1

නායොමි මෝවබ්හි විසීම සහ රූත් සමග හැරී ඒම

1 තවද විනිශ්චයකාරයන් විනිශ්චයකරන දවස්වලදී දේශයෙහි සාගතයක් විය. එවිට යුදයේ බෙත්-ලෙහෙමේ එක්තරා මනුෂ්‍යයෙක් තමාගේ භාර්යාවද පුත්‍රයන් දෙදෙනාද සමග මෝවබ් දේශයෙහි වසන පිණිස ගියේය. 2 ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය. 3 නායොමිගේ පුරුෂයාවූ එලීමෙලෙක් මළේය; ඈද ඇගේ පුත්‍රයෝ දෙදෙනාද ඉතිරිව සිටියෝය. 4 ඔව්හු මෝවබ් ස්ත්‍රීන්ගෙන් භාර්යාවන් පාවාගත්තෝය; එක තැනැත්තියෙකුගේ නම ඔර්පාය, අනික් තැනැත්තියගේ නම රූත්ය. ඔව්හු දස අවුරුද්දක් පමණ එහි විසුවෝය. 5 මාලොන්ද කිලියොන්ද යන දෙදෙනාම මළෝය; මෙසේ ඒ ස්ත්‍රී ඇගේ දරුවන් දෙදෙනාද ඇගේ පුරුෂයාද නැතිව තනිවූවාය. 6 එවිට මෝවබ් රටින් හැරී එන පිණිස ඈ තමාගේ යෙහෙළීන් සමග නැගුටුණාය. මක්නිසාදස්වාමීන්වහන්සේතමන් සෙනඟට භෝජනය දීමෙන් ඔවුන්ට කරුණාව පෙන්වූ බව මෝවබ් රටේදී ඈට සැලවිය. 7 ඈද ඈ සමග ඇගේ යෙහෙළීන් දෙදෙනාද තමුන් සිටි තැනින් පිටත්ව ගොස් යූදා දේශයට හැරී එන පිණිස ගමන්ගත්තෝය. 8 නායොමි ඇගේ යෙහෙළීන් දෙදෙනාට කථාකොට: නුඹලා හැරී නුඹලාගේ මවුවරුන්ගේ ගෙවලට යන්න. නුඹලා මැරුණ අයටත් මටත් කරුණාවෙන් ක්‍රියාකළ ලෙසස්වාමීන්වහන්සේනුඹලාටත් කරුණාවෙන් යුක්තව ක්‍රියාකරනසේක්වා. 9 නුඹලා එකිනෙකා තම තමාගේ පුරුෂයා ඇතුව ඔහුගේ ගෙදර විශ්‍රාමය ලබන ලෙසස්වාමීන්වහන්සේනුඹලාට වර දෙනසේක්වයි කීවාය. ඉක්බිති ඕතොමෝ ඔවුන් සිඹගත්තාය. ඔව්හුද ශබ්දනගා අඬා: 10 නැත, අපි නුඹ සමග නුඹේ සෙනඟ වෙතට යන්නෙමුයයි ඈට කීවෝය. 11 නායොමිද: මාගේ දූවරුනි, හැරී යන්න. මා සමග යන්නේ මොකටද? නුඹලාට පුරුෂයෝ වෙන්ට මාගේ කුසෙහි තවත් පුත්‍රයෝ ඇද්ද? 12 මාගේ දූවරුනි, හැරී යන්න; මක්නිසාද පුරුෂයෙකු පාවාගන්ට මට වයස වැඩිය. ඉදින් මට බලාපොරොත්තුව