1

ප්‍රාරම්භය සහ ආචාරය

1 ඉක්මනින් වෙන්ට ඕනෑ දේවල්, එනම් දෙවියන්වහන්සේ තමන්ගේ දාසයන්ට දක්වන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේට දුන්නාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ එළිදරව්කිරීමය. උන්වහන්සේ තමන් දූතයා කරණකොටගෙන තමන් මෙහෙකරුවූ යොහන්ට එය දන්වා එවූසේක. 2 ඔහු දෙවියන්වහන්සේගේ වචනය ගැනත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ සාක්ෂිය ගැනත්, එනම්, තමා දුටු සියලු දේ ගැන සාක්ෂිදුන්නේය. 3 මේ අනාගතවාක්‍යයේ වචන කියන්නාද ඒවා අසන්නෝද එහි ලියනලද කාරණා පවත්වන්නෝද ආශීර්වාදලද්දෝය. මක්නිසාද කාලය ළඟය.

4 යොහන් වන මා විසින් ආසියාවෙහි තිබෙන සභා සතට ලියා එවන වග නම්: සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ තැනන්වහන්සේගෙන්ද, උන්වහන්සේගේ සිංහාසනය ඉදිරිපිට සිටින ආත්මයාණන් සත්දෙනාගෙන්ද, 5 විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ, 6 අපව රාජ්‍යයක්ද තමන් පියවූ දෙවියන්වහන්සේගේ පූජකයන්ද කළාවූ තැනන්වහන්සේට ගෞරවයද පරාක්‍රමයද සදාකාලේටම වේවා. ආමෙන්. 7 බලන්න, උන්වහන්සේ වලාකුල්වලින් එනසේක; සියලු ඇස්ද උන්වහන්සේට ඇන්න අයද උන්වහන්සේව දකින්නෝය; පොළොවේ සියලු ගෝත්‍රද උන්වහන්සේ නිසා වැලපෙන්නෝය. එසේය, ආමෙන්.

8 මම අල්ඵා සහ ඕමෙගාද වෙමියි සිටින්නාවූ, සිටියාවූ, මතු සිටින්නාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පත්මොස්හිදී මනුෂ්‍ය පුත්‍රයා සම්බන්ධ දර්ශනය

9 නුඹලාගේ සහෝදරයාද, යේසුස්වහන්සේ තුළ පීඩා විඳීමෙහිත් රාජ්‍යයෙහිත් ඉවසීමෙහිත් පංගුකාරයාද වූ යොහන් නම් මම, දෙවියන්වහන්සේගේ වචනයද යේසුස්වහන්සේගේ සාක්ෂියද නිසා පත්මොස් නම් දිවයිනෙහි සිටියෙමි. 10 මම ස්වාමීන්වහන්සේගේ දවසේදී ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. 11 එවිට: නුඹ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලෙවාදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි. 12 එකල මා සමඟ කථාකළ ශබ්දය කිමෙක්දැයි බලන්ට හැරුණෙමි. එසේ හැරුණු කල, රන් පහන් රුක් සතක්ද, 13 ඒ පහන් රුක් මැද තමන්ගේ පාදය දක්වා වස්ත්‍රයක් පැළඳ රන් පටියකින් ළය බැඳගෙන සිටි මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් ද දුටිමි. 14 උන්වහන්සේගේ හිසද හිසකේද සුදු ලොම් සහ හිම මෙන් සුදුය; උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක් හා සමානය; 15 උන්වහන්සේගේ පාද උදුනක ගිනියම්කළ දිලිහෙන පිත්තල මෙන්ය; උන්වහන්සේගේ ශබ්දය බොහෝ ජල ඝෝෂාවක ශබ්දය මෙන්ය. 16 උන්වහන්සේ ස්වකීය දකුණතෙහි තාරකා සතක් ඇතුව සිටිසේක. උන්වහන්සේගේ මුඛයෙන් දෙමුවහත් තියුණු කඩුවක් නික්මුණේය. උන්වහන්සේගේ මුහුණ තදින් බබළන සූර්යයා මෙන්ය. 17 මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය, 18 ජීවමානවූ තැනැත්තාය; මම මැරුණෙමි, නුමුත් බලව, මම දැන් සදාකාලේටම ජීවත්ව සිටිමි, මරණයේද පාතාලයේද යතුරු මට ඇත්තේය. 19 එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන, 20 මාගේ දකුණතෙහි නුඹ දුටු තාරකා සතේ සහ රන් පහන් රුක් සතේද රහස ලියන්න. තාරකා සත නම් සභා සතේ දූතයෝය; පහන් රුක් සත නම් සභා සතය.

2

සභා සතට ලියුම් ‍

(එපීසයට)

1 එපීසයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

1 තමන් දකුණතෙහි තාරකා සත දරන්නාවූද, රන් පහන් රුක් සත මැද සක්මන්කරන්නාවූද තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 2 එනම්, නුඹේ ක්‍රියාවල්ද, නුඹේ වැඩ සහ ඉවසීමද, නුඹ නපුරන් නුරුස්සන බවද, ප්‍රේරිතයන් නොවන නුමුත් තුමූ ප්‍රේරිතයෝය කියන්නන් නුඹ සෝදිසිකර බලා ඔවුන් බොරුකාරයන්යයි නුඹ දැනගත් බවද, 3 ඉවසිල්ලෙන් යුක්තව මාගේ නාමය නිසා දුක් උසුලා ක්ලාන්ත නොවූ බවද දනිමි. 4 නුමුත් නුඹේ පළමු ප්‍රේමය අත් හැරියෙහිය යන කාරණය නුඹට විරුද්ධව මට ඇත්තේය. 5 එබැවින් නුඹ වැටී සිටින්නේ කොතැනින්දැයි සිහිකොට, පශ්චාත්තාපව, පළමු ක්‍රියාවන් කරන්න; නැතහොත් මම නුඹ ළඟට ඇවිත්, නුඹ පශ්චාත්තාප නොවෙනවා නම්, නුඹේ පහන් රුක ස්වකීය ස්ථානයෙන් අහක්කරන්නෙමි. 6 නුමුත් මේක නුඹට ඇත්තේය, එනම්, මා ද්වේෂකරන නිකොලායිතයන්ගේ ක්‍රියාවලට නුඹත් ද්වේෂකරන්නෙහිය. 7 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.

(ස්මර්ණයට)

8 තවද ස්මර්ණයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

8 පළමුවෙනියාද අන්තිමයාද වන, මැරී ජීවත්වුණාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 9 එනම්, මම නුඹේ පීඩාවද දිළිඳුකමද දනිමි (නුමුත් නුඹ ධනවත්ය), යුදෙව්වන් නොවන නුමුත් තුමූ යුදෙව්වෝයයි කියන සාතන්ගේ සිනගෝගයක්ව සිටින්නන්ගේ අපහාසයද දනිමි. 10 නුඹ විඳින්ට යන දේවලට භය නොවන්න. බලව, නුඹලා විමසනු ලබන පිණිස යක්ෂයා නුඹලාගෙන් සමහර දෙනෙකුන් හිරගෙයි දමන්ට යන්නේය; නුඹලා දස දවසක් පීඩා විඳින්නහුය. මරණය දක්වා විශ්වාසව සිටින්න, එවිට මම ජීවනයේ ඔටුන්න නුඹට දෙන්නෙමි. 11 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය.

(පර්ගමම්ට)

12 තවද පර්ගමම්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

12 දෙමුවහත් තියුණු කඩුව ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 13 එනම්, නුඹ වාසයකරන ස්ථානය දනිමි, එනම් සාතන්ගේ සිංහාසනය තිබෙන තැනය. නුඹ මාගේ නාමය තදින් අල්ලාගන සිටින බවද සාතන් වාසයකරන ස්ථානයෙහිදී නුඹලා අතරෙහි මරනු ලැබූ මාගේ විශ්වාස සාක්ෂිකාරවූ අන්තිපස්ගේ දවස්වලදීවත් මා කෙරෙහි ඇදහීම අත් නොහැරිය බවද දනිමි. 14 එහෙත් දේවතා රූපවලට පිදූදේ කන්ටත් වේශ්‍යාකම්කරන්ටත් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි බාධාවක් තැබීමට බාලාක්ට ඉගැන්වූ බාලාම්ගේ ඉගැන්වීම දරන්නන් ඔතැන නුඹ ළඟ සිටින බැවින් නුඹට විරුද්ධව කියන්ට කරුණු ස්වල්පයක් මට තිබේ. 15 මෙසේ නිකොලායිතයන්ගේ ඉගැන්වීම දරන්නොත් ඒ ආකාරයෙන්ම නුඹට සිටිති. 16 එබැවින් පශ්චාත්තාපවෙන්න; නැතහොත් මම ඉක්මනින් නුඹ ළඟට ඇවිත්, මාගේ මුඛයේ කඩුවෙන් ඔවුන්ට විරුද්ධව සටන්කරන්නෙමි. 17 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි.

(තියාතිරාවට)

18 තවද තියාතිරාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

18 ගිනි දැල්ලක් වැනි ඇස්ද දිලිහෙන පිත්තල වැනි පාදයන්ද ඇත්තාවූ දෙවියන්වහන්සේගේ පුත්‍රයා මේ කාරණා කියනසේක. 19 එනම්, මම නුඹේ ක්‍රියාද ප්‍රේමයද ඇදහිල්ලද සේවයද ඉවසිල්ලද නුඹේ පළමු ක්‍රියාවලට වඩා අන්තිම ක්‍රියා වැඩි බවද දනිමි. 20 නුමුත් නුඹට විරුද්ධව මේ කාරණය මට ඇත්තේය, එනම්, තමාම අනාගතවක්ත්‍රියෙකැයි කියාගන්නාවූ ස්ත්‍රී වන යෙශබෙල්ට නුඹ අවකාශ දෙන්නෙහිය; ඈ වනාහි වේශ්‍යාකම්කරන්ටද දේවතා රූපවලට පූජාකළ දේ කන්ටද මාගේ මෙහෙකරුවන්ට උගන්වා මුළාකරන්නීය. 21 පශ්චාත්තාපවෙන්ට ඈට කල් දුනිමි; නුමුත් ඈ තමාගේ වේශ්‍යාකම ගැන පශ්චාත්තාපවෙන්ට නොකැමැත්තීය. 22 බලව, ඈ යහනකට හෙළමි, ඈ සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෝ ඇගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නොවෙත් නම්, ඔවුන්ද මහත් පීඩාවකට හෙළමි. 23 ඇගේ දරුවන්ද වසංගතයෙන් නසන්නෙමි; මා වනාහි අදහස්ද හෘදයන්ද විමසන තැනැත්තා බව සියලු සභාවෝ දැනගන්නාහුය. මම නුඹලා එක් එක්කෙනාට නුඹලාගේ ක්‍රියා හැටියට දෙන්නෙමි. 24 නුමුත් මේ ඉගැන්වීම නැත්තාවූ, ගැඹුරුයයි ඔවුන් කියන සාතන්ගේ ගැඹුරුවූ කාරණා නොදන්නාවූ, තියාතිරාවෙහි ඉතිරිව සිටින්නාවූ නුඹලා පිට මම වෙන කිසි බරක් නොතබමියි නුඹලාට කියමි. 25 එසේවී නුමුත් නුඹලාට ඇති දේ මා එන තුරු තදින් අල්ලාගන සිටින්න. 26 ජයගන්නාවූ, කෙළවර දක්වා මාගේ ක්‍රියා පවත්වන්නාවූ තැනැත්තාට නම් මාගේ පියාණන්වහන්සේගෙන් මා ලැබූ ලෙස ජාතීන් කෙරෙහි බලය දෙන්නෙමි. 27 කුම්භකාරයාගේ භාජන බිඳ සුණුකරනු ලබන්නාක්මෙන් ඔහු ඔවුන් යදණ්ඩකින් ආණ්ඩුකරන්නේය. 28 ඔහුට පහන් තාරකාව දෙන්නෙමි. 29 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

3

(සර්දිස්ට)

