ආචාරකිරීම, ස්තුතිදීම සහ යාච්ඤාකිරීම
1 ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයන්වූ පාවුල්ද තිමෝතියස්ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පිලිප්පියෙහි සිටින සියලු ශුද්ධවන්තයන්ටත් නායකයන් හා උපස්ථායකයන්ටත් ලියා එවන වග නම්: 2 අපගේ පියවූ දෙවියන්වහන්සේගෙන්ද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද කරුණාවත් සමාදානයත් නුඹලාට වේවා.
3 නුඹලා මට සිහිවෙන හැම වේලේම නිතරම මාගේ සියලු යාච්ඤාවලදී නුඹලා සියල්ලන් උදෙසා ප්‍රීතියෙන් යාච්ඤාව ඔප්පුකරමින්, 4 පළමුවෙනි දවස පටන් දැන් දක්වා ශුභාරංචියේ වර්ධනය සඳහා තිබෙන, 5 නුඹලාගේ පංගුකාරකම ගැන මාගේ දෙවියන්වහන්සේට ස්තුතිකරමි. 6 නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණකරනසේකැයි යන මේ විශ්වාසය ඇතිව සිටිමි. 7 නුඹලා සියල්ලන් ගැන මෙසේ කල්පනාකරන්ට මට යුතුය, මක්නිසාද මාගේ බැඳුම්වලදීද ශුභාරංචිය ගැන උත්තරදීමේදීද ඒක ස්ථිර කිරීමේදීද නුඹලා සියල්ලන් මා සමඟ අනුග්‍රහයට පංගුකාරයන්ව සිටින බැවින් නුඹලා මාගේ සිතේ දරමි. 8 එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ ඇලුම්කමින් මට නුඹලා සියල්ලන් කෙරෙහි කොපමණ ආශා ඇත්තෙම්ද කියා දෙවියන්වහන්සේ මට සාක්ෂි වනසේක. 9 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ගෞරවය හා ප්‍රශංසාව සඳහා, නුඹලා ධර්මිෂ්ඨකමේ ඵලවලින් පූර්ණව, 10 උතුම්වූ දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා අවංකව නිදොස්ව සිටින්ටත්, 11 නුඹලාගේ ප්‍රේමය දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි.
ප්‍රේරිත තැන හිරඅඩස්සිවී සිටීමෙන් ශුභාරංචිය පැතිරයාම
12 සහෝදරයෙනි, මට සිදුවූ කාරණා වැඩි වශයෙන් ශුභාරංචියේ දියුණුවීමටම හැරී තිබෙන බව නුඹලා දැනගන්නවාට කැමැත්තෙමි. 13 මෙසේ මාගේ බැඳුම් ක්‍රිස්තුස්වහන්සේ නිසා පැමුණුණ බව මුළු රජගෙදරද අනිකුත් සියල්ලන්ටද ප්‍රකාශවී තිබේ. 14 ස්වාමීන්වහන්සේ තුළවූ සහෝදරයන්ගෙන් වැඩිදෙනාද මාගේ බැඳුම් නිසා ධෛර්ය ලැබ, දෙවියන්වහන්සේගේ වචනය භය නැතුව කියාදෙන්ට ඉතා වැඩිලෙස නිර්භීතවී සිටිති. 15 සමහරු ඊර්ෂ්‍යාවෙන්ද විවාදයෙන්ද සමහරු හොඳ සිතින්ද ක්‍රිස්තුස්වහන්සේ දේශනාකරති. 16 එක පක්ෂයක් මා ශුභාරංචිය ගැන උත්තරදෙන්ට සිටින බව දැන ප්‍රේමයෙන්ද, 17 අනික් පක්ෂය මාගේ බැඳුම්වලදී මට පීඩා උපදවන්ට සිතා පිරිසිදුලෙස නොව පක්ෂවාදිකමෙන්ද, ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශකරති.
ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලැබීම ගැන ප්‍රේරිත තැනගේ ප්‍රීතිය
18 ඉතින් කිමෙක්ද? වංචාවෙන් වේවා, සැබෑකමෙන් වේවා, ඒ කොහොම වෙතත් සියලු ආකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශකරනු ලබනසේක; ඊට ප්‍රීතිවෙමි, එසේය, තවත් ප්‍රීතිවන්නෙමි. 19 මක්නිසාද මේ කාරණය නුඹලාගේ ඉල්ලීමෙන්ද ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන් ලැබීමෙන්ද මාගේ ගැළවීමට හැරෙන බව දනිමි. 20 ඒ හැටියට මම කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, සියලු ආකාරයෙන් නිර්භීතව සිටීමෙන්, මාගේ ශරීරය කරණකොටගෙන, ජීවිතයෙන් වේවා, මරණයෙන් වේවා, නිතරම වාගේ දැනුත් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පැමිණේයයි මාගේ තද බලාපොරොත්තුවක්ද ප්‍රාර්ථනාවක්ද ඇත්තේය.
ජීවිතය නොහොත් මරණය, වඩා හොඳ කොයි එකද?
21 මක්නිසාද මාගේ ජීවත්වීම නම් ක්‍රිස්තුස්වහන්සේ (උදෙසා) ය, මරණයද මට ලාභයක්ය. 22 නුමුත් මාංසයෙහි ජීවත්වීම [මාගේ කොටස නම්], මාගේ වැඩවලින් ප්‍රයෝජන ඇති නිසා කොයි එක තෝරාගනිම්දැයි නොදනිමි. 23 නුමුත් මම මේ දෙක මැද හිරවී සිටිමි; මාගේ ආශාව නම් තුරන්ව ගොස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ විසීමටය; මක්නිසාද ඒක බොහෝසෙයින් වඩා හොඳය. 24 නුමුත් මාංසයෙහි සිටීම නුඹලා නිසා වඩා ඕනෑකෙරේ. 25 මම මේක විශ්වාස කරන බැවින්, මා ජීවත්වී, ඇදහීමෙහි නුඹලාගේ දියුණුවීමද ප්‍රීතියද සඳහා නුඹලා සියල්ලන් සමඟ සිටින්ට යෙදෙන බව දනිමි. 26 මෙසේ වන්නේ, මා ගැන නුඹලාගේ පාරට්ටුකරගැන්ම නැවත නුඹලා වෙතට මාගේ ඊමෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වැඩිවෙන පිණිසය.
ධෛර්යවත්වීමට අනුශාසනාව
27 මම ඇවිත් නුඹලා දක්නෙම් නුමුත්, ඈත්ව සිටින්නෙම් නුමුත්, නුඹලා එකම ආත්මයෙන් ස්ථිරව, එක සිතකින් ශුභාරංචියේ ඇදහිල්ල ගැන වීර්යකරමින්, විරුද්ධව සිටින්නන්ට කිසිවක් ගැන භීත නොවී සිටින බව මට අසන්ට පුළුවන්වන පිණිස, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබිනලෙසම හැසිරෙන්න. 28 ඒ [නිර්භීතකම] ඔවුන්ට විනාශයේද නුඹලාට ගැළවීමේද ලකුණක්ව තිබේ; එය දෙවියන්වහන්සේගෙන්ම පැමිණෙන්නේය. 29 මක්නිසාද ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහන්ට පමණක් නොව, උන්වහන්සේ උදෙසා දුක්විඳින්ටත් ක්‍රිස්තුස්වහන්සේ උදෙසා නුඹලාට වරප්‍රසාදය දෙනලද්දේය. 30 මා කෙරෙහි තිබෙන බව නුඹලා දුටුවාවූ, දැන් මට ඇතැයි නුඹලා අසන්නාවූ එම සටනම නුඹලාටත් ඇත්තේය.
