීන්වහන්සේමා නුඹලා ළඟට එවූ බව නුඹලා දැනගන්නහුය. නුඹලාගේ දෙවිවූස්වාමීන්වහන්සේගේහඬට නුඹලා ඇත්තටම කීකරුවුණොත් මෙසේ සිදුවේයයි කීයේය.

7

නිරාහාරව ඉඳීම ගැන ප්‍රශ්නය. ඊට ස්වාමීන්වහන්සේගේ උත්තරය

1 දාරියුස් රජුගේ සතරවෙනි අවුරුද්දේ කිස්ලෙව් වන නවවෙනි මාසයේ සතරවෙනිදාස්වාමීන්වහන්සේගේවචනය සෙකරියා වෙතට පැමිණියේය. 2 මක්නිසාද: මෙපමණ අවුරුදුවල කළාක්මෙන් අප පස්වෙනි මාසයේ සැපතින් වැලකී සිට අඬන්ට ඕනෑදැයි කියා සේනාවලස්වාමීන්වහන්සේගේගෘහයෙහි සිටින පූජකයන්ගෙනුත් අනාගතවක්තෘවරුන්ගෙනුත් අසා, 3 ස්වාමීන්වහන්සේඉදිරියෙහි කන්නලව්කරන්ට බෙතෙල්හි වැසියෝ ෂරෙශෙර්ද රෙගෙම්-මෙලෙක්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇරියෝය. 4 එවිට සේනාවලස්වාමීන්වහන්සේගේවචනය මා වෙතට පැමිණ කියනුයේ: 5 නුඹ දේශයේ මුළු සෙනඟටත් පූජකයන්ටත් කථාකරමින්–නුඹලා දැන් සැත්තෑ අවුරුද්දක් පස්වෙනි සහ හත්වෙනි මාසවල නිරාහාරව සිට විලාපකියද්දී නුඹලා නිරාහාරව සිටියේ මා උදෙසාද? 6 නුඹලා කන විටත් බොන විටත් කන්නෙත් බොන්නෙත් නුඹලාම උදෙසා නොවේද? 7 යෙරුසලමෙහිත් ඒ වටකර ඒකේ නුවරවලත් වැසියන් සුවසේ සිටිද්දීද දකුණු දිශාවෙහි සහ පාත රටෙහිත් වැසියන් සිටිද්දීද පළමු අනාගතවක්තෘවරුන් අතින්ස්වාමීන්වහන්සේප්‍රකාශකළ වචන මේවා නොවේද කියා කියන්නැයි කීය.

8 තවදස්වාමීන්වහන්සේගේවචනය සෙකරියා වෙතට පැමිණ කියනුයේ: 9 සේනාවලස්වාමීන්වහන්සේකථාකොට: සැබෑලෙස විනිශ්චයකරන්න, එකිනෙකාට කරුණාවද අනුකම්පාවද පෙන්වන්න. 10 වැන්දඹුවට සහ පියා නැත්තාටත් විදේශියාට සහ අසරණයාටත් පීඩා නොකරන්න; නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුර යෝජනා නොකරල්ලායයි කීසේක. 11 එහෙත් ඔව්හු ඇහුම්කන්දෙන්ට අකැමැතිව, කර ඇරියෝය, නොඅසන පිණිස තමුන්ගේ කන් වසාගත්තෝය. 12 එසේය, ඔව්හු ව්‍යවස්ථාවත් සේනාවලස්වාමීන්වහන්සේතමන් ආත්මයෙන් පළමු අනාගතවක්තෘවරුන් අතින් එවූ වචනත් නාසන ලෙස තමුන්ගේ සිත් වජ්‍රයක් මෙන් කරගත්තෝය. එබැවින් මහත් කෝපයක් සේනාවලස්වාමීන්වහන්සේගෙන්පැමුණුණේය. 13 එසේ උන්වහන්සේ අඬගැසූ කල ඔවුන් නාසා සිටියාක්මෙන් ඔවුන් අඬගසන කල මමත් නාසා සිට, 14 ඔවුන් නොදන්නාවූ සියලු ජාතීන් අතරට සුළිහුළඟකින් ඔවුන් විසුරුවාදමන්නෙමි. මෙසේ ඔවුන් ගියායින් පසු දේශය මැදින් යන එන කෙනෙක් නැතුව ඒක පාළුවෙන හැටියට ඔව්හු ප්‍රියවූ දේශය පාළුවක් කළෝයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේකැයි කීයේය.