1 තවද සර්දිස්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

1 දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාද තාරකා සතද ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්, නුඹේ ක්‍රියා දනිමි, නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නුමුත් නුඹ මැරිලාය. 2 අවදිව සිට, ඉතිරිවූ, නැසීයාමට ළංවූ දේ ස්ථිරකරන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බවුණේ නැත. 3 එබැවින් නුඹ ලැබුවේ කෙසේද, ඇසුවේ කෙසේදැයි සිහිකර, ඒ දේ පවත්වා, පසුතැවිලිවෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නෙහි නම්, සොරෙකු මෙන් එන්නෙමි, මා නුඹ කරා කොයි පැයේ එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත. 4 එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලුටුකර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිස්හි නුඹට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමෙන් මා සමඟ ඇවිදිනවා ඇත. 5 ජයගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ; ඔහුගේ නම ජීවන-පොතෙන් කිසිසේත් මකා නොහැර, මාගේ පියාණන්වහන්සේද උන්වහන්සේගේ දූතයන්ද ඉදිරියෙහි ඔහුගේ නාමය පිළිගන්නෙමි. 6 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

(පිලදෙල්පියාවට)

7 තවද පිලදෙල්පියාවෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

7 ශුද්ධවූ, සැබෑවූ, දාවිත්ගේ යතුර ඇත්තාවූ, කිසිවෙක් නොපියන ලෙස අරින්නාවූ, කිසිවෙක් නාරින ලෙස පියන්නාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 8 එනම්: මම නුඹේ ක්‍රියා දනිමි, (මෙන්න, කිසිවෙකුට පියන්ට බැරිවූ ඇරපු දොරක් නුඹ ඉදිරියෙහි මා විසින් තබා තිබේ.) නුඹට ඇත්තේ ස්වල්ප බලයක්ය. නුඹ මාගේ වචන රක්ෂාකෙළෙහිය, මාගේ නාමය නුඹ එපාකළේ නැත. 9 බලව, යුදෙව්වරුව නොසිට තුමූ යුදෙව්වරුයයි බොරුවෙන් කියන්නාවූ, සාතන්ගේ සිනගෝගයේවූ අය ඇවිත් නුඹේ පාද ඉදිරියෙහි වැඳවැටෙන්ටත් මම නුඹට ප්‍රේමකළ බව දැනගන්ටත් සලස්වන්නෙමි. 10 මාගේ ඉවසීමේ වචනය නුඹ රක්ෂාකළ හෙයින් පොළොවේ වසන්නන් පරීක්ෂාකිරීමට මුළු ලෝකය පිටට පැමිණෙන්ට තිබෙන්නාවූ පරීක්ෂාවේ පැයෙන් මමත් නුඹ ආරක්ෂාකරන්නෙමි. 11 ඉක්මනින් එමි. කිසිවෙක් නුඹේ ඔටුන්න නොගන්නා ලෙස නුඹට තිබෙන දේ තදින් අල්ලාගන්න. 12 ජයගන්නා මාගේ දෙවියන්වහන්සේගේ මාළිගාවෙහි කණුවක් කරන්නෙමි, ඔහු තවත් එතැනින් පිටතට නොයන්නේය. මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින අලුත් යෙරුසලම වන මාගේ දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි. 13 ආත්මයාණන්වහන්සේ සභාවට කියන දේ කන් ඇත්තේ අසාවා.

(ලවොදිකයට)

14 තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න:

14 ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. 15 එනම්, මම නුඹේ ක්‍රියා දනිමි, නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ නොසිටින බවද දනිමි. නුඹ ශීතලව හෝ උෂ්ණව හෝ සිටිනවාට කැමැත්තෙමි. 16 නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි. 17 කාලකණ්ණියාද දුක්ඛිතයාද දිළින්දාද අන්ධයාද නග්නව සිටින්නාද නුඹම බව නුඹ නොදැන: මම ධනවත්ය, මට ධනය ඇත්තේය, කිසි දෙයකින් හිඟයක් නැතැයි නුඹ කියන බැවින්, 18 නුඹ ධනවත්වන පිණිස ගින්නෙන් පවිත්‍රකරනලද රන්ද, නුඹේ නග්නභාවයේ ලජ්ජාව ප්‍රකාශ නොවන පිණිස හැඳගන්ට සුදු වස්ත්‍රද, නුඹේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ගාගන්ට අඳුන්ද මාගෙන් ලබාගන්ට නුඹට අවවාදකරමි. 19 මම ප්‍රේමකරන සියල්ලන්ට තරවටුකොට දඬුවම්කරමි. එබැවින් නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙන්න. 20 මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය. 21 මම ජයගෙන මාගේ පියාණන්වහන්සේ සමඟ උන්වහන්සේගේ සිංහාසනයෙහි හිඳගත් සේම, ජයගන්නාටත් මාගේ සිංහාසනයෙහි මා සමඟ ඉඳගන්ට දෙන්නෙමි. 22 ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා.

4

සිංහාසනයෙහි වැඩ සිටින දෙවියන්වහන්සේ ගැන දර්ශනය

1 ඉන්පසු අහසේ දොරක් ඇරී තිබෙනවා මම දුටිමි, හොරණෑවක ශබ්දය මෙන් මා සමඟ කථාකරනවා මා ඇසූ පළමුවෙනි හඬද: මෙහි නැගී එන්න, මේ දේවලට පසුව විය යුතු දේවල් නුඹට පෙන්වන්නෙමියි කීය. 2 එකෙණෙහිම මම ආත්මයාණන්වහන්සේ තුළ සිටියෙමි. එවිට ස්වර්ගයෙහි සිංහාසනයක් තිබුණේය, ඒ සිංහාසනයෙහි එක්කෙනෙක් වැඩහුන්සේක; 3 එහි වැඩහුන් තැනන්වහන්සේ පෙනීමෙන් සූර්යකාන්ති සහ ලෝහිතංක මැණික්වලට සමානව සිටිසේක. සිංහාසනය අවට මරකතයට සමානව පෙනෙන දේදුන්නක් තිබුණේය. 4 ඒ සිංහාසනය වටේට සිංහාසන විසිහතරක් තිබුණේය. ඒ සිංහාසන මත්තෙහි වැඩිමහල්ලන් විසිහතර දෙනෙක් සුදු වස්ත්‍ර පැළඳ, තමුන්ගේ හිස් මතුයෙහි රන් ඔටුනු ඇතුව, වාඩිවී හිඳිනවා දුටිමි. 5 සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය; 6 සිංහාසනය ඉදිරියෙහි පළිඟු හා සමානවූ වීදුරු සමුද්‍රයක් වැනි පෙනීමක් විය; සිංහාසනය මධ්‍යයෙහිත් සිංහාසනය අවටත් ඉස්සරහින්ද පස්සෙන්ද ඇස්වලින් පිරුණාවූ ජීවමාන සත්වයන් සතර දෙනෙක් සිටියෝය. 7 පළමුවෙනි සත්වයා සිංහයෙකුට සමානය, දෙවෙනි සත්වයා වස්සෙකුට සමානය, තුන්වෙනි සත්වයාට මනුෂ්‍යයෙකුගේ මෙන් මුහුණක් තිබුණේය, සතරවෙනි සත්වයා පියාසරකරන රාජාලියෙකුට සමානය. 8 එක එකාට පියාපත් සයක් බැගින් තිබුණාවූ ඒ ජීවමාන සත්වයන් සතරදෙනා අවටද ඇතුළතද ඇස් පුරාම තිබුණේය. ඔව්හුද: සිටියාවූ සිටින්නාවූ මතු සිටින්නාවූ සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේ ශුද්ධය, ශුද්ධය, ශුද්ධයයි රෑ දාවල් නොනැවතී කියති. 9 ඒ ජීවමාන සත්වයන් සිංහාසනයෙහි වැඩහිඳින්නාවූ, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට ප්‍රශංසාවද ගෞරවයද ස්තුතියද දෙන කල, 10 වැඩිමහල්ලන් විසිහතරදෙනාද සිංහාසනයෙහි වැඩසිටින තැනන්වහන්සේ ඉදිරියෙහි වැටී, සදාකල්ම ජීවත්වන්නාවූ තැනන්වහන්සේට නමස්කාරකර, තමුන්ගේ ඔටුනු සිංහාසනය ඉදිරියෙහි හෙළා: 11 අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේයයි කියති.

5

බැටළුපැටියාණන් ගැන දර්ශනයක්

1 තවද ඇතුළත් පිටත් ලියනලද මුද්‍රා සතකින් තදලෙස මුද්‍රාකරනලද පොතක් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතෙහි දුටිමි. 2 ඒ පොත දිගඅරින්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින්නේ කවුදැයි කියා මහත් ශබ්දයකින් බලවත් දේවදූතයෙක් හඬගසනවා දුටිමි. 3 නුමුත් ස්වර්ගයෙහි හෝ පොළොවෙහි හෝ පොළොවෙන් යට හෝ පොත දිගඅරින්ටවත් ඒක බලන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නොසිටියේය. 4 පොත දිගඅරින්ටත් ඒක බලන්ටත් වටින්නාවූ කිසිවෙක් සම්බ නුවූ බැවින් මම බොහෝකොට හැඬුවෙමි. 5 එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: නොහඬන්න. මෙන්න, පොත සහ එහි මුද්‍රා සත දිගඅරින ලෙස යූදාගේ ගෝත්‍රයෙන්වූ සිංහයාද දාවිත්ගේ මුලදවූ තැනන්වහන්සේ ජයගත්සේකැයි මට කීවේය. 6 තවද අං සතක්ද, පොළොව මුළුල්ලෙහි යවනු ලැබූ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනා වන ඇස් සතක්ද ඇත්තාවූ, මරනු ලැබුවාක්මෙන් පෙනුණාවූ බැටළු පැටවෙක් සිංහාසනය සහ ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහිත් වැඩිමහල්ලන් මධ්‍යයෙහිත් සිටිනවා දුටිමි. 7 ඒ බැටළු පැටවාණෝ ඇවිත් සිංහාසනයෙහි වැඩඋන්නාවූ තැනන්වහන්සේගේ දකුණතින් පොත ගත්සේක. 8 එසේ පොත ගත් කල, ජීවමාන සත්වයෝ සතරදෙනා සහ වැඩිමහල්ලෝ විසිහතරදෙනාත් එකිනෙකා වීණාවක්ද ශුද්ධවන්තයන්ගේ යාච්ඤා නමැති සුගන්ධ ද්‍රව්‍යයෙන් පිරුණු රන් පාත්‍රාද රැගෙන, බැටළුපැටවාණන් ඉදිරියෙහි වැඳ වැටුණෝය. 9 ඔව්හු අලුත් ගීතිකාවක් ගායනාකරමින්: ඔබ පොත ගන්ටත් එහි මුද්‍රා කඩන්ටත් වටින තැනන්වහන්සේය. මක්නිසාද ඔබ මරනු ලැබ, සියලු ගෝත්‍රවලින්ද භාෂාවන්ගෙන්ද සෙනඟගෙන්ද ජාතීන්ගෙන්ද මිනිසුන් ඔබගේ ලෙයින් දෙවියන්වහන්සේට මිලේට ගෙන, 10 ඔවුන් අපගේ දෙවියන්වහන්සේට රාජ්‍යයක්ද පූජකයන්ද කළසේක; ඔව්හු පොළොවෙහි රජකම්කරතියි කීවෝය. 11 තවද මම බැලීමි, එවිට සිංහාසනයද ජීවමාන සත්වයන්ද වැඩිමහල්ලන්ද වටකර බොහෝ දේවදූතයන් සිටිනවා දුටිමි, ඔවුන්ගේ හඬද මට ඇසුණේය; ඔවුන්ගේ ගණන දසදහසක් වර දසදහසක් සහ දහස්වර දහස්ව තිබුණේය. 12 ඔව්හු කථාකොට: මරනු ලැබූ බැටළුපැටවාණෝ බලයත් ධනයත් ප්‍රඥාවත් පරාක්‍රමයත් ගෞරවයත් තේජසත් ප්‍රශංසාවත් ලබන්ට වටින තැනන්වහන්සේයයි මහත් හඬකින් කීවෝය. 13 තවද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් පොළොවෙන් යට සහ මුහුද පිටත් ඇත්තාවූ සියලු මැවිලි වන එහි ඇති සියල්ලෝ: සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ප්‍රංශසාවද ගෞරවයද මහිමයද පරාක්‍රමයද සදාකාලේටම වේවයි කියනවා ඇසීමි. 14 ජීවමාන සත්වයෝ සතරදෙනාද: ආමෙන්යයි කීවෝය. වැඩිමහල්ලෝ බිම වැටී නමස්කාරකළෝය.