2එක්සත්වීමටත් යටහත්වීමටත් අනුශාසනාව
1 ඉතින් ක්‍රිස්තුස්වහන්සේ තුළ යම් අස්වැසිල්ලක් ඇත්නම්, ප්‍රේමයේ යම් සැනසිල්ලක් ඇත්නම්, ආත්මයාණන් වහන්සේගේ යම් පංගුකාරකමක් ඇත්නම්, යම් ආදරයක් සහ දයාබරකමක් ඇත්නම්, 2 නුඹලා එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සම්පූර්ණකරන්න. 3 පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා. 4 නුඹලා එක් එක්කෙනා තම තමාගේම කාරණා නොව අනුන්ගේ කාරණාත් බලන්න.
කුරුසිය දක්වා ක්‍රිස්තුස්වහන්සේගේ පහත්වීම ඇදහිලිවන්තයාගේ මහත් ආදර්ශය බව
5 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබුණු සිතම නුඹලා තුළත් තිබේවා. 6 උන්වහන්සේ දෙවියන්වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන්වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගනම සිටිය යුතුවූ වස්තුවකැයි නොසිතා, 7 එය ඉවත්කර, දාසයෙකුගේ ස්වරූපය ගෙන, මනුෂ්‍යයන්ගේ සමානත්වයට පැමිණිසේක. 8 මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. 9 එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. 10 එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, 11 යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.
ගැළවීම වනාහි කල්ක්‍රියාවෙහි යෙදවිය යුතු බව
12 එබැවින්, මාගේ ප්‍රේමවන්තයෙනි, නුඹලා නිතරම කීකරුව සිටියාක්මෙන්ම, මා ළඟ සිටියදී පමණක් නොව දැන් මා ඈත්ව සිටින විටද ඊට වඩා කීකරුව, හයෙනුත් වෙවුලුමෙනුත් නුඹලාගේම ගැළවීම ඉෂ්ටකරගන්න; 13 මක්නිසාද තමන්වහන්සේගේ යහපත් කැමැත්ත නිසා, කැමතිවෙන්ටත් වැඩකරන්ටත් නුඹලා තුළ ක්‍රියාකරන්නේ දෙවියන්වහන්සේමය. 14 වංකවූ හිතුවක්කාරවූ පරම්පරාවක් අතරේ නුඹලා නිදොස්ව, අහිංසකව, දෙවියන්වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස, කෙඳිරීම්ද විවාදද නැතුව සියල්ල කරන්න. 15 ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනය පාමින් ආලෝකවල් මෙන් ලෝකයෙහි දක්නා ලබන්නහුය. 16 මෙසේ, මම නිෂ්ඵලලෙස නොදිවීමි, නිෂ්ඵලලෙස වීර්ය නොකෙළෙමියි කියා ක්‍රිස්තුස්වහන්සේගේ දවසේදී මට පාරට්ටුවක් ඇතිවන්නේය. 17 එසේය, මා නුඹලාගේ ඇදහිල්ල නැමති පූජාවත් මෙහෙයත් පිට පූජාකරනු ලබන නුමුත් සන්තෝෂවෙමි, නුඹලා සියල්ලන් සමඟ ප්‍රීතිවෙමි. 18 එසේම නුඹලාත් සන්තෝෂවෙන්න, මා සමඟ ප්‍රීතිවෙන්න.