තිබේය කියා, අද රාත්‍රියේම පුරුෂයෙකු ලැබ පුත්‍රයන් බිහිකළත්, 13 ඔවුන් වැඩෙන තෙක් නුඹලා පුරුෂයන් සරණපාවානොගෙන ඔවුන් ගැන බලාපොරොත්තුව සිටින්නහුද? මාගේ දූවරුනි, එසේ නොවේය;ස්වාමීන්වහන්සේගේඅත මට විරුද්ධව තිබෙන නිසා නුඹලාගේ දුකට වඩා මාගේ දුක මහත්ව තිබේයයි කීවාය. 14 ඔව්හු ශබ්දනගා නැවත ඇඬුවෝය. ඔර්පා ඇගේ නැන්දා සිඹ යන්ට ගියාය; නුමුත් රූත් ඈට ඇලුම්කමින් බැඳී සිටියාය. 15 ඈ කථාකොට: බලව, නුඹේ නෑනා ඇගේ සෙනඟද දෙවියන්ද වෙතට හැරී ගියාය. නුඹේ නෑනා පස්සේ හැරී යන්නැයි කීවාය. 16 රූත් කියන්නී: නුඹ අත්හැර හැරීයන ලෙස මට පෙරැත්තනොකරන්න. මක්නිසාද නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනඟ මාගේ සෙනඟ වන්නේය, නුඹේ දෙවියන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේ වනසේක. 17 නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්,ස්වාමීන්වහන්සේඑසේද ඊට වැඩියෙන්ද මට කරනසේක්වයි කීවාය. 18 එවිට රූත් ඈ සමග යන්ටම නියමකරගන සිටින බව ඈ දැක ඈට කථාකිරීමෙන් නැවතුණාය. 19 මෙසේ ඔවුන් දෙදෙනා බෙත්-ලෙහෙමට පැමිණෙන තුරු ගමන්කළෝය. තවද ඔවුන් බෙත්-ලෙහෙමට පැමුණුණු කල මුළු නුවර ඔවුන් ගැන කැලඹී, ස්ත්‍රීහු කථාකොට: මේ නායොමිදැයි කීවෝය. 20 ඈද: මටනායොමියයි නොකියා මාරායයිකියන්න. මක්නිසාද සර්වපරාක්‍රමයාණන්වන්සේ මා අති තික්තකමට පැමිණෙවූසේක. 21 මම සම්පූර්ණව පිටත්ව ගියෙමි,ස්වාමීන්වහන්සේමා සිස්කොට නැවත ගෙනාසේක.ස්වාමීන්වහන්සේමට විරුද්ධව සාක්ෂිදී සර්වපරාක්‍රමයාණන්වහන්සේ මට පීඩා පමුණුවා තිබෙද්දී, නුඹලා මට නායොමිය කියන්නේ මක්නිසාදැයි කීවාය. 22 මෙසේ නායොමිද ඈ සමග මෝවබ් රටෙන් ආවාවූ ඇගේ යෙහෙළීවූ මෝවබිය රූත්ද හැරී ආවෝය. යව කපන කාලය පටන්ගැන්මේදී ඔව්හු බෙත්-ලෙහෙමට පැමුණුණෝය.