8

සෙනඟ අවංකව කීකරුව සිටියොත් ස්වාමීන්වහන්සේ ආශීර්වාදකරන බව

1 තවද සේනාවලස්වාමීන්වහන්සේගේවචනය මා වෙතට පැමිණ කියනුයේ: 2 මම සියොන් උදෙසා මහත් ජ්වලිතයෙන් ජ්වලිතවී, මහත් කෝපයෙන් ඈ ගැන ජ්වලිතව සිටිමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 3 මම සියොන්ට හැරී ආවෙමි, යෙරුසලම තුළද වාසයකරන්නෙමි. යෙරුසලමට සැබෑකමේ නුවරය කියාද සේනාවලස්වාමීන්වහන්සේගේකන්ද වන ශුද්ධවූ කන්දය කියාද නම් තබන්ට යෙදේයයිස්වාමීන්වහන්සේකියනසේක. 4 නැවත මහල්ලෝද මහලු ස්ත්‍රීහුද එකිනෙකා වයස් වැඩිකම නිසා තමාගේ සැරයටිය අතේ තබාගන යෙරුසලමේ වීථිවල ඉඳගන ඉන්නවා ඇත. 5 එහි වීථිවල සෙල්ලම්කරන පිරිමි ළමයින්ගෙන් හා ගෑනු ළමයින්ගෙන් නුවර වීථි පිරී තිබෙන්නේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 6 සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මේ සෙනඟගෙන් ඉතිරි අයට ඒ දවස්වලදී ඒක පුදුමයක්ව පෙනුණත් මටත් පුදුමයක්ව පෙනේදැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 7 බලව, මම මාගේ සෙනඟ නැගෙනහිර දේශයෙන්ද බස්නාහිර දේශයෙන්ද මුදා, ඔවුන් යෙරුසලම තුළ වාසයකරන පිණිස ඔවුන් ගෙනෙන්නෙමි; 8 ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 9 සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: සේනාවලස්වාමීන්වහන්සේගේගෘහය වන මාළිගාව ගොඩනැගීමට එහි අත්තිවාරම තැබූ දවසේදී අනාගතවක්තෘවරුන්ගේ මුඛයෙන් ලැබුණ මේ වචන මේ දවස්වලදී අසන්නාවූ නුඹලාගේ අත් බලවත් වේවා. 10 මක්නිසාද මේ දවස්වලට පළමුවෙන් මනුෂ්‍යයාට කුලියක් ලැබුණේවත් මෘගයාට කුලියක් තිබුණේවත් නැත; පිටතට යන අයටත් ඇතුළට එන අයටත් එදිරිකාරයා නිසා සමාදානය තිබුණෙත් නැත. එසේය, මම සියලු මනුෂ්‍යයන් එකිනෙකාට විරුද්ධකෙළෙමි. 11 නුමුත් දැන් මේ සෙනඟගෙන් ඉතිරි අයට මම පළමු දවස්වල මෙන් නොකරන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 12 මක්නිසාද සමාදාන බීජ තිබෙයි; මුද්‍රිකවැල එහි ඵලද භූමිය එහි අස්වැන්නද ආකාශය එහි පිනිද දෙනවා ඇත; මේ සෙනඟගෙන් ඉතිරි අයට මේ සියල්ල උරුමකරදෙන්නෙමි. 13 එම්බා යූදා වංශය, එම්බා ඉශ්‍රායෙල් වංශය, නුඹලා ජාතීන් අතරෙහි ශාපයක්ව සිටියාක්මෙන් නුඹලා ආශීර්වාදයක් වෙන හැටියට මම නුඹලා ගළවන්නෙමි. භය නොවෙන්න, නුඹලාගේ අත් බලවත් වේවා. 14 මක්නිසාද සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: නුඹලාගේ පියවරුන් මා උදහස්කෙරෙවු විට නුඹලා විපත්තියට පමුණුවන්ට අදහස්කොට මා නොතැවී සිටියාක්මෙන්ම, 15 මේ දවස්වලදී යෙරුසලමටත් යූදා වංශයටත් යහපත කරන්ට මම නැවත අදහස්කරගන සිටිමි. භය නොවෙන්නැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 16 නුඹලා විසින් කටයුතු දේ මේවාය–එකිනෙකා තම තමුන්ගේ අසල්වාසියා සමග සැබෑව කථාකරන්න; නුඹලාගේ දොරටුවල සැබෑලෙසත් සමාදානය පිණිසත් විනිශ්චයකරන්න. 17 නුඹලාගේ සිත්වලින් එකිනෙකාට විරුද්ධව නපුරු යෝජනා නොකරන්න; බොරු දිවිරීමට ප්‍රිය නොවෙන්න. මක්නිසාද මේ සියල්ලටම මම ද්වේෂකරමියිස්වාමීන්වහන්සේකියනසේකැයි කීය.