6

පොතේ මුද්‍රා කැඩීම

1 තවද බැටළුපැටවාණන් මුද්‍රා සතෙන් එකක් කැඩූ කල, මම බැලුවෙමි, ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් ගර්ජනා ශබ්දයකින් මෙන් කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. 2 එවිට සුදු අශ්වයෙක් සිටිනවා දුටිමි, ඌ පිට හුන් තැනැත්තාට දුන්නක් තිබුණේය; ඔටුන්නක්ද ඔහුට දෙනලද්දේය. ඔහු ජයගනිමින්ද ජයගන්න පිණිසද පිටත්ව ආවේය.

3 උන්වහන්සේ දෙවෙනි මුද්‍රාව කැඩූ කල, දෙවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. 4 තවත් අශ්වයෙක්, එනම් රතු අශ්වයෙක් පිටත්ව ආවේය. ඌ පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරන පිණිස පොළොවෙන් සමාදානය දුරුකරන්ට බලය දෙනලද්දේය. මහත්වූ කඩුවක්ද ඔහුට දෙනලද්දේය.

5 උන්වහන්සේ තුන්වෙනි මුද්‍රාව කැඩූ කල තුන්වෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියනවා ඇසීමි. එවිට කළු අශ්වයෙක් දුටිමි; ඌ පිට හුන් තැනැත්තාගේ අතේ තරාදියක් තිබුණේය. 6 ජීවමාන සත්වයන් සතරදෙනා මධ්‍යයෙහි: ධාන්‍ය නැළියක් මස්සය; යව නැළි තුනක් මස්සය; තෙල්වලටත් මුද්‍රිකපානයටත් අනතුර නොකරන්නැයි කියන හඬක් මෙන් ඇසීමි.

7 උන්වහන්සේ සතරවෙනි මුද්‍රාව කැඩූ කල, සතරවෙනි ජීවමාන සත්වයා කථාකොට: එන්නැයි කියන හඬ ඇසීමි. 8 එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.

9 උන්වහන්සේ පස්වෙනි මුද්‍රාව කැඩූ කල, දෙවියන්වහන්සේගේ වචනය නිසාද තමුන් දැරූ සාක්ෂිය නිසාද මරනු ලැබූවන්ගේ ආත්ම පූජාසනය යට සිටිනවා දුටිමි. 10 ඔව්හු: අහෝ, ස්වාමිනි, ශුද්ධවූ සැබෑවූ තැනන්වහන්ස, ඔබ පොළොවෙහි වසන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ට සුදුසු විපාක නොදී, කොපමණ කල් ප්‍රමාද වනසේක්දැයි මහත් ශබ්දයකින් මොරගසා කීවෝය. 11 ඔවුන්ගෙන් එකිනෙකාට සුදු සළුවක් දෙනලද්දේය. ඔවුන් ලෙසම මරනු ලබන්ට සිටින්නාවූ ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේද සහෝදරයන්ගේද ගණන සම්පූර්ණවන තුරු, තව ස්වල්ප කාලයක් නවතින්ට කියා ඔවුන්ට කියනලද්දේය.

12 උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය, 13 මුළු හඳද ලේ මෙන් විය; අත්තික්කා ගසක් තද සුළඟකින් සෙලවී එහි අකාල ඵල වැටෙන්නාක්මෙන් අහසේ තාරකා පොළොව පිට වැටුණේය. 14 අකුලනලද පොතක් මෙන් අහස පහකරනලද්දේය; සියලු කඳුද දිවයින්ද ස්වකීය ස්ථානවලින් පහකරන ලද්දේය. 15 පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය; 16 ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කථාකොට: අප පිට වැටී, සිංහාසනයෙහි වැඩඉන්න තැනන්වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පැටවාණන්ගේ උදහසිනුත් අප සඟවාගන්න. 17 මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.

7

දෙවියන්වහන්සේගේ සැබෑ සේවකයන් ආරක්ෂාකිරීම

1 ඉන්පසු ගොඩටවත් මුහුදටවත් කිසි ගහකටවත් හුළඟ නොවදින පිණිස දේවදූතයන් සතර දෙනෙක් පොළොවේ සතරදිග හුළඟ අල්ලාගන පොළොවේ සතර කොනේ සිටිනවා දුටිමි. 2 තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා: 3 අපේ දෙවියන්වහන්සේගේ මෙහෙකරුවන්ගේ නළල්වල මුද්‍රා තබන තුරු, ගොඩටවත් මුහුදටවත් ගස්වලටවත් අනතුරු නොකරන්නැයි කීය. 4 තවද මුද්‍රාකරනු ලැබූවන්ගේ ගණන ඇසීමි, ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රවලින් මුද්‍රාකරනු ලැබූ අය එක්ලක්ෂ සතළිස් සාරදහසක්ය.

5 යූදාගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක් මුද්‍රාකරනු ලැබුවෝය.

5 රූබෙන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ගාද්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,

6 ආෂෙර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, නප්තලීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මනස්සේගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,

7 සිමියොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ලෙවීගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, ඉස්සාකර්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද,

8 සාබුලොන්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, යෝසෙප්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, බෙන්යමින්ගේ ගෝත්‍රයෙන් දොළොස් දහසක්ද, මුද්‍රාකරනු ලැබුවෝය.

දුක් පීඩා පසුකොට පවිත්‍රකරනු ලැබූවන් ගැන දර්ශනය

9 ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි; 10 ඔව්හු: සිංහාසනයෙහි වැඩහිඳින අපේ දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් ගැළවීම අයිතිය කියා මහත් ශබ්දයකින් හඬගැසුවෝය. 11 සියලු දේවදූතයෝ සිංහාසනයද වැඩිමහල්ලන්ද ජීවමාන සත්වයන් සතරදෙනාද වටකර සිට, සිංහාසනය ඉදිරියෙහි මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකරමින්: ආමෙන්. 12 ප්‍රශංසාවද තේජසද ප්‍රඥාවද ස්තුතියද ගෞරවයද බලයද පරාක්‍රමයද සදාකාලේටම අපේ දෙවියන්වහන්සේට වේවා. ආමෙන්යයි කීවෝය. 13 එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කථාකොට: සුදු සළු පැළඳ සිටින මොව්හු කවුරුද? කොතැනින් ආවෝදැයි මාගෙන් ඇසුවේය. 14 මමද: මාගේ ස්වාමීනි, ඔබ දන්නෙහියයි ඔහුට කීමි. ඔහු කියනුයේ: මොව්හු මහත් පීඩා මැදින් එන්නෝය, ඔව්හු තමුන්ගේ සළු බැටළුපැටවාණන්ගේ ලෙයින් සෝදා සුදුකරගත්තෝය. 15 එබැවින් ඔව්හු දෙවියන්වහන්සේගේ සිංහාසනය ඉදිරියෙහි සිටිති; උන්වහන්සේගේ මාළිගාවේ රෑ දාවල් උන්වහන්සේට සේවයකරති. සිංහාසනයෙහි වැඩහිඳින තැනන්වහන්සේ තමන්ගේ මණ්ඩපය ඔවුන්ට උඩින් විදහනසේක. 16 ඔවුන්ට තවත් බඩගිනිවන්නේවත් පිපාසා වන්නේවත් නැත; සූර්ය රශ්මියවත් කිසි රස්නයක්වත් ඔවුන්ට පහරදෙන්නේ නැත. 17 මක්නිසාද සිංහාසනය මැද සිටින බැටළුපැටවාණෝ ඔවුන්ගේ එඬේරා වී, ජීවන-දිය-උල්පත්වලට ඔවුන් ගෙනයනසේක. දෙවියන්වහන්සේද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේකැයි කීවේය.

8

හොරණෑ සත පිඹීම

1 උන්වහන්සේ සත්වෙනි මුද්‍රාව කැඩූ කල පැය බාගයක් පමණ ස්වර්ගයෙහි නිශ්ශබ්දයක් විය. 2 තවද දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින දේවදූතයන් සත්දෙනා දුටිමි; ඔවුන්ට හොරණෑ සතක් දෙනලද්දේය.

3 තවත් දේවදූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පුකරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙනලද්දේය. 4 සුගන්ධ ද්‍රව්‍යයේ දුම ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ දේවදූතයාගේ අතින් දෙවියන්වහන්සේ ඉදිරියට නැංගේය. 5 දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලිද පොළෝකම්පාවක්ද විය.

6 හොරණෑ සත ඇතුව සිටිය දේවදූතයන් සත්දෙනාද පිඹින පිණිස සූදානම්වුණෝය.

7 පළමුවෙනියා පිම්බේය, එවිට ලෙයින් මිශ්‍රවූ ගල්වර්ෂාවක්ද ගිනිද හටගෙන පොළොව පිට හෙළනු ලැබුවේය. පොළොවෙන් තුනෙන් පංගුවක් දාලා ගියේය, ගස්වලින් තුනෙන් පංගුවක් දාලාගියේය, සියලු අමු තණකොළද දාලාගියේය.

8 දෙවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ගින්නෙන් ඇවිලෙන මහත් කන්දක් වැනිවූ දෙයක් මුහුදේ හෙළනු ලැබුවේය. මුහුදෙන් තුනෙන් පංගුවක් ලේ වුණේය; 9 මුහුදේ සත්වයන්ගෙන්, එනම් පණ ඇති සතුන්ගෙන් තුනෙන් පංගුවක් මළෝය; නැව්වලින්ද තුනෙන් පංගුවක් විනාශවුණේය.

10 තුන්වෙනි දේවදූතයාද පිම්බේය, එවිට මහත් තාරකාවක් පන්දමක් මෙන් ඇවිලෙමින් අහසෙන් වැටුණේය; ඒක ගංගාවලින් තුනෙන් පංගුවක් පිටද දිය උල්පත් පිටද වැටුණේය; 11 තාරකාවේ නාමය තික්තකමයයි කියනලදී. වතුරුවලින් තුනෙන් පංගුවක් තික්ත විය; ඒවා තික්ත වී තිබුණු බැවින් බොහෝ මනුෂ්‍යයෝ ඒ වතුරුවලින් මළෝය.

12 සතරවෙනි දේවදූතයාද පිම්බේය, එවිට ඉරෙන් තුනෙන් පංගුවක්ද හඳනේ තුනෙන් පංගුවක්ද තාරකාවලින් තුනෙන් පංගුවක්ද පහර ලැබුවේය; මෙසේ වුණේ ඒවායින් තුනෙන් පංගුවක් අඳුරුවන පිණිසත් දවාලෙන් තුනෙන් පංගුවක් නොබැබළෙන පිණිසත්ය, රාත්‍රියත් එසේමය.

13 තවද එක් රාජාලියෙක් අහස මැද පියාසරකරනවා දුටිමි. පිඹින්ට සිටින දේවදූතයන් තුන්දෙනාගේ ඉතුරු හොරණෑ ශබ්ද නිසා පොළොවේ වසන්නන්ට දුක්වේ, දුක්වේ, දුක්වේයයි මහත් ශබ්දයකින් කියනවාත් ඇසීමි.

9

1 පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්-බේය, එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වළේ යතුර දෙනලද්දේය. 2 ඔහු පාතාලයේ වළ විවෘතකළේය; එවිට මහත් උදුනක දුම මෙන් දුමක් වළෙන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය. 3 ඒ දුමින් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආවෝය; පොළොවේ ගෝනුස්සන්ට බලය තිබෙන්නාක්මෙන් උන්ට බලය දෙනලද්දේය. 4 තවද දෙවියන්වහන්සේගේ මුද්‍රාව තමුන්ගේ නළල්වල නැති මිනිසුන්ට මිස පොළොවේ තණකොළවලටවත් කිසි අමු දෙයකටවත් කිසි ගහකටවත් අනතුරු නොකරන හැටියට උන්ට කියනලද්දේය. 5 උන්ට අවසර දුන්නේ මිනිසුන් මරන පිණිස නොව ඔවුන් පස් මසක් වදකරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙක් ඇන්න කල හටගන්න වේදනාව මෙන් වූයේය. 6 ඒ දවස්වලදී මනුෂ්‍යයෝ මරණය සොයන්නෝය, නුමුත් කිසිසේත් එය සම්බනොවන්නේය; මැරෙන්ට ආශාවන්නෝය, එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලායන්නේය. 7 පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය; උන්ගේ හිස් පිට රන් වැනිවූ ඔටුනු තිබුණාක්මෙන් විය, උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණ වාගේය. 8 ස්ත්‍රීන්ගේ හිසකේ මෙන් කේශ උන්ට තිබුණේය, උන්ගේ දත් සිංහයන්ගේ දත් වාගේය. 9 යකඩ ළයවැසුම් මෙන් ළයවැසුම් උන්ට තිබුණේය; උන්ගේ පියාපත්වල ශබ්දය යුද්ධයට දුවන බොහෝ අශ්ව රථවල ශබ්දය වාගේය. 10 ගෝනුස්සන්ට මෙන් වල්ගාද කටුද උන්ට තිබේ; මනුෂ්‍යයන්ට පස් මසක් අනතුරුකරන්ට උන්ගේ බලය තිබුණේ උන්ගේ වල්ගාවලය. 11 පාතාලයේ දූතයා උන් කෙරෙහි රජ විය. ඔහුගේ නම හෙබ්‍රෙව් භාෂාවෙන් අබද්දෝන්ය, ග්‍රීක් භාෂාවෙන් අපොල්ලියොන්යන නම ඔහුට ඇත්තේය.