2

රූත් බෝවස්ගේ කෙත්වල කරල් ඇහිඳීම

1 නායොමිගේ පුරුෂයා වන එලීමෙලෙක්ගේ පෙළපතට අයිතිවූ, මහත් වස්තුකාරයෙක්වූ බෝවස් නම් නෑයෙක් ඈට සිටියේය. 2 මෝවබිය රූත් නායොමිට කථාකොට: මම කෙතට ගොස් මට කරුණාව පෙන්වන කෙනෙකු පස්සේ යමින් කරල් ඇහිඳගන එන්නෙමියි කීවාය. ඈද: මාගේ දියණියෙනි, යන්නැයි කීවාය. 3 ඈ ගොස් කෙතට පැමිණ ගොයම් කපන්නන් පස්සේ කරල් ඇහින්දාය. වාසනාවට මෙන් ඈ එලීමෙලෙක්ගේ පෙළපතට අයිති බෝවස්ගේ කෙත් කොටසට පැමින්නාය. 4 බලව, බෝවස් බෙත්-ලෙහෙමේ සිට අවුත්:ස්වාමීන්වහන්සේනුඹලා සමග වේවයි ගොයම් කපන්නන්ට කීවේය. ඔව්හු උත්තරදෙමින්:ස්වාමීන්වහන්සේනුඹට ආශීර්වාදකරනසේක්වයි ඔහුට කීවෝය. 5 එවිට බෝවස්: මේ යෞවනිය කාගේදැයි ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ තමාගේ මෙහෙකරුවාගෙන් ඇසීය. 6 ගොයම් කපන්නන්ගේ ප්‍රධානියාවූ මෙහෙකරුවා උත්තර දෙමින්: මෑ නායොමි සමග මෝවබ් රටෙන් හැරී ආවාවූ මෝවබිය යෞවනීය. 7 මෑ: ගොයම් කපන්නන් පස්සේ ගොයම් මිටි අතරේ කරල් ඇහිඳ එකතුකරන්ට මට අවසර ලැබේවයි කියා ඇවිත් ගෙයි ටිකක් ප්‍රමාදවුණා මිසක් උදය පටන් මේ වන තුරු කරල් ඇහිඳිමින් සිටින්නීයයි කීවේය. 8 එවිට බෝවස්: මාගේ දියණියෙනි, අහන්න; වෙන කෙතකට ඇහිඳින්ට නොයන්න, මෙතැනින් නොගොස් මෙහි මාගේ තරුණියන් එක්කම සිටින්න. 9 ඔවුන් කපන කෙත බලාගන ඔවුන් පස්සේ යන්න. නුඹට අත නොගසන ලෙස මා විසින් තරුණ පුරුෂයන්ට අණකර තිබෙනවා නොවේද? නුඹට පිපාසාවූ කල භාජන ළඟට ගොස් තරුණයන් ඇද තිබෙන වතුරෙන් බොන්නැයි රූත්ට කීවේය. 10 එවිට ඈ බිම වැතිර මුහුණින් වැටී වැඳ: විදේශීවූ මා සලකන ලෙස ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබී තිබෙන්නේ මක්නිසාදැයි ඔහුට කීවාය. 11 බෝවස් උත්තරදෙමින්: නුඹේ පුරුෂයා නැසුණු පසු නුඹේ නැන්දාට නුඹ කළ සියල්ලත් නුඹේ පියා හා මවුද ජන්ම භූමියද අත්හැර මීට ප්‍රථම නුඹ නෑඳින්න සෙනඟක් වෙතට ආ බවත් මට සම්පූර්ණයෙන් දන්වා තිබේ. 