18 තවද සේනාවලස්වාමීන්වහන්සේගේවචනය මා වෙතට පැමිණ කියනුයේ: 19 හතරවෙනි මාසයේ උපවාසයත් පස්වෙනි මාසයේ උපවාසයත් සත්වෙනි මාසයේ උපවාසයත් දසවෙනි මාසයේ උපවාසයත් යූදා වංශයට ප්‍රීති සන්තෝෂ ප්‍රස්තාවල්ද ප්‍රසන්නවූ මංගල්‍යවල්ද වන්නේය; එබැවින් සැබෑකමටත් සමාදානයටත් ප්‍රේමවෙන්නැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 20 සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: මනුෂ්‍ය වර්ගයෝද බොහෝ නුවරවල වැසියෝද මින්මතු එන්නෝය. 21 එක් නුවරක වැසියෝ තවත් නුවරකට ගොස්–අපිස්වාමීන්වහන්සේටකන්නලව්කරන්ටත් සේනාවලස්වාමීන්වහන්සේසොයන්ටත් ඉක්මනින් පිටත්ව යමු, මමත් යමියි කියන්නෝය. 22 එසේය, බොහෝ සෙනඟද බලවත් ජාතීහුද සේනාවලස්වාමීන්වහන්සේයෙරුසලමෙහි සොයන්ටත්ස්වාමීන්වහන්සේගෙන්කරුණාව ඉල්ලන්ටත් එන්නෝය. 23 ඒ දවස්වලදී සියලු භාෂා ඇති ජාතීන්ගෙන් මනුෂ්‍යයන් දසදෙනෙක්, වස්ත්‍ර කොන අල්ලාගෙන, එසේය, යුදෙව් ජාතියේ මනුෂ්‍යයෙකුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන–අපි නුඹලා සමග යන්නෙමුව, මක්නිසාද දෙවියන්වහන්සේ නුඹලා සමග සිටින බව අප විසින් අසා තිබේයයි කියනවා ඇතැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේකැයි කීය.

9

ඉශ්‍රායෙල්ගේ සතුරන්ට දඬුවම්කිරීම

1 හද්‍රාක් දේශය කෙරෙහිස්වාමීන්වහන්සේගේවචනයේ දිව්‍ය ප්‍රකාශනයය, එය පිහිටෙන තැන දමස්කයය. මක්නිසාද මනුෂ්‍යයන්ගෙත් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලත් ඇස්ස්වාමීන්වහන්සේදෙසටය. 2 ඊට යාව තිබෙන හමාතටත් ඉතා ප්‍රඥාවන්ත තීර්ටත් සීදොන්ටත් ඒක විරුද්ධය. 3 තීර් වනාහි බලකොටුවක් ගොඩනගාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය. 4 බලව,ස්වාමීන්වහන්සේඑය අල්ලාගෙන එහි පවුර මුහුදේ හෙළාදමනවා ඇත; එය ගින්නෙන් විනාශවන්නේය. 5 අෂ්කෙලොන් ඒ දැක භයවෙනවා ඇත; ගාසාත් ඒ දැක තද වේදනා විඳින්නීය; එක්‍රොන්ටද එසේම සිදුවේ, මක්නිසාද එහි බලාපොරොත්තුව ලජ්ජාවට පැමිණෙන්නේය. ගාසායෙන් රජ නැතිවීයන්නේය, අෂ්කෙලොන්හිද වැසියෝ නොසිටින්නෝය. 6 අෂ්දොද්හි අවජාත සෙනඟක් වසන්නෝය, පිලිස්තිවරුන්ගේ පාරට්ටුවද සිඳදමන්නෙමි. 7 ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය. 8 මම සේනාව නිසා කිසිවෙකුට යන්ටවත් එන්ටවත් නොලැබෙන ලෙස මාගේ ගෘහය අවටින් අන්දායම් බැඳගන සිටින්නෙමි. පීඩාකරන්නෙක් තවත් ඔවුන් මැදින් නොයන්නේය. මක්නිසාද දැන් මාගේ ඇසින්ම දුටිමි.