12 පළමුවෙනි දුක පසුවිය. මින්පසු තව දුක් දෙකක් පැමිණෙන්නේය.

13 සවෙනි දේවදූතයාද පිම්බේය, එවිට: එප්‍රාත් යන මහ ගංගාව ළඟ බඳිනලද දූතයන් සතරදෙනා මුදන්නැයි හොරණෑව ඇතුව සිටිය සවෙනි දේවදූතයාට, 14 කෙනෙක් කියන ශබ්දයක් දෙවියන්වහන්සේ ඉදිරියෙහි තිබෙන රන් පූජාසනයේ අං සතර කෙරෙන් මට ඇසුණේය. 15 එවිට මනුෂ්‍යයන්ගෙන් තුනෙන් පංගුවක් මරණ පිණිස නියම පැයටත් දවසටත් මාසයටත් අවුරුද්දටත් සූදානම්කරනු ලැබ සිටි ඒ දූතයන් සතරදෙනා මුදනු ලැබුවෝය. 16 අසරු සේනාවල ගණන විසිකෝටියක්ය. ඔවුන්ගේ ගණන කියනවා ඇසීමි. 17 මෙසේ අශ්වයන්ද උන් පිට හුන් අයද දර්ශනයෙන් දුටිමි, ගිනිද ගිනිගල්ද ගෙන්දගම්ද ආකාරවූ ළයවැසුම් ඔවුන්ට තිබුණේය. අශ්වයන්ගේ හිස් සිංහයන්ගේ හිස් වාගේය; උන්ගේ කටවලින් ගිනිද දුම්ද ගෙන්දගම්ද නික්මුණේය. 18 උන්ගේ කටවලින් නික්මුණු ගිනිද දුම්ද ගෙන්දගම්ද යන මේ පීඩා තුනෙන් මනුෂ්‍යයන්ගෙන් තුනෙන් කොටසක් මරනු ලැබුවෝය. 19 මක්නිසාද ඒ අශ්වයන්ගේ බලය තිබෙන්නේ උන්ගේ කටවලත් වල්ගාවලත්ය. එසේය, උන්ගේ වල්ගා සර්පයන්ට සමානව හිස්වලින් යුක්තවිය; ඒවායින් උන් අනතුරුකරති. 20 මේ පීඩාවලින් මරනු නොලැබ ඉතිරිවූ මනුෂ්‍යයෝද යක්ෂයන්ටත් දකින්ට අසන්ට හෝ ඇවිදින්ට නුපුළුවන් රන් රිදී පිත්තල ගල් ලී යන රූපවලටත් නමස්කාර නොකරන ලෙස තමුන්ගේ අත්වල වැඩ ගැන පශ්චාත්තාපවුණේ නැත. 21 ඔවුන්ගේ මිනීමැරීම්ද මායම්ද වේශ්‍යාකමද සොරකම්ද ගැන ඔව්හු පසුතැවිලි නූණෝය.

10

බලවත් දේවදූතයා සහ කුඩා පොත

1 තවත් බලවත් දේවදූතයෙක් වලාකුළක් පැළඳගෙන, තමාගේ හිසේ දේදුන්නක් ඇතුව, ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ මුහුණ ඉර මෙන්ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන්ද විය; 2 ඔහුගේ අතේ දිගහරිනලද කුඩා පොතක් තිබුණේය. ඔහු තමාගේ දකුණු පය මුහුද පිටද වම් පය ගොඩබිම පිටද තබා, 3 සිංහයෙකු ගොරවන්නාක්මෙන් මහත් ශබ්දයකින් මොරගැසුවේය. 4 ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වූවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. 5 මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටිනවා මා විසින් දුටුවාවූ දේවදූතයා ස්වර්ගය දෙසට තමාගේ දකුණත ඔසවා: 6 සදාකාලේටම ජීවත්වන්නාවූ, සවර්ගයත් එහි තිබෙන දේත් පොළොවත් එහි තිබෙන දේත්, මුහුදත් එහි තිබෙන දේත් මැවුවාවූ තැනන්වහන්සේ ගැන දිවුරනුයේ, තවත් කල් නැත කියාද, 7 සත්වෙනි දේවදූතයාගේ ශබ්දකිරීමේ දවස්වලදී, ඔහු පිඹින්ට යන කල, දෙවියන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ට ප්‍රකාශකළ යහපත් ආරංචිය ලෙස උන්වහන්සේගේ රහස සම්පූර්ණ වී තිබේය කියාද කීවේය. 8 ස්වර්ගයෙන් මට ඇසුණු හඬ නැවතත් මා සමඟ කථාකරමින්: නුඹ ගොස්, මුහුද පිටත් ගොඩබිමෙහිත් සිටින දේවදූතයාගේ අතේ දිග ඇරලා තිබෙන පොත අරගන්නැයි මට කීවේය. 9 මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය. 10 එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය. 11 තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.

11

සාක්ෂිකාරයන් දෙදෙනා

1 සැරයටියක් වාගේ බටදණ්ඩක් මට දෙනලද්දේය. එවිට කෙනෙක් මට කථාකරමින්: නැගිට දෙවියන්වහන්සේගේ මාළිගාවද පූජාසනයද එහි නමස්කාරකරන්නන්ද මනින්න. 2 මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය. 3 තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය. 4 මොව්හු පොළොවේ ස්වාමීන්වහන්සේ ඉදිරිපිට සිටින ඔලීව ගස් දෙකද පහන් රුක් දෙකද වෙති. 5 යමෙක් ඔවුනට අනතුරුකරන්ට කැමතිවේ නම්, ඔවුන්ගේ කටින් ගිනි නික්ම ඔවුන්ගේ සතුරන් විනාශකරයි. යමෙක් ඔවුන්ට අනතුරුකරන්ට කැමතිවන්නේ නම් ඔහු මෙලෙස මරනු ලබන්ට ඕනෑය. 6 තමුන්ගේ අනාගතවාක්‍යයේ දවස්වලදී වැසි නොවසින ලෙස අහස්තලය පියන්ට මොවුන්ට බලය තිබේ. වතුර කෙරෙහි කැමති විටක වතුර ලේ කරන්ටත් සියලු පීඩාවලින් පොළොවට පහරදෙන්ටත් ඔවුන්ට බලය තිබේ. 7 ඔවුන් තමුන්ගේ සාක්ෂිය නිමකළ විට පාතාලයෙන් නැගී එන මෘගයා ඔවුන්ට විරුද්ධව යුද්ධකොට, ඔවුන්ගෙන් ජයගෙන ඔවුන් මරන්නේය. 8 ඔවුන්ගේ මළකඳන් වනාහි සොදොම සහ මිසරයත්යයි ආත්මික අර්ථයෙන් කියනු ලබන, ඔවුන්ගේ ස්වාමීන්වහන්සේ කුරුසියෙහි ඇණගසනලද මහත් නුවර වීථියේ තිබෙනවා ඇත. 9 සෙනඟගෙන්ද ගෝත්‍රයන්ගෙන්ද භාෂාවන්ගෙන්ද ජාතීන්ගෙන්ද මනුෂ්‍යයෝ ඔවුන්ගේ මළකඳන් දෙස දවස් තුනහමාරක් බලා සිටිමින්, මළකඳන් සොහොනක තබන්ට ඉඩ නොදෙති. 10 මේ ප්‍රොපේතවරුන් දෙදෙන පොළොවේ වසන්නන්ට වධකළ නිසා, පොළොවේ වසන්නෝ ඔවුන් ගැන ප්‍රීතිව සන්තෝෂවෙමින් එකිනෙකාට තෑගි යවන්නෝය. 11 ඒ දවස් තුනහමාරට පසු ජීවන හුස්ම දෙවියන්වහන්සේගෙන් ඔවුන් තුළට පැමිණ, ඔව්හු නැගිට සිටියෝය; ඔවුන් දුටුවන් කෙරෙහි මහත් භය පැමුණුණේය. 12 මෙහි නැගී එන්නැයි ස්වර්ගයෙන් තමුන්ට කියන මහත් හඬක් ඔවුන්ට ඇසුණේය. ඔව්හුද වලාකුළෙන් ස්වර්ගයට නැගී ගියෝය; ඔවුන්ගේ සතුරෝද ඔවුන් දුටුවෝය. 13 එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.

14 දෙවෙනි දුක පසුවිය. බලව, තුන්වෙනි දුක ඉක්මනින් එන්නේය.

සත්වෙනි හොරණෑව පිඹීම

15 සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය. 16 දෙවියන්වහන්සේ ඉදිරිපිට තමුන්ගේ සිංහාසනවල වාඩිව ඉන්න වැඩිමහල්ලන් විසිහතරදෙනා මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකොට, 17 සිටින්නාවූ, සිටියාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම්කළ බැවින් අපි ඔබට ස්තුතිකරමුව. 18 ජාතීහු උදහස්වූවෝය, ඔබගේ උදහසද මළවුන් විනිශ්චය කරන කාලයද ඔබ ස්වකීය මෙහෙකරුවූ ප්‍රොපේතවරුන්ටත් ශුද්ධවන්තයන්ටත් ඔබගේ නාමයට භයවන ලොකු කුඩා තැනැත්තන්ට විපාක දෙන්නාවූ, පොළොව විනාශකරන්නවුන් විනාශකරන්නාවූ කාලයද පැමුණුණේයයි කීවෝය.

19 එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.

12

ස්ත්‍රියෙක් හා මහත් සර්පයෙක්

1 තවද මහත් පුදුමයක් අහසෙහි දක්නාලද්දේය. එනම් සූර්යයා පැළඳගෙන, පාදයට චන්ද්‍රයාද හිස පිට තාරකා දොළොසකින් යුක්ත ඔටුන්නක්ද ඇති ස්ත්‍රියෙක්ය; 2 ඈ ගර්භිණීව සිටියාය. ඈ විළිරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගසන්නීය. 3 අහසෙහි තවත් පුදුමයක්ද දක්නාලද්දේය; එනම් හිස් සතක්ද අං දසයක්ද තමාගේ හිස් පිට ඔටුනු සතක්ද ඇති මහත් රතු සර්පයෙක් විය. 4 ඌ උගේ වල්ගයෙන් අහසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට හෙළුවේය. සර්පයාද බිහිකරන්ට ආසන්නව සිටි ස්ත්‍රිය බිහිකළ කෙණෙහිම, ඇගේ දරුවා කාදමන පිණිස ඈ ඉදිරිපිට සිටියේය. 5 ඈ සියලු ජාතීන් යදණ්ඩකින් ආණ්ඩුකරන පුත්‍රයෙකු, පිරිමි දරුවෙකු, බිහිකළාය. ඇගේ දරුවා දෙවියන්වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයද වෙතට ඇදගනු ලැබුවේය. 6 ස්ත්‍රීද කාන්තාරයට පලාගියාය, එක්දහස් දෙසිය සැට දවසක් ඈ පෝෂණයකරන පිණිස දෙවියන්වහන්සේ විසින් පිළියෙළකරනලද ස්ථානයක් ඈට එහි තිබුණේය.