සභා සේවක තිමෝතියස් සහ එපප්‍රොදිතස්
19 මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි. 20 මක්නිසාද නුඹලාගේ කාරණා ගැන ඔහු වාගේ සැබෑලෙස සලකන්නාවූ වෙන කෙනෙක් මට නැත. 21 මක්නිසාද සියල්ලෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කාරණා නොව තම තමුන්ගේම කාරණා සොයන්නෝය. 22 ඔහු නම් දරුවෙක් පියෙකුට සේවයකරන්නාක්මෙන් ශුභාරංචියේ වර්ධනය සඳහා මා සමඟ සේවයකළේය යන ඔහුගේ ඔප්පුව නුඹලා දනිහුය. 23 එබැවින් මාගේ කාරණා කොයි ආකාරවේද කියා මම දුටු කෙණෙහිම, ඔහු එවන්ට බලාපොරොත්තුවෙමි. 24 මටත් නොබෝ කලකින් එන්ට ලැබේය කියා ස්වාමීන්වහන්සේ තුළ විශ්වාසය ඇතුව සිටිමි. 25 එහෙත් මාගේ සහෝදරයාවූ, හවුල් සේවකයෙක්වූ, හවුල් හේවායෙක්වූ, නුඹලාගේ ප්‍රේරිතයෙක්ද මාගේ වුවමනාවලට උපස්ථානකරන්නාදවූ එපප්‍රොදිතස් නුඹලා වෙතට එවන්ට ඕනෑයයි සිතුවෙමි. 26 මක්නිසාද ඔහු නුඹලා හැමදෙනාම දකින්ට බොහෝ ආශාවක් ඇතුව, තමා ලෙඩින් සිටිය බව නුඹලා ඇසූ බැවින් ඉතා කනගාටුවෙන් සිටියේය. 27 එසේය, මරණාසන්නවෙන තරමට ඔහු ලෙඩින් සිටියේය. නුමුත් දෙවියන්වහන්සේ ඔහුට කරුණාකළසේක; ඔහුට පමණක් නොව සෝකය පිට සෝකය මට නොපැමිණෙන පිණිස මටත් කරුණාකළසේක. 28 එබැවින් නුඹලා ඔහු නැවත දැක ප්‍රීතිවෙන පිණිසත් මාගේ සෝකයද අඩුවෙන පිණිසත් ඔහු වඩා ඉක්මන්කොට එවීමි. 29 එබැවින් ස්වාමීන්වහන්සේ තුළ සියලු ආකාර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න; එබඳු අය ගරුකොට සලකන්න. 30 මක්නිසාද මට කළාවූ නුඹලාගේ සේවයෙහි අඩුපාඩුව පිරිමසන්ට ඔහු තමාගේ ජීවිතය නොසලකා ක්‍රිස්තුස්වහන්සේගේ මෙහෙය නිසා මරණාසන්නවුණේය.
3පේරිත තැනගේ ජාතික අයිතිවාසිකම් ක්‍රිස්තුස්වහන්සේ නිසා නොසලකා හැරීම
1 ඉතින්, මාගේ සහෝදරයෙනි, ස්වාමීන්වහන්සේ තුළ ප්‍රීතිවෙන්න. එම කාරණා නුඹලාට ලියා එවීම මට වෙහෙස නැත, නුඹලාගේ ප්‍රවේසම පිණිසත් ඒක හොඳය. 2 බල්ලන්ගෙන් ප්‍රවේසම්වෙන්න, නපුරු ක්‍රියාකාරයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඡේද්‍යකරන්නන්ගෙන් ප්‍රවේසම්වෙන්න. 3 මක්නිසාද චර්මඡේදිතයෝ නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන නමස්කාරකරන්නාවූ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටුකරගන්නාවූ, මාංසය තුළ විශ්වාසයක් නැත්තාවූ අපිය. 4 ඕනෑ නම් මට මාංසය කෙරෙහි පවා විශ්වාසය තබන්ට පුළුවන. වෙන යමෙක් මාංසය කෙරෙහි තමාට විශ්වාසය තබන්ට පුළුවනැයි සිතන්නේ නම්, මට ඊට වඩා පුළුවන. 5 අටවෙනිදා චර්මඡේදිතවූයෙමි, ඉශ්‍රායෙල් වංශයේ, බෙන්යමින්ගේ ගෝත්‍රයේ කෙනෙක්මි, හෙබ්‍රෙව්වරුන්ගෙන් හෙබ්‍රෙව්වෙක්මි; ව්‍යවස්ථාව ගැන නම්, එරිසියෙක්මි; 6 ජ්වලිතකම ගැන නම්, සභාවට පීඩාකෙළෙමි; ව්‍යවස්ථාවෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ගැන නම්, නිර්දෝෂව සිටියෙමි. 7 එසේවී නුමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස්වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. 8 එසේය, මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳිනගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව; ඒවා කුණුයයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස්වහන්සේ ලබාගන්නා පිණිසත්, 9 ව්‍යවස්ථාවෙන් පැමිණෙන මාගේම ධර්මිෂ්ටකම නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල කරණකොටගෙන, ඇදහිල්ල නිසා දෙවියන්වහන්සේගෙන් පැමිණෙන ධර්මිෂ්ඨකම ඇතුව ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්, 10 යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීමට පැමිණෙන ලෙස, 11 උන්වහන්සේ සහ උන්වහන්සේගේ නැවත–නැගිටීමේ බලයත් උන්වහන්සේගේ දුක්වල පංගුකාරකමත් දැනගන්නා පිණිසත්ය.