සමාදානයේ කුමාරයාගේ පැමිණීම

9 සියොන් දියණියෙනි, බොහෝසෙයින් ප්‍රීතිමත්වෙන්න; යෙරුසලම් දියණියෙනි, ශබ්ද පවත්වන්න. බලව, නුඹේ රජ නුඹ වෙතට එනසේක. උන්වහන්සේ ධර්මිෂ්ඨය, ගැළවීම ඇත්තාය; උන්වහන්සේ යටහත්ය, කොටළුවෙකු එනම් කොටළුදෙනෙකුගේ පැටියෙකු පිට නැගී එනසේක. 10 මම එප්‍රායිම් කෙරෙන් රථයද යෙරුසලමෙන් අශ්වයාද සිඳදමන්නෙමි, යුද්ධ දුන්නද සිඳිනු ලබන්නේය; උන්වහන්සේද ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය. 11 නුඹ ගැන වනාහි නුඹේ ගිවිසුමේ ලේ නිසා නුඹේ හිරකාරයන් වතුර නැති වළෙන් පිටත යැවීමි. 12 බලාපොරොත්තු ඇති හිරකාරයෙනි, බලකොටුවට හැරී එන්න. මම නුඹට දෙගුණයක් දෙන්නෙමියි අදම ප්‍රකාශකරමි. 13 මක්නිසාද මම යූදා දුන්නක් කොට තැත්කවා, එප්‍රායිම් ඊගහක් කොට තබාගතිමි; එම්බා සියොන්, මම නුඹේ පුත්‍රයන් ග්‍රීසියේ පුත්‍රයන්ට විරුද්ධව පොලඹවා, නුඹ බලවන්තයෙකුගේ කඩුවක් මෙන් කරන්නෙමි. 14 ස්වාමීන්වහන්සේඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූදෙවියන්වහන්සේහොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත. 15 සේනාවලස්වාමීන්වහන්සේඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය. 16 ඔවුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේතමන් සෙනඟවූ රැළ මෙන් ඒ දවසේ ඔවුන් ගළවනසේක. මක්නිසාද ඔව්හු උන්වහන්සේගේ දේශය කෙරෙහි එසවී තිබෙන ඔටුන්නක මැණික් මෙන් වන්නෝය. 17 එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.

10

දෙවියන්වහන්සේගේ සෙනඟ ආපසු සියරටට ප්‍රීතියෙන් පැමිණවීම

1 අන්තිම වර්ෂා කාලයටස්වාමීන්වහන්සේගෙන්,එනම් විදුලිකොටවනස්වාමීන්වහන්සේගෙන්වර්ෂාව ඉල්ලන්න; උන්වහන්සේද ඔවුන්ට තද වර්ෂාවත් එකිනෙකාට පිට්ටනියෙහි තෘණත් දෙනවා ඇත. 2 තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති. 3 මාගේ උදහස එඬේරුන්ට විරුද්ධව ඇවිළී තිබේ, මම එළුවන්ගෙන් පිරිමි සතුන්ට දඬුවම්කරන්නෙමි. මක්නිසාද සේනාවලස්වාමීන්වහන්සේතමන්ගේ රැළවූ යූදා වංශය බලා, යුද්ධයේදී ඔවුන් තමන්ගේ ශෝභන සෛන්ධවයා මෙන් කරනසේක. 4 ඔහුගෙන්ම කොනේ ගලත් ඔහුගෙන්ම ඇණයත් ඔහුගෙන්ම යුද්ධ දුන්නත් ඔහුගෙන්ම එක එක ආණ්ඩුකාරයාත් එක්ව පැමිණෙනවා ඇත. 5 ඔවුන් බලවතුන්ව, යුද්ධයේදී සතුරන් වීථිවල මඩේ පාගා දමා,ස්වාමීන්වහන්සේඔවුන් සමග සිටින නිසා සටන්කර, අශ්වයන් පිට නැගීයන්නන් ලජ්ජාවට පමුණුවනවා ඇත. 6 මම යූදා වංශය බලවත්කර, යෝසෙප් වංශය ගළවා, ඔවුන් නැවත ගෙනෙන්නෙමි, මක්නිසාද මම ඔවුන්ට අනුකම්පාකරමි; ඔව්හුද මා විසින් ඔවුන් අහක නොදැමුවාක්මෙන් සිටින්නෝය. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූස්වාමීන්වහන්සේය, මම ඔවුන්ගේ බස් අසන්නෙමි. 7 එප්‍රායිම්වරු බලවන්තයෙකු මෙන් වන්නෝය, ඔවුන්ගේ සිත්ද මුද්‍රිකපානයෙන් මෙන් ප්‍රීතිවන්නේය. එසේය, ඔවුන්ගේ දරුවෝත් ඒ දැක ප්‍රීතිවන්නෝය; ඔවුන්ගේ සිත්ස්වාමීන්වහන්සේතුළ සන්තෝෂවන්නේය. 8 මම ඔවුන් කැඳවා රැස්කරන්නෙමි; මක්නිසාද මම ඔවුන් මුදාගත්තෙමි. ඔව්හු වැඩිවී සිටින්නාක්මෙන්ම වැඩිවන්නෝය. 9 මම ඔවුන් ජනයන් අතරෙහි වපුරන්නෙමි; ඔවුන් දුරු රටවලදී මා සිහිකොට, තමුන්ගේ දරුවන් සමග ජීවත්ව සිට හැරී එනවා ඇත. 10 මම ඔවුන් මිසර දේශයෙන් නැවත ගෙනෙන්නෙමි, අෂූර් දේශයෙන් ඔවුන් රැස්කර, ගිලියද් දේශයටත් ලෙබනොන්ටත් පමුණුවන්නෙමි; ඒත් ඔවුන්ට ඉඩ මදිවන්නේය. 11 විපත්තිය නැමති මුහුද මැදින් එන විට උන්වහන්සේ මුහුදේ රැළවලට ගසනවා ඇත, නයිල් ගංගාවේ සියලු ගැඹුරු තැන්ද හිඳීයනවා ඇත. අෂූර්හි උඩඟුකම පහත්වී, මිසරයේ ජයකොන්තයද පහවෙනවා ඇත. 12 මම ඔවුන්ස්වාමීන්වහන්සේතුළ බලවත්කරන්නෙමි; ඔව්හු උන්වහන්සේගේ නාමයෙන් හැසිරෙන්නෝයයිස්වාමීන්වහන්සේකියනසේක.