යුද්ධයක් හටගැනීම

7 තවද ස්වර්ගයෙහි යුද්ධයක් විය. ඒ වනාහි මිකායෙල් සහ ඔහුගේ දූතයන් මහ සර්පයාට විරුද්ධව යුද්ධයට යාමය. මහ සර්පයාද තමාගේ දූතයෝද සටන්කොට, 8 ජය නොලැබුවෝය, ඔවුන්ට සර්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය. 9 මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය. 10 එවිට: අපගේ දෙවියන්වහන්සේගේ ගැළවීමද බලයද රාජ්‍යයද තමන් ක්‍රිස්තුස්වහන්සේගේ ආණ්ඩුබලයද දැන් පැමුණුණේය. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ ඉදිරිපිට රෑ දාවල් අපේ සහෝදරයන්ට වරදතබන්නාවූ, ඔවුන්ගේ වරදතබන්නා පහත හෙළනු ලැබුවේය. 11 ඔව්හු බැටළුපැටවාණන්ගේ ලේ නිසාද තමුන්ගේ සාක්ෂියේ වචනය නිසාද ඔහුගෙන් ජයගත්තෝය; ඔව්හු මරණය විඳින තරමට පවා තමුන්ගේ ජීවිතයට ප්‍රේම නොකර සිටියෝය. 12 එබැවින් ස්වර්ගයෙනි, එහි වසන්නෙනි, ප්‍රීතිවෙන්න. ගොඩටත් මුහුදටත් දුක්වේ! මක්නිසාද යක්ෂයා තමාට ඇත්තේ ස්වල්ප කාලයක් බව දන්න බැවින්, මහත් උදහසින් යුක්තව නුඹලා වෙතට බැස ගියේයයි ස්වර්ගයෙහි කියන මහත් හඬක් මට ඇසුණේය.

13 තමා පොළොවට හෙළනු ලැබූ බව මහ සර්පයා දුටු කල, හෙතෙම පිරිමි දරුවා බිහිකළ ස්ත්‍රීට පීඩාකෙළේය. 14 සර්පයා ඉදිරියෙන් වනයෙහි ඇගේ ස්ථානයට ඉගිලී යන පිණිස මහත් රාජාලියෙකුගේ පියාපත් දෙක ඈට දෙනලද්දේය; එහි කාලයටත් කාලවලටත් කාල භාගයකටත් ඈ පෝෂණයකරනු ලබන්නීය. 15 සර්පයාද ඒ ස්ත්‍රිය සැඩපාරෙන් ගහගනයන්ට සලස්වන පිණිස ඈ පස්සෙන් ගංගාවක් ලෙස වතුර උගේ කටින් නික්මවා ඇරියේය. 16 නුමුත් පොළොව ස්ත්‍රීට පිහිටව, කට හැර, මහ සර්පයා තමාගේ කටින් නික්මවූ ගංගාව ගිල්ලාය. 17 මහ සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය.

13

ඌ මුහුදු වෙරළේ සිටියේය.

මුහුදෙන් පැනනැගුණු මෘගයා

1 අං දසයක්ද හිස් සතක්ද ඇත්තාවූ මෘගයෙක් මුහුදෙන් මතුවෙනවා දුටිමි, උගේ අං පිට ඔටුනු දසයක්ද උගේ හිස්වල අපහාස නාමවල්ද තිබුණේය. 2 මා දුටු මෘගයා අඳුන්දිවියෙකුට සමානය, උගේ පාද වළසෙකුගේ පාද වැනිය, උගේ කට සිංහයෙකුගේ කට වැනිය. මහ සර්පයා තමාගේ පරාක්‍රමයත් තමාගේ සිංහාසනයත් මහත් බලයත් ඌට දුන්නේය. 3 මැරෙන තරමට උගේ හිස්වලින් එකකට තුවාලවී තිබෙන්නාක්මෙන් පෙනුණේය; නුමුත් උගේ මරණීය තුවාලය සුවවිය. මුළු ලෝකයා මෘගයා පස්සේ පුදුමව ගියෝය; 4 මහ සර්පයා මෘගයාට බලය දුන් නිසා ඔව්හු මහ සර්පයාට නමස්කාරකළෝය; ඔව්හු මෘගයාටත් නමස්කාරකොට: මෘගයාට සමාන කවුද? ඌ හා සමඟ යුද්ධකරන්ට කවරෙකුට හැකිදැයි කීවෝය. 5 අහංකාර දේවල්ද දේව අපහාසද කථාකරන මුඛයක් ඌට දෙනලද්දේය. මාස සතළිස් දෙකක් පවතින්ට ඌට බලය දෙනලද්දේය. 6 එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය-කරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය 7 තවද ශුද්ධවන්තයන්ට විරුද්ධව යුද්ධ කරන්ටද ඔවුන්ගෙන් ජයගන්ටද ඌට ඉඩ දෙනලද්දේය. සියලු ගෝත්‍රයන්ද සෙනඟද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි ඌට බලය දෙනලද්දේය. 8 ලෝකය පටන්ගැන්මේ සිට මරනලද බැටළුපැටවාණන්ගේ ජීවනපොතෙහි නම් ලියවී නොතිබුණු පොළොවෙහි වසන සියල්ලෝ ඌට නමස්කාරකරන්නෝය. 9 යමෙකුට කන් ඇත්තේද ඔහු අසාවා. 10 යමෙක් වහල්කමට නියම නම්, ඔහු වහල්කමට යන්නේය. යමෙක් කඩුවෙන් මරන්නේ නම්, ඔහු කඩුවෙන් මරනු ලබන්ට ඕනෑය. මෙහි ශුද්ධවන්තයන්ගේ ඉවසීමත් ඇදහිල්ලත් ඇත්තේය.

පොළොවෙන් මතුවුණ මෘගයා

11 තවත් මෘගයෙක් පොළොවෙන් නැගී එනවා දුටිමි; බැටළුපැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබුණේය, ඌ මහ සර්පයෙකු මෙන් කථාකෙළේය. 12 ඌ පළමුවෙනි මෘගයාගේ මුළු බලය ඌ ඉදිරියෙහි පවත්වමින්, තමාගේ මරණීයවූ තුවාලයෙන් සුවවුණ පළමුවෙනි මෘගයාට නමස්කාරකරන්ට පොළොවටද එහි වැසියන්ටද සලස්වන්නේය. 13 ඌ මනුෂ්‍යයන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමට මහත් හාස්කම් කරන්නේය. 14 කඩු පහර ලැබත් ජීවත්වූ මෘගයාට රූපයක් සාදන්ට ඕනෑයයි පොළොවේ වැසියන්ට කියමින්, මෘගයා ඉදිරියෙහි කරන්ට ලැබුණු හාස්කම් කරණකොටගෙන ඌ පොළොවේ වැසියන් මුළාකරන්නේය. 15 මෘගයාගේ රූපය කථාකර, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන් මරනු ලබන්ට සලස්වන පිණිස පවා මෘගයාගේ රූපයට පණ දෙන්ට ඌට බලය ලැබුණේය. 16 තවද ලොකු කුඩා, පොහොසත් දිළිඳු, දාස නිර්දාස යන සියල්ලන්ට තමුන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්ටත්; 17 ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමයේ ගණන හෝ ඇත්තාට මිස අන් කිසිවෙකුට මිලේටගන්ටවත් විකුණන්ටවත් නුපුළුවන්වන හැටියටත් සලස්වන්නේය. 18 මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන්කරාවා; මක්නිසාද ඒක මනුෂ්‍යෙයකුගේ ගණනක්ය. උගේ ගණනද හසිය හැට හයක්ය(666).

14

සියොන් කන්ද පිට සිටින බැටළුපැටියාණෝ

1 තවද බැටළුපැටවාණන්ද උන්වහන්සේ සමඟ එක්ලක්ෂක් සතළිස් සාරදහස් දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටිමි, උන්වහන්සේගේ නාමයද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය. 2 බොහෝ ජල ඝෝෂාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමුන්ගේ වීණාවලින් ගායනා කරන ගායනාකරන්නන්ගේ ශබ්දය මෙන්ය. 3 ඔව්හු සිංහාසනය ඉදිරියෙහිද ජීවමාන සත්වයන් සතරදෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් ගායනාකළෝය. ඒ ගීතිකාව එක්ලක්ෂ සතළිස් සාර දහසට, එනම් පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙනගන්ට නොහැකිවිය. 4 ස්ත්‍රීන්ගෙන් කිලුටු නුවූවෝ මොව්හුය; මක්නිසාද මොව්හු බ්‍රහ්මචාරීහුය. බැටළුපැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුවයන්නෝ මොව්හුය. මොව්හු දෙවියන්වහන්සේටත් බැටළුපැටවාණන්ටත් නාඹුල් ඵල වන පිණිස මනුෂ්‍යයන් අතරෙන් මිලේටගන්නාලද්දෝය. 5 ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවීය. ඔව්හු නොකැලැල්ව සිටිති.

අහසේ දේවදූතයන් හතරදෙනෙකුගේ දර්ශනය

6 පොළොවේ වසන්නන්ටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත් ප්‍රකාශකරන පිණිස, සදාකාල ශුභාරංචියක් ඇතුව සිටින තවත් දේවදූතයෙක් අහස මැද පියාසරකරනවා දුටිමි; 7 ඔහු මහත් ශබ්දයකින් කථාකරමින්: දෙවියන්වහන්සේට භයවී, උන්වහන්සේට ගෞරව දෙන්න; මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනන්වහන්සේට නමස්කාරකරන්නැයි කීය.

8 තව දෙවෙනි දේවදූතයෙක්ද (ඔහු) පස්සේ ගොස්: තමාගේ වේශ්‍යාකමේ කෝපය නමැති මුද්‍රිකපානය සියලු ජාතීන්ට පෙවුවාවූ මහත් බබිලෝනිය වැටුණේය, වැටුණේයයි කීය.

9 තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස්: යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද, 10 ඔහුත් දෙවියන්වහන්සේගේ කෝපය නමැති කුසලානට අමිශ්‍රව වත්කරනලද උන්වහන්සේගේ උදහස නමැති මුද්‍රිකපානය බොන්නේය; ඔහු ශුද්ධවූ දේවදූතයන් ඉදිරියෙහිද බැටළුපැටවාණන් ඉදිරියෙහිද ගින්නෙනුත් ගෙන්දගම්වලිනුත් වධකරනු ලබන්නේය. 11 ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය. 12 මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.

13 තවද: මෙතැන් පටන් ස්වාමීන්වහන්සේ තුළ නසින්නාවූ මළවුන් වාසනාවන්තයෝය කියා ලියන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය. එසේය, ඔව්හු තමුන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති; ඔවුන්ගේ ක්‍රියාද ඔවුන් කැටුව යන්නේයයි ආත්මයාණන්වහන්සේ කියනසේක.

පොළොවේ ගොයම් කැපීම හා මිදිවලු එකතුකිරීම

14 තවද සුදු වලාකුළකුත්, ඒ වලාකුළ පිට, තමාගේ හිසේ රන් ඔටුන්නක් සහ තමාගේ අතේ මුවහත් දෑකැත්තක්ද ඇත්තාවූ මනුෂ්‍ය පුත්‍රයෙක් වැනිවූ කෙනෙක් වැඩඉන්නවාත් දුටිමි. 15 වෙන දේවදූතයෙක්ද දේවමාළිගාවෙන් නික්ම ඇවිත්, වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේට මහත් ශබ්දයකින් මොරගසා: ඔබවහන්සේගේ දෑකැත්ත යොමා කැපුවමැනව. මක්නිසාද පොළොවේ ගොයම් පැසී තිබෙන බැවින් කපන කාලය පැමිණ තිබේයයි කීය. 16 එවිට වලාකුළ පිට වැඩහුන් තැනන්වහන්සේ දෑකැත්ත පොළොවට හෙළූසේක; පොළොවේ ගොයම්ද කපනු ලැබුවේය.

17 තවත් දේවදූතයෙක් ස්වර්ගයෙහි තිබෙන දේවමාළිගාවෙන් පිටත්ව ආවේය, ඔහුටත් මුවහත් දෑකැත්තක් තිබුණේය. 18 ගින්න කෙරෙහි බලය ඇත්තාවූ තවත් දේවදූතයෙක් පූජාසනයෙන් පිටත්ව ඇවිත්, මුවහත් දෑකැත්ත ඇතුව සිටිය තැනැත්තාට මහත් හඬකින් මොරගසා: නුඹේ මුවහත් දෑකැත්ත යොමුකොට පොළොවේ මිදිවැලේ මිදිපොකුරු කපා රැස්කරන්න; මක්නිසාද මිදිපල හොඳට ඉදී තිබේයයි කීය. 19 එවිට දේවදූතයා තමාගේ දෑකැත්ත පොළොවට හෙළා, පොළොවේ මිදිපල රැස්කොට, දෙවියන්වහන්සේගේ උදහස නමැති මහත් මිදිපැසට හෙළුවේය. 20 නුවරින් පිටත මිදිපැස පාගනලද්දේය, එවිට පර්ලොං එක්දහස් හසියයක් පමණ දුර අශ්වයන්ගේ කටකලියා දක්වා මිදිපැසෙන් ලේ පිටවුණේය.

