1

යේසුස්වහන්සේගේ පෙළපත

1 ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාවේ පොතය.

2 ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය; 3 යූදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය; 4 රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය; 5 සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය; 6 යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය.

6 දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය; 7 සාලමොන්ට දාව රෙහොබොවම් උපන්නේය; රෙහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය; 8 ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය; 9 උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය; 10 ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය; 11 බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.

12 බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය; 13 සෙරුබාබෙල්ට දාව අබියූද් උපන්නේය; අබියූද්ට දාව එලියාකීම් උපන්නේය; එලියාකීම්ට දාව ආශොර් උපන්නේය; 14 ආශොර්ට දාව සාදොක් උපන්නේය; සාදොක්ට දාව ආකීම් උපන්නේය; ආකීම්ට දාව එලියූද් උපන්නේය; 15 එලියූද්ට දාව එලෙයාසර් උපන්නේය; එලෙයාසර්ට දාව මත්තාන් උපන්නේය; මත්තාන්ට දාව යාකොබ් උපන්නේය; 16 යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය; මරියාගෙන් ක්‍රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන්සේක.

17 මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.

යේසුස්වහන්සේගේ උප්පැන්නය

18 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී. 19 ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය. 20 නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, නුඹේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය. 21 ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේටයේසුස්යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.

22 මේ සියල්ල සිද්ධවූයේ–

22 බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය;
22 උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත.

22 කියා 23 ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි. 24 එවිට යෝසෙප් නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය; 25 නුමුත් ඈ පුත්‍රයෙකු බිහිකරන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේටයේසුස්යන නාමය තැබීය.

2

ශාස්ත්‍රවන්තයන්ගේ ඊම

1 තවද හෙරොද් රජුගේ දවස්වල යුදයේ බෙත්ලෙහෙම්හි යේසුස්වහන්සේ උපන් කල, පූර්වදිශාවෙන් ශාස්ත්‍රවන්තයෝ යෙරුසලමට ඇවිත්: 2 යුදෙව්වරුන්ට රජව උපන් තැනන්වහන්සේ කොතැන්හිද? මක්නිසාද අපි උන්වහන්සේගේ තාරකාව පූර්වදිශාවෙහිදී දැක, උන්වහන්සේට නමස්කාරකරන පිණිස ආවෙමුයයි කීවෝය. 3 හෙරොද් රජ ඒ ඇසූ කල්හි ඔහුද ඔහු සමඟ මුළු යෙරුසලමද කැලඹුණෝය. 4 එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය. 5 ඔව්හු කථාකොට: යුදයේ බෙත්ලෙහෙම්හිය, කුමක් හෙයින්ද–

6 එම්බා බෙත්ලෙහෙම, යූදා දේශය, ‍ නුඹ යූදාගේ අධිපතීන් අතරෙහි කොයි ලෙසකින්වත් ඉතා කුඩා නොවන්නීය.

6 මක්නිසාද මාගේ ඉශ්‍රායෙල් සෙනඟ පාලනයකරන්නාවූ ආණ්ඩුකාරයෙක් නුඹ කෙරෙන් නික්මෙන්නේයයි

6 අනාගතවක්තෘ විසින් ලියා තිබේයයි ඔහුට කීවෝය. 7 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් රහසින් කැඳවා, තාරකාව කොයි කාලයෙහි පෙනුණේදැයි හරියාකාරයෙන් ඔවුන්ගෙන් දැනගෙන: 8 නුඹලා ගොස් ඒ ළදරුවා ගැන හරියාකාරයෙන් විභාගකරන්න; නුඹලාට සම්බවූ කල, මාත් ගොස් උන්වහන්සේට නමස්කාරකරන පිණිස මට දන්වන්නය කියා, ඔවුන් බෙත්ලෙහෙමට යැවීය. 9 ඔව්හු රජුගේ බස් අසා පිටත්ව ගියෝය; බලව, පූර්වදිශාවෙහිදී ඔවුන් දුටු තාරකාව ළදරුවා උන් තැන මුදුනට පැමිණ නවතින තුරු ඔවුන්ට පෙරටුව ගියේය. 10 ඔව්හු තාරකාව දැක ඉතා මහත් ප්‍රීතියකින් ප්‍රීතිවූවෝය. 11 ඔව්හු ගෙට වැද, ළදරුවා ස්වකීය මවුවූ මරියා සමඟ සිටිනවා දැක, බිම වැටී උන්වහන්සේට නමස්කාරකොට, තමුන්ගේ කරඬු හැර, රන්ද කට්ටකුමංචල්ද සුවඳලාටුද යන පඬුරු උන්වහන්සේට පිදුවෝය. 12 තවද හෙරොද් වෙතට නැවත නොයන ලෙස දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ඔව්හු අන් මගකින් තමුන්ගේ රටට ගියෝය.