11

එඬේරුන් සම්බන්ධ උපමාව

1 ලෙබනොන්, නුඹේ කිහිරි ගස් ගින්නෙන් දාලායන පිණිස නුඹේ දොරවල් අරින්න. 2 එම්බා දේවදාර වෘක්ෂය, කෑමොරගසන්න, මක්නිසාද කිහිරි ගස වැටුණේය, උත්තමයෝ නාස්තිවුණෝය. බාෂාන්හි අලෝන වෘක්ෂ, කෑමොරගසන්න, මක්නිසාද දුර්ග වනය හෙළාදමනු ලැබුවේය. 3 එඬේරුන්ගේ ඓශ්වර්යය නාස්තිවූ බැවින් ඔවුන්ගේ කෑමොරගැසීමේ හඬ ඇසෙන්නේය. යොර්දානේ මහිමය නාස්තිවූ බැවින් තරුණ සිංහයන්ගේ ගෙරවීමේ හඬ ඇසෙන්නේය. 4 මාගේ දෙවිවූස්වාමීන්වහන්සේමෙසේ කීසේක: මරනු ලබන්ට සිටින බැටළු රැළ පෝෂ්‍යකරන්න; 5 ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට–ස්වාමීන්වහන්සේටස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති. 6 මක්නිසාද මම දේශයේ වැසියන්ට තවත් කරුණා නොකර, ඒ මනුෂ්‍යයන් එකිනෙකා තම තමාගේ අසල්වැසියා අතටත් තම තමාගේ රජු අතටත් අසුකරදෙන්නෙමි. ඔවුන් දේශය නටබුන්කර දමනවා ඇත, මම ඔවුන්ගේ අතින් ඔවුන් මුදා නොගන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේක. 7 එසේ මරන්ට සිටි බැටළු රැළ පෝෂණයකෙළෙමි, ඔව්හු සැබෑවටම අසරණ රැළක්ය. මම සැරයටි දෙකක් රැගෙන එකකට ප්‍රසන්නකමය කියාද අනිකට බැඳුම්ය කියාද නම් තබා, බැටළු රැළ පෝෂණයකෙළෙමි. 8 එක මාසයකදී එඬේරුන් තුන්දෙනා සිඳදැමීමි; මක්නිසාද මාගේ ආත්මය ඔවුන් ගැන වෙහෙසට පත්විය, ඔවුන්ගේ ආත්මයද මට පිළිකුල්කෙළේය. 9 එවිට මම කථාකොට: නුඹලා පෝෂණය නොකරන්නෙමි. නසින අය නසීවා; සිඳදමනු ලබන අය සිඳදමනු ලැබේවා; ඉතිරි අයද එකිනෙකාගේ මාංස කත්වයි කීමි. 10 එවිට මම සියලු ජනයන් සමග කළාවූ මාගේ ගිවිසුම වලංගුකරන පිණිසප්‍රසන්නකමනම්වූ මාගේ සැරයටිය රැගෙන කඩාදැමුවෙමි. 11 එසේ ඒ දවසේදී එය අවලංගුවීමෙන්, මා සැලකුවාවූ අසරණ බැටළු රැළ එයස්වාමීන්වහන්සේගේවචනය බව දැනගත්තෝය. 12 මමද: නුඹලාට හොඳව පෙනේනම් මාගේ කුලිය දෙන්න; නැත්නම් නොදී සිටින්නැයි ඔවුන්ට කීවෙමි. ඔව්හු මාගේ කුලිය වන රිදී තිහක් කිරාදුන්නෝය. 13 ඔවුන් විසින් මා මිලකළ වටිනා අගය වන ඒවා කුම්භකාරයාට හෙළන්නැයිස්වාමීන්වහන්සේමට කීසේක. මමද රිදී තිහ රැගෙනස්වාමීන්වහන්සේගේගෘහයෙහි කුම්භකාරයාට හෙළීමි. 14 තවද යූදා සහ ඉශ්‍රායෙල් අතරේ තිබුණු සහෝදරකම බඳින පිණිසබැඳුම්නම්වූ මාගේ අනික් සැරයටිය කඩාදැමුවෙමි.