15

උදහසේ භාජන සත

1 ස්වර්ගයෙහි මහත්වූ විස්මපත්වූ තවත් පුදුමයක් දුටිමි. එනම් දේවදූතයන් සත්දෙනෙක් පීඩා සතක් රැගෙන සිටියෝය, එයින් දෙවියන්වහන්සේගේ උදහස කෙළවරවන බැවින් ඒවා අන්තිම පීඩාය.

2 ගින්නෙන් මිශ්‍රවූ වීදුරු සාගරයක් වැනි දෙයක් සහ මෘගයාගෙනුත් උගේ රූපෙයනුත් උගේ නමේ ගණනෙනුත් ජයගෙන එන්නන් දෙවියන්වහන්සේගේ වීණා රැගෙන වීදුරු සාගරය ළඟ සිටිනවාත් මම දුටිමි. 3 ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය. 4 ස්වාමීනි, ඔබගේ නාමයට භය නොවන්නෙක් ගෞරව නොකරන්නෙක් කවුද? මක්නිසාද ඔබ පමණක් ශුද්ධය; එබැවින් සියලු ජාතීන් පැමිණ ඔබ ඉදිරියෙහි නමස්කාරකරනවා ඇත; මක්නිසාද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා ප්‍රකාශකරනලද්දේයයි කීවෝය.

5 ඉන්පසු ස්වර්ගයෙහි තිබෙන සාක්ෂි මණ්ඩපයේ දේවමාළිගාව ඇරී තිබෙන බව දුටිමි. 6 එවිට පීඩා සත ඇතුව සිටියාවූ දේවදූතයන් සත්දෙනා පවිත්‍රවූ දීප්තිමත්වූ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් තමුන්ගේ ළය බැඳගෙන, දේවමාළිගාවෙන් පිටත්ව ආවෝය. 7 ජීවමාන සත්වයන් සතරදෙනාගෙන් එක්කෙනෙක් සදාකාලේටම ජීවත්වන්නාවූ දෙවියන්වහන්සේගේ උදහසින් පූර්ණවූ රන් පාත්‍රා සතක් දේවදූතන් සත්දෙනාට දුන්නේය. 8 දෙවියන්වහන්සේගේ තේජස සහ බලයෙන් නිකුත්වූ ධූමයෙන් දේවමාළිගාව පිරුණේය; දේවදූතයන් සත්දෙනාගේ පීඩා සත කෙළවර-වනතුරු දේවමාළිගාවට ඇතුල්වෙන්ට කිසි-වෙකුට නුපුළුවන්විය.

16

ඒ ඒ උදහසේ භාජනය වැගිරවීම සහ එහි ඵල

1 තවද: නුඹලා ගොස් දෙවියන්වහන්සේගේ උදහස නමැති පාත්‍රා සත පොළොවේ වගුරුවන්නැයි දේවදූතයන් සත්දෙනාට කියන මහත් හඬක් දේවමාළිගාවෙන් මට ඇසුණේය.

2 එකල පළමුවෙනියා ගොස් තමාගේ පාත්‍රය භූමියෙහි වැගිරෙවුවේය;

2 එවිට මෘගයාගේ ලකුණ ඇත්තන්ද ඔහුගේ රූපයට නමස්කාරකරන්නන්ද කෙරෙහි වස අරිෂ්ට වණ හටගත්තේය.

3 දෙවෙනියා තමාගේ පාත්‍රය මුහුදේ වැගිරෙවුවේය;

3 එවිට මුහුද මළ මිනිසෙකුගේ ලේ මෙන් ලේ වුණේය;
3 මුහුදේ පණ ඇති සියලු සත්වයෝ මැරුණෝය.

4 තුන්වෙනියා තමාගේ පාත්‍රය ගංගාවලද දිය උල්පත්වලද වැගිරෙවුවේය; 5 එවිට ඒවා ලේ වුණේය. ජලය කෙරෙහි බලය ඇති දේවදූතයා කථාකොට: සිටින්නාවූ, සිටියාවූ, ශුද්ධවූ තැනන්වහන්ස, ඔබ මෙසේ විනිශ්චයකළ බැවින් ඔබ ධර්මිෂ්ඨය. 6 ඔවුන් ශුද්ධවන්තයන්ගේද අනාගතවක්තෘවරුන්ගේද ලේ වැගිරෙවු බැවින් ඔබ ඔවුන්ට බොන්ට ලේ දුන්සේක. ඒක ඔවුන්ට සුදුසුයයි කියනවා මට ඇසුණේය. 7 එසේය, සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨයයි කියනවා පූජාසනයෙන් මට ඇසුණේය.

8 සතරවෙනියා තමාගේ පාත්‍රය සූර්යයා පිට වැගිරෙවුවේය; එවිට ගින්නෙන් මනුෂ්‍යයන් දවන්ට ඊට බලය දෙනලද්දේය. 9 මහත් උෂ්ණයකින් මනුෂ්‍යයෝ දවනු ලැබ, මේ පීඩා කෙරෙහි බලය ඇති දෙවියන්වහන්සේගේ නාමයට අපහාසකළෝය; උන්වහන්සේට ගෞරවය දෙන ලෙස ඔව්හු පශ්චාත්තාපනූණෝය.

10 පස්වෙනියා තමාගේ පාත්‍රය මෘගයාගේ සිංහාසනය පිට වැගිරෙවුවේය; ඔහුගේ රාජ්‍යය අඳුරු විය; ඔව්හු වේදනා නිසා තමුන්ගේ දිව් විකාගත්තෝය, 11 ඔව්හු තමුන්ගේ වේදනාද වණද නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට අපහාසකළෝය; තමුන්ගේ ක්‍රියා ගැන පශ්චාත්තාප නූණෝය.

12 සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳීගියේය. 13 තවද සර්පයාගේ කටිනුත් මෘගයාගේ කටිනුත් බොරු අනාගතවක්තෘගේ කටිනුත් මැඩියන් වැනිවූ අශුද්ධාත්මයන් තුන් දෙනෙක් නික්ම එනවා දුටිමි. 14 මක්නිසාද ඔව්හු සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේගේ මහත් දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජුන් රැස්කරන පිණිස, ඔවුන් ළඟට යන්නාවූ, හාස්කම් කරන්නාවූ යක්ෂයින්ගේ ආත්මයෝය. (බලව, මම සොරෙකුමෙන් එමි. 15 නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.) 16 ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්–මගෙදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.

17 සත්වෙනියාද තමාගේ පාත්‍රය ආකාශයේ වැගිරෙවුවේය; එවිට: නිමවුණේයයි කියන මහත් හඬක් දේවමාළිගාව තුළින් සිංහාසනයෙන් නික්මුණේය. 18 විදුලිද ශබ්දද ගර්ජනාද විය; මහත් භූමිකම්පාවක්ද විය, පොළොවේ මනුෂ්‍යයන් සිටි දා පටන් එපමණ බලවත්වූ මහත්වූ භූමිකම්පාවක් වුණේ නැත. 19 ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය. 20 සියලු ද්වීපයෝ පලාගියෝය, කඳුද නොපෙනී ගියේය. 21 අහසෙන් මහත් ගල්වර්ෂාවක්ද මනුෂ්‍යයන් පිටට වැස්සේය, එහි එක එක ගල තලෙන්තයක් පමණ බරය. මනුෂ්‍යයෝ ගල්වර්ෂාවේ පීඩාව නිසා දෙවියන්වහන්සේට අපහාසකළෝය; මක්නිසාද එහි පීඩාව ඉතා මහත්විය.

17

වේශ්‍යාවවූ බබිලෝනිය සහ මෘගයා

1 පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බොහෝ ජල පිට හිඳින මහත් වේශ්‍යාවගේ විනිශ්චය නුඹට පෙන්වන්නෙමි; 2 පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වැසියෝද ඇගේ වේශ්‍යාකම් නමැති මුද්‍රිකපානයෙන් මත්වුණෝයයි කීවෝය. 3 ඔහු ආත්මයාණන්ගේ ආනුභාවයෙන් කාන්තාරයකට මා ගෙනගියේය. එවිට දේව අපහාස නාමවලින් පිරී සිටියාවූ හිස් සතක් හා අං දසයක් ඇත්තාව රතුපාට මෘගයෙකු පිට ස්ත්‍රියෙක් වාඩිවී ඉන්නවා දුටිමි. 4 ඒ ස්ත්‍රී රත්නිල් සහ රතු පාට වස්ත්‍ර පැළඳ, රනින්ද අනර්ඝ ගල් සහ මුතුවලින්ද සැරසී සිටියාය, පිළිකුල්කම්වලින්ද ඇගේ වේශ්‍යාකමේ අපවිත්‍රකම්වලින්ද පූර්ණවූ රන් කුසලානක් ඇගේ අතේ තිබුණේය, 5 ඇගේ නළල පිට:රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුයයන නාමයක් ලියා තිබුණේය. 6 ඒ ස්ත්‍රී ශුද්ධවන්තයන්ගේද යේසුස්වහන්සේගේ වේදසාක්ෂිකයන්ගේද ලෙයින් මත්වී සිටිනවා දුටිමි. මම ඈ දුටු විට මහත් පුදුමයකින් පුදුමවුණෙමි. 7 දේවදූතයා මට කථාකොට: නුඹ පුදුමවුණේ මක්නිසාද? ස්ත්‍රියගේද ඈව උසුලාගෙන යන හිස් සතකුත් අං දසයකුත් ඇති මෘගයාගේද රහස නුඹට කියමියි මට කීය. 8 නුඹ දුටු මෘගයා සිටියේය, දැන් නැත; ඌ පාතාලයෙන් නැගී එන්ටද විනාශයට යන්ටද සිටින්නේය. ලෝකයේ පටන්ගැන්මේ සිට ජීවන-පොතෙහි නම් නොලියවුණු පොළොවෙහි වාසයකරන්නෝ මෘගයා සිටි හැටිත් දැන් නැති හැටිත් මතු එන හැටිත් දැක පුදුමවන්නෝය. 9 ප්‍රඥාව ඇති සිත මෙහිය. හිස් සත නම් ස්ත්‍රිය වාඩිවී හිඳින කඳු සතය. 10 ඒ (හිස්) රජවරු සත්දෙනෙක්ය; පස්දෙනෙක් වැටී ගියෝය, එක්කෙනෙක් දැන් සිටින්නේය, අනික් තැනැත්තා තවම ආවේ නැත; ඔහු ආවාම ස්වල්ප කාලයක් පවතින්ට ඕනෑය. 11 සිටියාවූ දැන් නැත්තාවූ මෘගයාම අටවෙනියෙක්ව සත්දෙනාගෙන් එක්කෙනෙක්ව සිටින්නේය; ඔහු විනාශයට යන්නේය. 12 නුඹ දුටු අං දසය නම්, තවම කිසි රාජ්‍යයක් නොලැබූ රජවරු දස දෙනෙක්ය; නුමුත් ඔව්හු මෘගයා සමඟ එක පැයකට රජවරුන් ලෙස ආණ්ඩුබලය ලබන්නෝය. 13 මොව්හු එක්සිත්ව තමුන්ගේ පරාක්‍රමයත් බලයත් මෘගයාට දෙති. 14 මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය. 15 ඔහු තවත් මට කථාකොට: වේශ්‍යාව හිඳගන ඉන්න තැන නුඹ දුටු ජලය නම් මනුෂ්‍ය වර්ගයෝද සමූහයෝද ජාතීහුද භාෂාවෝද වෙති. 16 නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය. 17 මක්නිසාද දෙවියන්වහන්සේගේ වචන සම්පූර්ණවන තුරු උන්වහන්සේගේ කැමැත්ත කරන්ට එක්සිත්ව තමුන්ගේ රාජ්‍යය මෘගයාට දෙන ලෙස උන්වහන්සේ ඔවුන්ගේ සිත් කැමතිකෙරෙවුසේක. 18 නුඹ දුටු ස්ත්‍රී නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම්කරන මහත් නුවරයයි කීවේය.