පසු නොබැස ඉදිරියට යන්ටද ඒ පිණිස මාංසික තෘෂ්ණා වලක්වාගන්ටද ඕනෑ බව
12 මා දැනට ලබාගෙන සිටිනවාවත් දැනටම සම්පූර්ණවී සිටිනවාවත් නොවේ. නමුත් යමක් පිණිස ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මා අල්ලාගත්සේක්ද, ඒක අල්ලාගන්ට වීර්යකරමින් මමත් දුවගනයමි. 13 සහෝදරයෙනි, මම තවමත් අල්ලාගත්තෙමියි නොසිතමි. නුමුත් එකක් කරමි, එනම්, පස්සෙන් තිබෙන දේ මතකනැතිකොට, ඉස්සරහට තිබෙන ඒවා දෙසම බලාගන යමින්, 14 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ උතුම් කැඳවීමේ දිනුම පිණිස දිනුම්පළ කරා දුවමි. 15 එබැවින් අපෙන් යම් පමණ දෙනෙක් සම්පූර්ණව සිටිද්ද, ඔව්හු ඒ ආකාරයෙන් කල්පනා කරත්වා. නුඹලා යම් කාරණයක් ගැන වෙන අභිප්‍රායක් ඇත්තාහු නම්, ඒකත් දෙවියන්වහන්සේ නුඹලාට එළිදරව්කරනවා ඇත. 16 නුමුත් අපි යම් ස්වභාවකට පැමිණ සිටිමුද, ඒ ප්‍රකාරයට හැසිරෙමුව.
17 සහෝදරයෙනි, එක්ව මා අනුව යන්නෝ වෙන්න. අප නුඹලාට ආදර්ශයක්ව සිටින්නේ යම් සේද, එසේ හැසිරෙන්නන් බලාගන්න. 18 මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්, බොහෝදෙනෙක් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති. 19 ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය. 20 නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය; එතැනින් ගැළවුම්කාරයෙක් වන ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එනවා අපි බලා සිටිමුව. 21 සියලු දේ පවා තමන්ට යටත්කරන්ට පුළුවන්වූ බලය ලෙස, උන්වහන්සේ අපේ පහත්කමේ ශරීර තමන්වහන්සේගේ තේජසේ ශරීරයට සමානවන පිණිස ඒවා වෙනස්කරනවා ඇත.
4එක්සත්කම, ප්‍රීතිවීම, උතුම් ගුණ මෙනෙහිකිරීම යන මේවා ගැන අවවාද
1 එහෙයින්, මාගේ ප්‍රේමවන්තවූ, මා ඉතා ඇලුම්වෙන්නාවූ සහෝදරයෙනි, මාගේ ප්‍රීතියත් ඔටුන්නත්වූ මාගේ ප්‍රේමවන්තයෙනි, මෙසේ ස්වාමීන්වහන්සේ තුළ ස්ථිරව සිටින්න.
2 ස්වාමීන්වහන්සේ තුළ එක්සිත්වෙනමෙන් එවෝදියාගෙන් ඉල්ලමි, සින්තිකීගෙන්ද ඉල්ලමි. 3 එසේය, මේ ස්ත්‍රීන්ට උපකාරකරන ලෙස සැබෑ හවුල් වැඩකරන්නෙක්වූ නුඹෙනුත් ඉල්ලමි. ඔව්හු ක්ලෙමෙන්ත් සහ මාගේ අනික් හවුල් සේවකයන් ඇතුළුව මා සමඟ ශුභාරංචියෙහි වැඩකළෝය, ඔවුන්ගේ නාම ජීවන-පොතෙහි තිබේ.