15 ස්වාමීන්වහන්සේමට කථාකොට: නුඹ නැවත අඥාන එඬේරෙකුගේ ආයුධ අරගන්න. 16 මක්නිසාද එඬේරෙකු දේශයෙහි නැගුටුවමි, ඔහු සිඳිනු ලබන්නන් බලාගන්නේවත් විසුරුවනු ලබන්නන් සොයන්නේවත් තුවාල වෙන එකාට සුවකරන්නේවත් නවතින එකාට කෑම ගෙනදෙන්නේවත් නැතුව, තරවූ එකාගේ මස් කමින් උන්ගේ කුර කඩාදමන්නේය. 17 රැළ අත්හරින්නාවූ නොවටිනා එඬේරාට දුක් වන්නේය! ඔහුගේ හස්තයටත් දකුණු ඇසටත් විරුද්ධව කඩුවක් පැමිණෙන්නේය. ඔහුගේ හස්තය වේළීයන්නේය, ඔහුගේ දකුණැසද අන්ධවන්නේයයි කීසේක.

12

ස්වාමීන්වහන්සේ තමන් සෙනඟ ආරක්ෂාකිරීම

1 ඉශ්‍රායෙල් ගැන තිබෙනස්වාමීන්වහන්සේගේවචනයේ දිව්‍ය ප්‍රකාශනයය. අහස දිගහරින්නාවූ, පොළොවේ අත්තිවාරම තබන්නාවූ, මනුෂ්‍යයා තුළ ඔහුගේ ආත්මය උපදවන්නාවූස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: 2 බලව, අවටින් සිටින සියලුම ජනයන්ට යෙරුසලම වැනීමේ පාත්‍රයක් කරන්නෙමි, යෙරුසලම වටලෑමේදී යූදාට එසේම වන්නේය. 3 ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය. 4 ඒ කාලයෙහි මම සියලු අශ්වයන්ට කුල්මත්කමද අසරුවන්ට උමතුකමද පැමිණවීමෙන් පහරදෙන්නෙමි. නුමුත් යූදා වංශය කෙරේ මාගේ ඇස් ඇරගන ඉඳ, ජනයන්ගේ සියලු අශ්වයන්ට අන්ධකමෙන් පහරදෙන්නෙමියිස්වාමීන්වහන්සේකියනසේක. 5 යෙරුසලමේ වැසියෝ ඔවුන්ගේ දෙවිවූ සේනාවලස්වාමීන්වහන්සේකරණකොටගෙන මාගේ බලය වන්නෝයයි යූදාහි ප්‍රධානීහු තමුන්ගේ සිතින් කියාගන්නෝය. 6 ඒ කාලයෙහි වටකර සිටින සියලුම ජනයන් දකුණෙන්ද වමෙන්ද දාලායන හැටියට යූදාහි ප්‍රධානීන් දර අතරෙහි තිබෙන ගිනි භාජනයක් මෙන්ද ගොයම් මිටියක් තුළ තිබෙන ගිනි පෙනෙල්ලක් මෙන්ද කරන්නෙමි. යෙරුසලමේ වැසියන්ද තමුන්ගේ ස්ථානය වන යෙරුසලමෙහි නැවත වාසයකරනවා ඇත. 7 දාවිත්ගේ වංශයේ මහිමයද යෙරුසලමේ වැසියන්ගේ මහිමයද යූදාට වඩා උසස් නොවෙන පිණිසස්වාමීන්වහන්සේපළමුකොට යූදාහි කූඩාරම් ගළවනවා ඇත. 8 ඒ කාලයෙහිස්වාමීන්වහන්සේයෙරුසලමේ වැසියන් ආරක්ෂාකරනසේක; ඔවුන් අතරෙහි සිටින දුර්වලයා පවා ඒ කාලයෙහි දාවිත් මෙන් වන්නේය; දාවිත්ගේ වංශයද දෙවියන්වහන්සේ මෙන්, එනම් ඔවුන්ට පෙරටුව යන්නාවූස්වාමීන්වහන්සේගේදූතයා මෙන් වන්නේය. 9 තවද ඒ කාලයේදී යෙරුසලමට විරුද්ධව එන සියලු ජාතීන් විනාශකරන්ට සොයන්නෙමි.