12 ස්වාමීන්වහන්සේනුඹේ ක්‍රියාවට විපාක දෙනසේක්වා, ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේගේපියාපත් යටතේ ආරක්ෂාවී සිටින්ට ආවාවූ නුඹට උන්වහන්සේගෙන් සම්පූර්ණ විපාකයක් ලැබේවයි ඈට කීවේය. 13 එවිට ඈ: මාගේ ස්වාමිනි, ඔබ ඉදිරියෙහි මට කරුණාව ලැබේවා; මක්නිසාද මා ඔබගේ මෙහකොරියන්ගෙන් කෙනෙකු මෙන් නොවන නුමුත්, ඔබ මා සනසා ඔබගේ මෙහකොරිය සමග කරුණාවෙන් කථාකෙළෙහියයි කීවාය. 14 කෑම කන වේලාවේ බෝවස් ඈට කථාකොට: මෙහාට ඇවිත් මේ රොටිවලින් අරන් නුඹේ කැබෙල්ල කාඩි හොද්දේ පොවා කන්නැයි ඈට කීවේය. ඈද ගොයම් කපන්නන් ළඟ ඉඳගත්තාය. ඔහු විලඳත් ඈට ළංකරදුන්නේය, ඈ කා තෘප්තියට පැමිණ ඉතුරු කරගත්තාය. 15 ඈ කරල් ඇහිඳින්ට නැගිට ගිය විට බෝවස් තමාගේ වැඩකාරයන්ට අණකරමින්: ඈට මිටි අතරෙත් ඇහිඳින්ට ඉඩ දෙන්න, ඈට සැර නොකරන්න. 16 අහුරුවලිනුත් සමහරක් ඇද දමා ඈට ඇහිඳ ගැනීමට අත්හරින්න, ඈට තරවටු නොකරන්නැයි කීවේය. 17 මෙසේ ඈ සවස් වනතෙක් කෙතෙහි ඇහිඳ ඈ ඇහිඳපු ඒවා මැඩගත්තාය, යව ඒඵාවක් පමණ තිබුණේය. 18 ඈ ඒවා රැගෙන නුවරට ගියාය. ඈ ඇහිඳපු ඒවා ඇගේ නැන්දා දුටුවාය. ඈ තෘප්තියට පැමිණි පසු ඉතුරු කරගත් ඒවාත් එළියට අරන් ඈට දුන්නාය. 19 ඇගේ නැන්දා: නුඹ අද ඇහින්දේ කොහේද? වැඩකළේ කොතනදැයි ඇගෙන් අසා, නුඹ ගැන සැලකූ අයට ආශීර්වාදවේවයි කීවාය. කා වෙත වැඩකළාද කියා ඈ තම නැන්දාට දන්වමින්: මා අද වැඩකළේ බෝවස් නම්වූ මනුෂ්‍යයෙකු වෙතයයි කීවාය. 20 එවිට නායොමි ඇගේ යෙහෙළීට කථාකොට: ඔහු ජීවතුන්ටත් මළවුන්ටත් ඇති තමාගේ කරුණාව අත්නොහැරියේය, ඔහුටස්වාමීන්වහන්සේගෙන්ආශීර්වාද ලැබේවයි කීවාය. තවද නායොමි: ඒ මනුෂ්‍යයා අපට ළඟ නෑයෙක්ය, අපේ ළඟම නෑයෙක්යයි ඈට කීවාය. 21 මෝවබිය රූත්ද: එසේය, ඔහු මට කථාකර–මාගේ ගොයම් සියල්ල කපා තීන්දුකරන තුරු නුඹ මාගේ වැඩකාරයන් ළඟම සිටින්න කියාත් කීවේයයි කීවාය. 22 නායොමිද: මාගේ දියණියෙනි, වෙන කෙතකදී මිනිසුන් නුඹට අන්තරා නොකරන පිණිස ඔහුගේ යෞවනියන් සමග යාම හොඳයයි ඇගේ යෙහෙළීවූ රූත්ට කීවාය. 23 මෙසේ යව කපන කාලයත් තිරිඟු කපන කාලයත් නිමවනතෙක් ඈ ඇහිඳින පිණිස බෝවස්ගේ යෞවනියන් එක්කම සිටියාය; ඈ වනාහි ඇගේ නැන්දා සමග විසුවාය.