4 ස්වාමීන්වහන්සේ තුළ නිතරම ප්‍රීතිවෙන්න. ප්‍රීතිවෙන්නැයි නැවතත් කියමි. 5 නුඹලාගේ ඉවසිලිවන්තකම සියලු මනුෂ්‍යයන්ට දැනගන්ට ලැබේවා. ස්වාමීන්වහන්සේ ළංව සිටිනසේක. 6 නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. 7 එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.
8 ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න. 9 නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත.
පිලිප්පිවරුන්ගේ තුති පඬුරු ගැන ප්‍රේරිත තැනගේ ස්තුතිවන්තකම
10 මෙපමණ කාලයකට පසු මා ගැන කල්පනාකිරීමට නුඹලා නැවත පිබිදුණු බැවින් ස්වාමීන්වහන්සේ තුළ බොහෝසෙයින් ප්‍රීතිවෙමි. ඒ ගැන නුඹලා ඇත්තටම කල්පනාකළහුය, නුමුත් ප්‍රස්තාවක් ලැබුණේ නැත. 11 හිඟකමක් ගැන මෙසේ කියනවා නොවේ. මක්නිසාද මම මොන ස්වභාවක සිටිම් නුමුත්, ඊට සතුටුවෙන්ට මම ඉගෙනගෙන සිටිමි. 12 පහත්ව සිටින්ට දනිමි, පූර්ණව සිටින්ටත් දනිමි. සෑම සියලු කාරණාවලදී තෘප්තියට පැමිණ සිටින්ට සහ ක්ෂුධාවෙන් සිටින්ටත්, පූර්ණව සිටින්ට සහ හිඟව සිටින්ටත් පුළුවන් රහස ඉගෙනගෙන සිටිමි. 13 මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලුදේ කරන්ට පුළුවන. 14 එසේවී නුමුත් නුඹලා මාගේ පීඩාවට හවුල්වුණා හොඳය. 15 පිලිප්පිවරුනි, ශුභාරංචියේ පටන්ගැන්මේදී මා මකිදෝනියෙන් ගිය කල නුඹලා මිස වෙන කිසි සභාවක් දීමත් ලැබීමත් යන කාරණය ගැන මට හවුල්නුවූ බව නුඹලාත් දනිහුය. 16 මක්නිසාද තෙසලෝනිකයට පවා නුඹලා මාගේ ඕනෑකම් ගැන වරක් දෙවරක් මට දීලා එවුවහුය. 17 මා තෑග්ග සොයනවා නොව, නුඹලාගේ ගණනට වැඩිවන්නාවූ ඵල සොයමි. 18 නුමුත් මට සියල්ල ලැබී, පූර්ණව සිටිමි. නුඹලා විසින් එවන ලද දේවල් එපප්‍රොදිතස්ගෙන් ලැබ පිරී සිටිමි. ඒවා දෙවියන්වහන්සේට මිහිරි සුවඳක්ව, ප්‍රියවූ ප්‍රසන්නවූ පූජාවක්ව තිබේ. 19 මාගේ දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක. 20 ඉතින් අපගේ පියවූ දෙවියන්වහන්සේට සදාකාලයටම ගෞරවය වේවා. ආමෙන්.
අවසාන ආචාරය
21 ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ශුද්ධවන්තයන් සෑමදෙනාට ආචාරකරන්න. මා සමඟ සිටින සහෝදරයෝ නුඹලාට ආචාරකරති. 22 සියලු ශුද්ධවන්තයෝද ප්‍රධානකොට කායිසර්ගේ ගෙදර සිටින ශුද්ධවන්තයෝද නුඹලාට ආචාරකරති.
23 ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව නුඹලාගේ ආත්මය සමඟ වේවා.