18

බබිලෝනිය වැටීම

1 ඉන්පසු මහත් බලය ඇතුව වෙන දේවදූතයෙක් ස්වර්ගයෙන් බසිනවා දුටිමි; ඔහුගේ තේජසින් පොළොව ආලෝකවිය. 2 ඔහු බලවත් හඬකින් මොරගසා: මහා බබිලෝනිය වැටුණාය, වැටුණාය, ඈ යක්ෂයන්ගේ වාසස්ථානයක්ද සියලු අශුද්ධාත්මයන්ගේ හිරගෙයක්ද සියලු අපවිත්‍රවූ පිළිකුල්වූ පක්ෂීන්ගේ හිරගෙයක්ද වූවාය. 3 මක්නිසාද සියලු ජාතීහු ඇගේ වේශ්‍යාකමේ උදහස නමැති මුද්‍රිකපානය බී වැටුණෝය; පොළොවේ රජවරු ඈ සමඟ වේශ්‍යාකම්කළෝය, පොළොවේ වෙළෙන්දෝ ඇගේ සැපජීවිකාවේ අධිකකමෙන් ධනවත් වූවෝයයි කීවේය.

4 තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය. 5 මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළසේක 6 ඈ දුන් ලෙස ඈට ප්‍රතිඵල දී, ඇගේ ක්‍රියා හැටියට දෙගුණයක් ඈට දෙන්න. ඈ මිශ්‍රකරදුන් කුසලානෙහි දෙපංගුවක් මිශ්‍රකර ඈට දෙන්න. 7 ඈ යම් පමණක් තමාම වර්ණනාකරගනිමින් සැපජීවිකාවෙන් වැඩිවූවාද, එපමණටම ඈට ශෝකය හා වධ දෙන්න. මක්නිසාද: මම බිසවක්ව වැඩහිඳිමි, මම වැන්දඹුවක් නොවෙමි, ශෝකයද කිසිසේත් නොදකිමියි ඈ සිතින් කියාගන්නීය. 8 එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක. 9 ඈ සමඟ වේශ්‍යාකම්කොට සැපජීවිකාවෙන් විසූ පොළොවේ රජවරු ඇගේ දැවීමේ දුම දකින කල, ඇගේ වේදනාවට භයින් දුරින් සිට: 10 අහෝ, අහෝ, මහත් නුවර, බබිලෝනිය, බලවත් නුවර! එක පැයකින් නුඹේ විනිශ්චය පැමුණුණේයයි කියමින් ඈ ගැන අඬා විලාප කියති. 11 පොළොවේ වෙළෙන්දෝද කිසිවෙක් ඔවුන්ගේ වෙළඳාම් බඩු නොගන්න බැවින් ඈ ගැන අඬා ශෝකවෙති. ඒ බඩු නම්: 12 රන් රිදී බඩුද අනර්ඝ ගල්ද මුතුද සිහින් රෙදිද රත්නිල් වස්ත්‍රද පටරෙදිද රක්ත වස්ත්‍රද; සියලු ආකාර සුවඳ ලීද සියලු ඇත්දත් භාජනද ඉතා අනර්ඝ ලීයෙන් පිත්තලෙන් යකඩින් සහ කිරිගරුඬවලින් සෑදූ සියලු ආකාර භාජනද; 13 කුරුඳුද කුළු බඩුද සුගන්ධ ද්‍රව්‍යද තෛලද කට්ටකුමංචල්ද මුද්‍රිකපානයද තෙල්ද සිහින් පිටිද ධාන්‍යද ගවයන්ද බැටළුවන්ද; අශ්වයන් සහ රථද වහලුන්ද මනුෂ්‍යයන්ගේ ප්‍රාණද යන මේවාය. 14 නුඹේ ආත්මය ආශාකළ ඵල නුඹ කෙරෙන් පහව ගියේය, ශෝභනවූ ඉසුරුමත්වූ සියල්ල නුඹ කෙරෙන් විනාශවිය, මනුෂ්‍යයන්ට ඒවා තවත් සම්බ නොවේ. 15 ඈ කරණකොටගෙන පොහොසත්වූ මේ බඩු වෙළෙන්දෝ ඈ විඳින වධයට භයව, අඬමින් වැලපෙමින්, දුරින් සිට: 16 අහෝ, අහෝ, මහත් නුවර, සිහින් රෙදිද රත්නිල් සහ රක්ත වස්ත්‍රද පැළඳ රනින්ද අනර්ඝ මැණික් සහ මුතුවලින්ද සැරසුණාවු නුවර! 17 එක පැයකින් එපමණ මහත් ධනය නැතිවී ගියේයයි කියති. සියලු නැව් මුලාදෑනිවරුද යම් තැනකට යාත්‍රාකරන්නෝද නාවිකයෝද මුහුදේ වැඩපළ කරන සියල්ලෝද දුරින් සිට, ඇගේ දැවීමේ දුම බලා: 18 මේ මහත් නුවරට සමාන නුවර කොයි එකදැයි කියමින් මොරගැසුවෝය. 19 ඔව්හු තමුන්ගේ හිස් පිට ධූලි හෙළා, හඬමින් වැලපෙමින්: අහෝ, අහෝ, ඒ මහත් නුවර! ඇගේ වස්තුව හේතුකොටගෙන මුහුදේ නැව් ඇත්තාවූ සියල්ලෝ ඇගෙන් ධනවත්වූවෝය. එක පැයකින් ඈ පාළුවුණාය කියමින් මොරගැසුවෝය. 20 ස්වර්ගය සහ ශුද්ධවන්තයෙනි, ප්‍රේරිතයෙනි, ප්‍රොපේතවරුනි, ඈ ගැන ප්‍රීතිවෙන්න; මක්නිසාද ඈ නුඹලාට කළ විනිශ්චයෙන්ම දෙවියන්වහන්සේ ඈ විනිශ්චයකළසේක.

21 තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය. 22 වීණාකාරයන්ගේද තූර්යනාද පවත්වන්නන්ගේද නළාකාරයන්ගේද හොරණෑ කාරයන්ගේද හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය; කොයි ආකාර කර්මාන්තකාරයෙක්වත් නුඹ තුළ තවත් සම්බ නොවන්නේය; ඇඹරුම් ගලේ හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය; 23 පහනක එළිය නුඹ තුළ තවත් නොබැබළෙන්නේය; මණමාලයාගේවත් මණමාලීගේවත් හඬ නුඹ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද නුඹේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; නුඹේ මායමින්ද සියලු ජාතීහු රැවටුණෝය; 24 ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරනලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේයයි කීවේය.

19

ස්වර්ගයෙහි ජයග්‍රහනය හා බැටළු පැටියාණන්ගේ සරණමංගල්‍යය

1 මින්පසු ස්වර්ගයෙහි සිටින මහත් සමූහයකුගේ හඬ මෙන් මහත් හඬක් මට ඇසුණේය. ඔව්හු කථාකොට: හෙලලූයා! ගැළවීමද මහිමයද බලයද අපගේ දෙවියන්වහන්සේට අයිතිය. 2 මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, ධර්මිෂ්ඨය; මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේකැයි කීවෝය. 3 දෙවෙනි වරක්ද ඔව්හු: හලෙලූයා කියති. ඇගේ දුම සදාකාලේටම නගින්නේය. 4 වැඩිමහල්ලන් විසිසතරදෙනාද ජීවමාන සත්වයන් සතරදෙනාද වැටී: ආමෙන්, හලෙලූයා කියමින් සිංහාසනයේ වැඩහිඳින දෙවියන්වහන්සේට නමස්කාරකළෝය. 5 තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය. 6 එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්, 7 හලෙලූයා. අපි අතිශයෙන් ප්‍රීති සන්තෝෂවෙමු, උන්වහන්සේට ගෞරවය දෙමු. මක්නිසාද බැටළුපැටවාණන්ගේ සරණමංගල්‍යය පැමිණියේය, උන්වහන්සේගේ භාර්යාවද සූදානම්ව සිටින්නීය යනුයි. 8 දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍රයෙන් පැළඳෙන්ට ඈට ලැබුණේය. සිහින් වස්ත්‍ර නම් ශුද්ධවන්තයින්ගේ ධර්මිෂ්ඨ ක්‍රියාය. 9 තවද: බැටළු පැටවාණන්ගේ සරණමංගල්‍ය කෑමට කැඳවනලද්දෝ වාසනාවන්තයෝය කියා ලියන්නැයි ඔහු මට කීවේය. 10 මේවා දෙවියන්වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කීවේය. මම ඔහුට නමස්කාරකරන පිණිස ඔහුගේ පාමුල වැටුණෙමි. ඔහුද: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්න. මක්නිසාද, යේසුස්වහන්සේගේ සාක්ෂිය අනාගතවාක්‍යයේ ආත්මයයයි මට කීවේය.

ක්‍රිස්තුස්වහන්සේ ජයගැනීම

11 එවිට ස්වර්ගය ඇරී තිබෙනවා දුටුමි; බලව, සුදු අශ්වයෙක් සිටියේය. විශ්වාසය, සැබෑයයි කියනු ලැබූ තැනන්වහන්සේ ඌ පිට වැඩහුන්සේක; උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චයත් යුද්ධයත් කරනසේක. 12 උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක්ය. උන්වහන්සේගේ හිසේ බොහෝ ඔටුනු තිබේ; උන්වහන්සේම මිස අන් කිසිවෙක් නොදන්නාවූ නමක් උන්වහන්සේට එහි ලියා තිබේ. 13 තවද උන්වහන්සේ ලේ ඉසිනු ලැබූ වස්ත්‍රයක් පැළඳ සිටිසේක. උන්වන්සේගේ නාමය දෙවියන්වහන්සේගේ වාක්‍යයාණෝයයි කියනු ලැබේ. 14 ස්වර්ගයෙහි සිටින සේනාවෝ සුදුවූ පවිත්‍ර සිහින් වස්ත්‍ර හැඳ, සුදු අශ්වයන් පිටින් උන්වහන්සේ පස්සේ ගියෝය. 15 ජාතීන්ට පහරදෙන පිණිස උන්වහන්සේගේ මුඛයෙන් තියුණු කඩුවක් නික්මෙයි. උන්වහන්සේ යදණ්ඩකින් ඔවුන් ආණ්ඩු කරනසේක. උන්වහන්සේ සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස නමැති මුද්‍රිකපැස මඩිනසේක. 16 උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිදරජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේයයන නාමය ලියා තිබේ.

උන්වහන්සේගේ සතුරන්ගේ විනාශය

17 තවද සූර්යයා තුළ දේවදූතයෙක් සිටිනවා දුටිමි; ඔහුද ආකාශ මධ්‍යයෙහි පියාසරකරන සියලු පක්ෂීන්ට මහත් හඬින් මොරගසා: 18 නුඹලා රජුන්ගේ මස්ද සේනාපතීන්ගේ මස්ද බලවත් මනුෂ්‍යයන්ගේ මස්ද අශ්වයන් සහ උන් පිට හිඳිනවුන්ගේ මස්ද දාස නිර්දාස ලොකු කුඩා සියලු මනුෂ්‍යයන්ගේ මස්ද කන පිණිස, දෙවියන්වහන්සේගේ මහත් රාත්‍රි කෑමට ඇවිත් රැස් වෙන්නැයි කීවේය.

19 අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේටත් උන්වහන්සේගේ සේනාවටත් විරුද්ධව යුද්ධකිරීමට මෘගයාද පොළොවේ රජවරුන්ද ඔවුන්ගේ සේනාවන්ද රැස්ව සිටිනවා දුටිමි. 20 එකල මෘගයාද ඌ ඉදිරියෙහි ඒ හාස්කම්කර උගේ සලකුණ ලැබූවන් සහ උගේ රූපයට නමස්කාරකළවුන් රැවටුවාවූ බොරු අනාගතවක්තෘද අල්ලනු ලැබුවෝය. ඔවුන් දෙදෙනාම ගෙන්දගමින් දැවෙන ගිනිවිලට පණපිටින් හෙළනු ලැබුවෝය. 21 අනික් අය අශ්වයා පිට වැඩහුන් තැනන්වහන්සේගේ කඩුවෙන්, එනම් උන්වහන්සේගේ මුඛයෙන් නික්මුණු කඩුවෙන්, මරනු ලැබුවෝය. ඔවුන්ගේ මාංසවලින් සියලු පක්ෂීහු තෘප්තියට පැමුණුණෝය.