3

රූත් බෝවස්ගෙන් කළ ඉල්ලීම

1 එවිට ඇගේ නැන්දාවූ නායොමි ඈට කථාකොට: මාගේ දියණියෙනි, නුඹට ශුභසිද්ධියක් වෙන පිණිස මා විසින් නුඹට නිවාසයක් සොයන්ට ඕනෑ නොවේද? 2 ඉතින් නුඹ සමග සිටිය යෞවනියන්ගේ ස්වාමියාවූ බෝවස් අපේ නෑයෙක් නොවේද? ඔහු අද රෑ පාවරේ යව පොළන්නේය. 3 එබැවින් නුඹ නා, තෙල්ගාගෙන, නුඹේ වස්ත්‍ර ඇඳගෙන, පාවරට යන්න. ඒ මනුෂ්‍යයා කා බී නිමවන තුරු නුඹ දකින්ට ඔහුට ඉඩනාරින්න. 4 ඔහු නිදාගන්න විට, ඔහු නිදාගන්න තැන බලාගන ඇතුළට ගොස් ඔහුගේ පාවැසුම් ඇර නිදාගන්න; එවිට නුඹ විසින් කළ යුතු දේ ඔහු නුඹට දන්වනවා ඇතැයි කීවාය. 5 නුඹ මට කියන සියල්ල කරන්නෙමියි ඈ ඈට කීවාය. 6 ඈ පාවරට ගොස් ඇගේ නැන්දා ඈට අණකළ සියල්ල ලෙස කළාය. 7 බෝවස් කා බී ඔහුගේ සිත ප්‍රීතිවූ කල, ඔහු ධාන්‍ය ගොඩේ කෙළවරෙහි නිදාගන්ට ගියේය. ඈද හෙමින් අවුත් ඔහුගේ පාදවලින් වැස්ම ඇර නිදාගත්තාය. 8 මධ්‍යම රාත්‍රියේ ඒ මනුෂ්‍යයා භයපත්ව හැරී බලා, ස්ත්‍රියක් තමාගේ පාද ළඟ නිදාඉන්නවා දැක: නුඹ කවුදැයි ඇසීය. 9 ඈද: මම ඔබගේ මෙහෙකාරීවූ රූත්ය; එබැවින් ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරී පිට අතුරනු මැනවි; මක්නිසාද ඔබ ළඟ නෑයෙකැයි කීවාය. 10 ඔහු: මාගේ දියණියෙනි,ස්වාමීන්වහන්සේගෙන්නුඹට ආශීර්වාද ලැබේවා. නුඹ දිළිඳු හෝ පොහොසත් හෝ තරුණයන් පස්සේ නොගිය කාරණයෙන් නුඹ පටන්ගැන්මට වඩා අන්තිමේදී වැඩි කරුණාව පෙන්වූයෙහිය. 11 දැන් මාගේ දියණියෙනි, භයනොවෙන්න; නුඹ කියන සියල්ල නුඹට ඉෂ්ටකරන්නෙමි. මක්නිසාද මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශිලවත් ස්ත්‍රියක් බව දනිති. 12 ඉතින් මා නුඹට ළඟ නෑයෙක් බව සැබෑය. නුමුත් මට වඩා ළඟ නෑයෙක් ඇත්තේය. 13 අද රෑට පමාවෙන්න, හෙට උදය ඔහු නෑයෙකුගේ යුතුකම නුඹට කළොත් යහපති. ඔහු නෑයෙකුගේ යුතුකම ඉෂ්ටකෙරේවා. නුමුත් නෑයෙකුගේ යුතුකම නුඹට ඉෂ්ටකරන්ට ඔහු අකැමැතිනම්ස්වාමීන්වහන්සේජීවමාන බව සැබෑවා සේම මම එය ඉෂ්ටකරන්නෙමි. පහන්වනතෙක් නිදාගන්නැයි කීවේය. 14 ඈ පහන්වන තෙක් ඔහුගේ පාමුල නිදාහිඳ, එකිනෙකා ඇඳිනගන්ට පුළුවන්වෙන්ට මත්තෙන් නැගුටුණාය. ඔහුද: ඒ ස්ත්‍රිය පාවරට ආ බව කිසිවෙකුට නොදැනේවයි කීවේය. 15 තවද ඔහු: නුඹ පොරවා සිටින සළුව මෙහි ගෙනත් අල්ලන්නැයි කීවේය; ඈ ඒක ඇල්ලූ කල යව නැළි හයක් මැන ඈ පිට තබා නුවරට ගියේය. 16 ඈ තම නැන්දා ළඟට ආ කල: මාගේ දියණියෙනි, නුඹ කවුදැයි ඇසුවාය. 17 එවිට ඈ ඒ මනුෂ්‍යයා තමාට කළ සියල්ල නැන්දාට දන්වා–නුඹේ නැන්දා ළඟට හිස් අතින් නොයන්නැයි ඔහු මට කියා මේ යව නැළි හය මට දුන්නේයයි කීවාය. 18 එවිට ඈ: මාගේ දියණියෙනි, කාරණය කෙසේ සිදුවන්නේද කියා දැනගන්නා තුරු ඉන්න; මක්නිසාද ඒ මනුෂ්‍යයා අද මේ දේ තීන්දුකරනතුර නිවාඩු නොගන්නේයයි කීවාය.