තමුන්ගේ පාප ගැන සෙනඟ වැලපීම

10 දාවිත්ගේ වංශය කෙරෙහිද යෙරුසලමේ වැසියන් කෙරෙහිද කරුණාවේ හා කන්නලව්කිරීමේ ආත්මය වගුරුවන්නෙමි; ඔවුන් තමුන් විසින් ඇන්නාවූ තැනැත්තා වන මා දෙස බලාසිට, එකම පුත්‍රයෙකු ගැන වැලපෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන වැලපෙනවා ඇත, කුලුඳුලා ගැන ශෝකවෙන්නාක් මෙන් උන්වහන්සේ ගැන ශෝකවෙනවා ඇත. 11 ඒ කාලයේ මෙගිද්දොන් සමභූමියෙහිදී වූ හදද්රිම්මොන්හි වැලපීම මෙන් යෙරුසලමෙහි මහත් වැලපීමක් වන්නේය. 12 එසේ දේශයේ පෙළපත් වෙන් වෙන් වශයෙන් විලාපකියනවා ඇත; දාවිත්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, නාතාන්ගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, 13 ලෙවීගේ වංශ පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, ෂිමෙයි පෙළපත වෙනම සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද, 14 ඉතිරිව සිටින සියලු පෙළපත් වෙන් වෙන් වශයෙන් සහ ඔවුන්ගේ භාර්යාවෝ වෙනමද විලාපකියන්නෝය.

13

පීඩා කරණකොටගෙන යෙරුසලම පවිත්‍රකරනු ලැබීම

1 ඒ කාලයෙහි පාපය සහ අපවිත්‍රකම සඳහා දාවිත්ගේ වංශයටද යෙරුසලමේ වැසියන්ටද උල්පතක් ඇරී තිබෙන්නේය. 2 තවද ඒ කාලයේදී දේවරූපවල නාමවල් තවත් සිහි නොවෙන හැටියට ඒවා දේශයෙන් සිඳදමන්නෙමි. මම අනාගතවක්තෘවරුන්ද අපවිත්‍රකමේ ආත්මයද දේශයෙන් පහකරන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 3 නුමුත් යමෙක් නැවත අනාගතවාක්‍ය කීවොත් ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම: නුඹස්වාමීන්වහන්සේගේනාමයෙන් බොරුවූ දේ කථාකරන බැවින් නුඹට ජීවත්වෙන්ට නොලැබේයයි ඔහුට කියා, ඔහු අනාගතවාක්‍ය කියන විට ඔහුගේ පියාත් ඔහුගේ මවුත් වන ඔහු ඉපදෙවූ අයම ඔහුට ඇන මරනවා ඇත. 4 ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙත් නැත. 5 එකිනකොද: මම අනාගතවක්තෘ කෙනෙක් නොව ගොවියෙක්ය; මක්නිසාද මාගේ බාල වයසේ පටන් දාසකමෙහි සිටියෙමියි කියන්නේය. 6 එවිට: නුඹේ අත්වල තිබෙන ඔය තුවාල මොනවාදැයි කෙනෙක් ඔහුගෙන් අසන්නේය. මාගේ ප්‍රේමවන්තයන්ගේ ගෙදරදී මා ලැබූ තුවාලයයි ඔහු කියන්නේය.

7 එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි. 8 තවද මුළු දේශයෙහි තුනෙන් දෙකොටසක් සිඳදමනු ලැබ මැරෙනවා ඇත; නුමුත් තුන්වෙනි කොටස එහි ඉතිරිවේයයිස්වාමීන්වහන්සේකියනසේක. 9 තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද:ස්වාමීන්වහන්සේමාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.

14

අන්‍යජාතීන් කෙරෙහි විනිශ්චය. යෙරුසලම උසස්කරනු ලැබීම

1 බලව,ස්වාමීන්වහන්සේගේදවසක් පැමිණෙන්නේය, එකල නුඹේ කොල්ලය නුඹ තුළ බෙදනුලැබේ. 2 එසේය, මම යෙරුසලමට විරුද්ධව සියලු ජාතීන් යුද්ධයට රැස්කරන්නෙමි; නුවරද අසුවී, ගෙවල් කොල්ලකනු ලබන්නේය, ස්ත්‍රීහු බලාත්කාරකරනු ලබන්නෝය. නුවරුන්ගෙන් දෙකෙන් කොටසක් වහල්කමට යනවා ඇත, සෙනඟගෙන් ඉතිරි කොටස නුවරින් සිඳදමනු නොලැබේ. 3 තවදස්වාමීන්වහන්සේපිටත්වී උන්වහන්සේ යුද්ධකළ සටනේ දවසේදී මෙන් ඒ ජාතීන්ට විරුද්ධව යුද්ධකරනවා ඇත. 4 ඒ කාලයේදී උන්වහන්සේගේ පාද යෙරුසලමට ඉදිරිපිටින් නැගෙනහිරට තිබෙන ඔලීව කන්ද පිට සිටිනවා ඇත, එවිට ඔලීව කන්ද නැගෙනහිර දෙසටත් බස්නාහිර දෙසටත් මැදින් පැළී, ඉතා මහත් මිටියාවතක් වන්නේය; කන්දෙන් භාගයක් උතුරු දෙසටත් අනික් භාගය දකුණු දෙසටත් අහක්ව යනවා ඇත. 5 නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත. 6 ඒ කාලයේදී එළිය දීප්තිමත් නොවන්නේය, කළුවරද තිබෙයි. 7 එහෙත් දවල් සහ රෑ නොවී, සවස් වේලාවට එළිය ඇත්තාවූ,ස්වාමීන්වහන්සේදන්නාවූ එක්තරා දවසක් පැමිණෙන්නේය. 8 ඒ කාලයෙහි ජීවමාන වතුර යෙරුසලමෙන් නික්ම, එයින් කොටසක් නැගෙනහිර මුහුදටත් කොටසක් බස්නාහිර මුහුදටත් ගලායනවා ඇත. ග්‍රීෂ්ම කාලයෙත් ශීත කාලයෙත් එසේ වන්නේය. 9 ස්වාමීන්වහන්සේමුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහිස්වාමීන්වහන්සේපමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය. 10 මුළු දේශයද ගෙබා පටන් යෙරුසලමට දකුණෙන් රිම්මොන් දක්වා තිබෙන අරබා සමභූමියට සමානවන්නේය; නුවරද උස්සනු ලැබ, ඒකේ ස්ථානයෙහිම බෙන්යමින් දොරටුවේ පටන් පළමු දොරටුවේ ඉඩම දක්වාත් කොන්වල දොරටුව දක්වාත් හනනේල්ගේ කොතේ පටන් රජුගේ මුද්‍රික තටාකය දක්වාත් පිහිටා තිබෙයි. 11 මනුෂ්‍යයෝ එහි වසන්නෝය; සිඳදැමීමේ ශාපයක්ද නොපැමිණ යෙරුසලම සුවසේ පවතින්නේය. 12 යෙරුසලමට විරුද්ධව යුද්ධයට ආවාවූ සියලුම ජනයන්ටස්වාමීන්වහන්සේපමුණුවන්නාවූ පීඩාව මේය: ඔවුන් හිටගන සිටිද්දීම ඔවුන්ගේ මාංසය ක්ෂයවන්නේය, ඔවුන්ගේ ඇස් ඒවායේ සිදුරුවලම ක්ෂයවන්නේය; ඔවුන්ගේ දිවද ඔවුන්ගේ කටේම ක්ෂයවන්නේය. 13 ඒ කාලයෙහි මහත් වියවුල්කමක්ස්වාමීන්වහන්සේගෙන්ඔවුන් අතරට පැමිණ, ඔවුන් එකිනෙකාගේ අත අල්ලනවා ඇත, එක්කෙනෙකුගේ අත තවත් කෙනෙකුගේ අතට විරුද්ධව ඔසවනවා ඇත. 14 යූදා යෙරුසලමට විරුද්ධව යුද්ධකරන්නේය; අවට සියලු ජාතීන්ගේ සම්පත් වන රන් රිදීද වස්ත්‍රද මහත් රාශියක් එකතුකරනු ලබන්නේය. 15 මේ පීඩාව මෙන් අශ්වයන්ටත් අශ්වතරයන්ටත් ඔටුවන්ටත් කොටළුවන්ටත් ඒ අන්දායම්වල සිටින සියලුම මෘගයන්ටත් පීඩාවක් වන්නේය. 16 තවද යෙරුසලමට විරුද්ධව ආවාවූ සියලු ජාතීන්ගෙන් ඉතිරි වෙන සියල්ලෝම රජවූ සේනාවලස්වාමීන්වහන්සේටනමස්කාරකරන්ටත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ටත් අවුරුද්දෙන් අවුරුද්ද නැගීඑන්නෝය. 17 රජවූ සේනාවලස්වාමීන්වහන්සේටනමස්කාරකරන පිණිස පොළොවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසිවසින්නේ නැත. 18 මිසර වර්ගය නැගීඑන්නේ නැත්නම් ඔවුන්ටත් වැසි වසින්නේ නැත; කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන ජාතීන්ටස්වාමීන්වහන්සේපමුණුවන පීඩාව ඔවුන්ටත් වන්නේය. 19 මිසරයේ දඬුවමත් කූඩාරම් මංගල්‍යය පවත්වන්ට නේන සියලු ජාතීන්ගේ දඬුවමත් ඒකය. 20 ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල:ස්වාමීන්වහන්සේටශුද්ධය කියා ලියා තිබෙනවා ඇත;ස්වාමීන්වහන්සේගේගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය. 21 යෙරුසලමෙහිද යූදාහිද තිබෙන සැළි සියල්ලත් සේනාවලස්වාමීන්වහන්සේටශුද්ධව තිබෙනවා ඇත. පූජාකරන සියල්ලෝ ඇවිත් ඒවායින් කැමති ඒවා රැගෙන, ඒවායේ උයන්නෝය. ඒ කාලයේදී සේනාවලස්වාමීන්වහන්සේගේගෘහයෙහි කානානියයෙක් තවත් නොසිටින්නේය.