20

අවුරුදු දහසකට සාතන් බඳිනු ලැබීම

1 තවද පාතාලයේ යතුරුද අතේ මහත් දම්වැළක්ද ඇතුව දේවදූතයෙක් ස්වර්ගයෙන් බැස එනවා දුටිමි. 2 ඔහු යක්ෂයාද සාතන්දවූ පුරාණ සර්පයා වන ඒ මහා සර්පයා අල්ලා අවුරුදු දහසකට බැන්දේය, 3 ඒ අවුරුදු දහස කෙළවරවන තුරු ඔහු විසින් ජාතීන් තවත් නොරවටන පිණිස ඔහු පාතාලයට හෙළා, ඒක වසා, ඔහු මතුයෙහි ඒක මුද්‍රාකෙළේය. මින්පසු ස්වල්ප කලකට ඔහු මුදනු ලබන්ට ඕනෑය.

4 තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය. 5 මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු ජීවත් නූණෝය. මේ වනාහි පළමුවෙනි නැවත-නැගිටීමය. 6 පළමුවෙනි නැවත-නැගිටීමට පංගුකාරකම ඇති තැනැත්තා වාසනාවන්තය, ශුද්ධය. ඔවුන් කෙරෙහි දෙවෙනි මරණයට බලය නැත්තේය; ඔව්හු දෙවියන්වහන්සේගෙත් ක්‍රිස්තුස්වහන්සේගෙත් පූජකයෝව, උන්වහන්සේ හා සමඟ අවුරුදු දහසක් රජකම්කරන්නෝය.

සාතන් නිදහස්කිරීම. අන්තිම සටන

7 අවුරුදු දහස කෙළවරවූ කල සාතන් තමාගේ හිරගෙයින් මුදනු ලැබ, 8 පොළොවේ සතර කොනේ සිටින්නාවූ ගොග් මාගොග් යන ජාතීන් මුළාකරන්ටත් ඔවුන් යුද්ධයට රැස්කරන්ටත් නික්ම එන්නේය. ඔවුන්ගේ ගණන මුහුදේ වැලි මෙන්ය. 9 ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුරද ප්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට [දෙවියන්වහන්සේ වෙතින්] ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශකෙළේය. 10 ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.

සාමාන්‍ය මළවුන්ගෙන් නැගිටීම සහ අන්තිම විනිශ්චය

11 තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය. 12 මළාවූ ලොකු අයද කුඩා අයද සිංහාසනය ඉදිරියෙහි සිටිනවා දුටිමි; පොත්ද දිගහරිනු ලැබුවේය. ජීවනපොත වන තවත් පොතක් දිගහරිනු ලැබීය. මළාහු තමුන්ගේ ක්‍රියා ලෙස පොත්වල ලියනලද දේවලින් විනිශ්චයකරනු ලැබුවෝය. 13 සමුද්‍රය එහි උන් මළවුන් පාවාදුන්නේය. මරණයත් පාතාලයත් එහි උන් මළවුන් පාවාදුන්නෝය. ඔව්හු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චයකරනු ලැබුවෝය. 14 මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළනලද්දේය. මෙය දෙවෙනි මරණයය, එනම් ගිනිවිලය. 15 යමෙකුගේ නම ජීවන-පොතෙහි ලියා නැති බව සම්බවීද, ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය.

21

අලුත් අහස සහ අලුත් පොළොව

1 අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය. 2 තවද තමාගේ පුරුෂයාට සරසනලද මණමාලියෙකු මෙන් සූදානම්කරනු ලැබූ ශුද්ධ නුවර, එනම් අලුත් යෙරුසලම, දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. 3 තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. 4 උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. 5 සිංහාසනය පිට වැඩහුන් තැනන්වහන්සේ කථාකොට: බලව, සියල්ල අලුත්කරමියි කීසේක. තවද උන්වහන්සේ කථාකොට: ලියන්න. මක්නිසාද මේ වචන විශ්වාසය, සැබෑයයි කීසේක. 6 උන්වහන්සේ මට කථාකොට: ඒවා ඉෂ්ටවුණේය. මම අල්ඵා සහ ඕමෙගාය, පටන්ගැන්ම හා අන්තිමය. පිපාසාය ඇත්තාට මම ජීවන-වතුර-උල්පතෙන් නොමිලයේ බොන්ට දෙන්නෙමි. 7 ජයගන්නා මේ දේවල් උරුමකරගන්නේය; මම ඔහුගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔහු මාගේ පුත්‍රයා වන්නේය. 8 නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.

ස්වර්ගීය යෙරුසලම

9 අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දැරූ දේවදූතයන් සත්දෙනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමඟ කථාකොට: මෙහි එන්න, බැටළුපැටවාණන්ගේ භාර්යාව වන මණමාලී නුඹට පෙන්වන්නෙමියි කීවේය. 10 ඔහු මහත්වූ උස්වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මා ගෙනගොස්, ශුද්ධ නුවරවූ යෙරුසලම දෙවියන්වහන්සේගේ තේජස ඇතුව දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේය. 11 ඇගේ ආලෝකය ඉතා අනර්ඝවූ මාණික්‍යයකට සමානය; එනම් පළිඟු මෙන් පැහැදිලිවූ සූර්යකාන්ති ගලක් වාගේය. 12 මහත්වූ උස්වූ පවුරක්ද දොරටු දොළොසක්ද ඊට තිබුණේය, දොරටු ළඟ දේවදූතයෝ දොළොස් දෙනෙක් සිටියෝය; ඒ පිට නාම ලියා තිබුණේය, ඒ නාම වනාහි ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ දොළොස් ගෝත්‍රයන්ගේ නාමවල්ය. 13 නැගෙනහිරින් දොරටු තුනක්ද, උතුරෙන් දොරටු තුනක්ද, දකුණෙන් දොරටු තුනක්ද, බස්නාහිරින් දොරටු තුනක්ද තිබුණේය. 14 නුවර පවුරට අත්තිවාරම් දොළොසක් තිබුණේය, ඒවා පිට බැටළුපැටවාණන්ගේ ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාම දොළොස ලියා තිබුණේය. 15 මා සමඟ කථාකළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය. 16 නුවර සතරැස්ව පිහිටා තිබේ, එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය පර්ලොං දොළොස් දහසක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානය. 17 ඔහු එහි පවුර මැන්නේය, ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් එකසිය හතළිස්හතර රියනක්ය. 18 එහි පවුර සූර්යකාන්තිවලින් ගොඩනගා තිබුණේය. නුවරද පවිත්‍ර වීදුරුවලට සමානවූ පවිත්‍ර රන්ය. 19 නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ඝ ගල්වලින් සරසා තිබුණේය. පළමුවෙනි අත්තිවාරම සූර්යකාන්තියය; දෙවෙනි එක නීලකාන්තියය; තුන්වෙනි එක වර්ණකාන්තියය; සතරවෙනි එක මරකතයය; 20 පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදුර්ය; නවවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගයය; දොළොස්වෙනි එක අඹතෙස්ය. 21 දොරටු දොළොස මුතු දොළොසක්ය; එක එක දොරටුව එක එක මුතුඇටයකින් සාදා තිබුණේය. නුවර වීථිය විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය. 22 මම එහි දේවමාළිගාවක් නුදුටිමි. මක්නිසාද සර්වපරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්සේද බැටළුපැටවාණෝද එහි දේවමාළිගාවය. 23 දෙවියන්වහන්සේගේ තේජසින් නුවර ආලෝකවූ බැවින්ද බැටළුපැටවාණන් එහි පහන වන බැවින්ද එහි බැබළීමට සූර්යයාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත. 24 ජාතීහු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති. 25 එහි දොරටු දවාලේ කිසිසේත් වසනු නොලබන්නේය. මක්නිසාද එහි රාත්‍රියක් නොවන්නේය. 26 ඔව්හු ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත. 27 බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දයෙක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය.

22

ජීවන-වෘක්ෂය සහ නුවර ආලෝකය

1 තවද දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්ම එන්නාවූ පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්, 2 එහි වීථිය මැද ඔහු මට පෙන්විය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක ඵල දරන, මාස්පතා ඵල දෙන, ජීවන-වෘක්ෂය තිබුණේය. ඒ වෘක්ෂයේ කොළ ජාතීන්ගේ සුවවීම පිණිසය. 3 කිසි ශාපයක් තවත් නොවන්නේය. එහි දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනය වන්නේය. උන්වහන්සේගේ මෙහෙකරුවෝ උන්වහන්සේට මෙහෙකරන්නෝය; 4 ඔව්හු උන්වහන්සේගේ මුහුණ දකින්නෝය; උන්වහන්සේගේ නාමයද ඔවුන්ගේ නළල්වල තිබෙන්නේය. 5 එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය.

අවසානය

6 තවද ඔහු මට කථාකොට: මේ වචන විශ්වාසය, සැබෑයයි කීයේය. ටික කලකින් සිදුවන්ට ඕනෑ දේ තමන්ගේ මෙහෙකරුවන්ට පෙන්වන පිණිස අනාගතවක්තෘවරුන්ගේ ආත්මවල දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවූසේකැයි මට කීයේය. 7 මෙන්න, ඉක්මනින් එමි. මේ පොතේ අනාගතවාක්‍යයේ වචන රක්ෂාකරන්නා ආශීර්වාදලද්දෙකැයි කීයේය.

8 මේ දේ ඇසුවාවූ දුටුවාවූ තැනැත්තා යොහන් නම් මමය. මම ඇසූ දුටු කල මේ දේ මට පෙන්වූ දේවදූතයාට නමස්කාරකරන්ට ඔහුගේ පාමුල වැටුණෙමි. 9 ඔහු මට කථාකොට: එසේ නොකරන්ට බලාගන්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්‍රොපේතවරුන්ගේද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරන්නැයි කීවේය.

10 තවද ඔහු මට කථාකොට: මේ පොතේ අනාගතවාක්‍යයේ වචන මුද්‍රා නොකරන්න; මක්නිසාද කාලය ආසන්නය. 11 අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා. 12 මෙන්න, ඉක්මනින් එමි; එකිනෙකාට තම තමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමඟ විපාක තිබේ. 13 මම අල්ඵා සහ ඕමෙගාය, පළමුවෙනියා සහ අන්තිමයාය, පටන්ගැන්ම සහ කෙළවරය. 14 ජීවන-වෘක්ෂයට පැමිණෙන්ට අයිතිවාසිකම ලැබෙන පිණිසත් දොරටුවලින් නුවරට ඇතුල්වන්ට පුළුවන්වන පිණිසත් තමුන්ගේ සළු සෝදාගන්නාවූ තැනැත්තෝ ආශීර්වාදලද්දෝය. 15 පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.

16 යේසුස් වන මම සභාවන් උදෙසා මේ දේවල් ගැන නුඹලාට සාක්ෂිදෙන්ට මාගේ දූතයා එවීමි. මම වනාහි දාවිත්ගේ මුල සහ වංශයය, දීප්තිමත් පහන් තාරකාවය.

17 ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.

18 මේ පොතේ අනාගතවාක්‍ය වචන අසන සියල්ලන්ට මෙසේ සහතිකලෙස කියමි, එනම්: යමෙක් ඒ වචනවලට යමක් එකතුකරන්නේ නම්, දෙවියන්වහන්සේ මේ පොතෙහි ලියනලද පීඩා ඔහුට එකතුකරනසේක. 19 යමෙක් මේ අනාගතවාක්‍ය පොතේ වචනවලින් යමක් අහක්කරන්නේ නම්, මේ පොතෙහි ලියා තිබෙන ජීවන-වෘක්ෂයෙන්ද ශුද්ධ නුවරින්ද දෙවියන්වහන්සේ ඔහුගේ කොටස අහක්කරනසේක යනුයි.

20 මේ කාරණා ගැන සාක්ෂිදෙන තැනන්වහන්සේ කථාකොට: එසේය, මම ඉක්මනින් එමියි කියනසේක. ආමෙන්, ස්වාමිවූ යේසුස්වහන්ස, වැඩිය මැනව.

21 ස්වාමිවූ යේසුස්වහන්සේගේ කරුණාව ශුද්ධවන්තයන් හා සමඟ වේවා. ආමෙන්.