4

රූත් හා බෝවස් විවාහවීම සහ දාවිත් දක්වා ඔවුන්ගේ පෙළපත

1 බෝවස් නුවර දොරටුව ළඟට ගොස් එහි හිඳගත්තේය. බලව, බෝවස් කී ළඟ නෑයා එහි පැමිණියේය. බෝවස් නම කියා: ආ! නුඹද? මෙහි ඇවිත් වාඩිවෙන්නැයි කීය. ඔහු ගොස් වාඩිවුණේය. 2 එවිට ඔහු නුවර වැඩිමහල්ලන්ගෙන් දසදෙනෙක් කැඳවාගන: නුඹලාත් මෙහි වාඩිවෙන්නැයි කීවේය. ඔව්හුද වාඩිවුණෝය. 3 ඔහු ඒ ළඟ නෑයාට කථාකොට: මෝවබ් රටින් හැරී ඇවිත් සිටින නායොමි අපගේ සහෝදරවූ එලීමෙලෙක්ට තිබුණු බිම් කොටස විකුණන්නීය. 4 මෙහි හිඳින්නන් සහ මාගේ සෙනඟගේ වැඩිමහල්ලන් ඉදිරියෙහි ඒක මිලේට ගන්න කියා කාරණය නුඹට දන්වන්ට සිතුවෙමි. ඉතින් ඒක ගළවාගන්ට කැමතිනම් ගළවාගන්න. ගළවාගන්ට අකැමැතිනම් ඒ බව දැනගන්නා පිණිස මට කියන්න. මක්නිසාද ඒක ගළවාගන්ට නුඹ සහ නුඹට පසුව මාත් ඇර වෙන කිසිවෙක් නැතැයි කීවේය. ඒක මම ගළවා ගන්නෙමියි ඔහු කීය. 5 එවිට බෝවස්: නායොමි අතින් ඒ බිම මිලේට ගන්නා දවසේදී, මැරුණු අයගේ නම උරුමය කෙරෙහි පවතින පිණිස මැරුණු අයගේ භාර්යාවවූ මෝවබිය රූත්ගෙනුත් ඒක මිලේට ගන්ට ඕනෑයයි කීවාය. 6 ඒ ළඟ නෑයා කථාකොට: මට ඒක ගළවාගන්ට බැරිය; එසේ කළොත් මාගේ උරුමයට අලාභව‍ෙයි. මට ගළවාගන්ට බැරි නිසා මට තිබෙන මිදීමේ බලය නුඹම භාරගන්නැයි කීවාය. 7 පෙර කාලයේ මුදාගැනීමද හුවමාරු කරගැනීමද ගැන සියලු කාරණා ඉශ්‍රායෙල්වරුන් අතරේ ස්ථිරකිරීමේ සිරිත මෙසේය: එක්කෙනෙක් තමාගේ මිරිවැඩිය ගළවා අනික් අයට දෙන්නේය. ඒක ඉශ්‍රායෙල්වරුන් අතරේ සහතිකකිරීමේ විධියව තිබුණේය. 8 ඒ නිසා ළඟ නෑයා: නුඹ ඒක මිලේට ගන්නැයි බෝවස්ට කියා තමාගේ මිරිවැඩිය ගැළෙවුවේය. 9 බෝවස් වැඩිමහල්ලන්ටත් මුළු සෙනඟටත් කථාකොට: එලීමෙලෙක්ට තිබුණ සියල්ලත් කිලියොන්ට සහ මාලොන්ට තිබුණු සියල්ලත් මා විසින් නායොමි අතින් මිලදී ගත් බවට නුඹලා අද සාක්ෂිකාරයෝය. 10 ඇරත් මැරුණු අයගේ නාමය ඔහුගේ සහෝදරයන් අතරෙන්ද ඔහුගේ ස්ථානයේ දොරටුවෙන්ද මැකීනොයන පිණිස මැරුණු අයගේ උරුමය කෙරෙහි ඔහුගේ නාමය ගෙනයන පිණිස මාලොන්ගේ භාර්යාවවූ මෝවබිය රූත් මාගේ භාර්යාව කොට මිලදී ගතිමි. ඊට නුඹලා අද සාක්ෂිකාරයෝයයි කීවේය. 11 දොරටුවේ සිටි මුළු සෙනඟද වැඩිමහල්ලෝද කථාකොට: අපි සාක්ෂිකාරයෝය.ස්වාමීන්වහන්සේනුඹේ ගෙට එන මේ ස්ත්‍රිය ඉශ්‍රායෙල් වංශය ගොඩනැගූ රාඛෙල්ද ලෙයාද යන ස්ත්‍රීන් දෙදෙනා මෙන් කරනසේක්වා. නුඹ එප්‍රාතාහි සම්පත් උපදවා ගන්න, බෙත්-ලෙහෙමෙහි කීර්තිමත් වෙන්න. 12 ස්වාමීන්වහන්සේමේ යෞවනීගෙන් නුඹට දෙන බීජය කරණකොටගෙන නුඹේ වංශය යූදා නිසා තාමාර් බිහිකළ පෙරෙශ්ගේ වංශය හා සමානවේවයි කීවෝය. 13 මෙසේ බෝවස් රූත් පාවාගත්තේය, ඈ ඔහුගේ භාර්යාව වූවාය. ඔහු ඈ වෙතට පැමිණි කලස්වාමීන්වහන්සේඈට ගර්භෝත්පත්තිය දුන්සේක, ඈ පුත්‍රයෙකු බිහිකළාය. 14 ස්ත්‍රියෝ නායොමිට කථාකොට: අද නුඹට ළඟ නෑයෙක් නැතුව සිටින්ට නෑරියාවූස්වාමීන්වහන්සේටප්‍රශංසා වේවා, ඔහුගේ නාමය ඉශ්‍රායෙල්හි කීර්තිමත් වේවා. 15 ඔහු වනාහි නුඹේ ජීවිතය ප්‍රාණවත් කරන්නෙක්ද නුඹේ මහලු වයසේදී නුඹ පෝෂ්‍යකරන්නෙක්ද වන්නේය. මක්නිසාද නුඹට ආදරය ඇත්තාවූද පුත්‍රයන් සත්දෙනෙකුට වඩා නුඹට යහපත් වූද නුඹේ යෙහෙළිය ඔහු බිහිකළායයි කීවෝය. 16 නායොමි ළදරුවා ගෙන තමාගේ ළයෙහි හොවා ඇතිකළාය. 17 අසල්වාසි ස්ත්‍රියෝ: නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඕබෙද් යන නම ඔහුට තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය. 18 පෙරෙශ්ගේ පෙළපත් මේය: පෙරෙශ් හෙශ්රොන් ඉපදවිය; 19 හෙශ්රොන් රාම් ඉපදවිය, රාම් අම්මිනාදාබ් ඉපදවිය; 20 අම්මිනාදාබ් නාෂොන් ඉපදවිය, නාෂොන් සල්මොන් ඉපදවිය; 21 සල්මොන් බෝවස් ඉපදවිය, බෝවස් ඕබෙද් ඉපදවිය; 22 ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.