මිසරයට පලායාම

13 ඔවුන් ගිය කල්හි ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට පලා ගොස්, මා ඔබට කියන තුරු එහි සිටින්න. මක්නිසාද හෙරොද් ළදරුවා විනාශකරන්ට සොයනවා ඇතැයි කීවේය. 14 ඔහු නැගිට රාත්‍රියෙහි ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන මිසරයට ගොස්, 15 හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය.

හෙරොද් රජ බෙත්ලෙහෙමේ කුඩා දරුවන් මැරවීම

16 එකල හෙරොද් ශාස්ත්‍රවන්තයන් විසින් තමා රවටනු ලැබූ බව දැක, ඉතා උදහස්ව, ඔවුන්ගෙන් හරියාකාර දැනගත් කාලයේ හැටියට, මනුෂ්‍යයන් යවා, බෙත්ලෙහෙම්හිද එහි සියලු සීමාවලද සිටි දෑවුරුදු වයස්වූද ඊට බාලවූද සියලු පිරිමි දරුවන් මැරෙවුවේය. 17 එකල:

17 හැඬීමේද බොහෝ වැලපීමේද හඬක් රාමාහි ඇසුණේය;
17 රාඛෙල් ඇගේ දරුවන් ගැන අඬමින්, ඔවුන් නැති නිසා සැනසෙන්ට නොකැමතිවූවායයි

18 අනාගතවක්තෘවූ යෙරෙමියා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවිය.

මිසරයෙන් හැරී ඊම

19 නුමුත් හෙරොද් මැරුණායින් පසු, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් මිසරයෙහිදී ස්වප්නයකින් යෝසෙප්ට පෙනී: 20 නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට යන්න. මක්නිසාද ළදරුවාගේ ජීවිතය නසන්ට සෙවූ අය මළෝයයි කීවේය. 21 එවිට ඔහු නැගිට ළදරුවාද උන්වහන්සේගේ මෑණියන්ද රැගෙන ඉශ්‍රායෙල් දේශයට ආවේය. 22 එහෙත් අර්කෙලාවුස් තමාගේ පියවූ හෙරොද් වෙනුවට යුදය කෙරෙහි රජකම්කරන බව ඔහු අසා, එහි යන්ට භයව, දෙවියන්වහන්සේ විසින් ස්වප්නයකින් දන්වනු ලැබ, ගලීලයේ පළාත්වලට ගොස්, 23 නාසරෙත් නම් නුවරට පැමිණ, එහි වාසයකෙළේය. මෙසේ වූයේ: උන්වහන්සේ නාසරියයෙක්යයි කියනු ලබනසේකැයි අනාගතවක්තෘවරුන් කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

3

යොහන් බව්තීස්ත හා ඔහුගේ පණිවිඩය

1 ඒ දවස්වලදී යොහන් බව්තීස්ත ඇවිත් යුදයේ වනයෙහි දේශනාකරමින්: 2 පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ළඟයයි කීවේය. 3 කුමක් හෙයින්ද–

3 ස්වාමීන්වහන්සේගේ මාර්ගය පිළියෙළකර උන්වහන්සේගේ මාවත් සමතලාකරන්නය කියා වනාන්තරයෙහි හඬගසන්නෙකුගේ ශබ්දයයයි

3 අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද්දේ මොහු ගැනය. 4 මෙම යොහන් ඔටුරෝම වස්ත්‍ර හැඳ, ඉඟටියේ හම්පටියක් බැඳ සිටියේය; ඔහුගේ කෑම වූයේ පළඟැටියන් හා වනමීය. 5 එකල යෙරුසලමේද මුළු යුදයේද යොර්දාන අවට මුළු පළාතේද වැසියෝ ඔහු වෙතට පැමිණ, 6 තමුන්ගේ පව් කියාදෙමින්, යොර්දාන් ගංගාවෙහි ඔහුගෙන් බව්තීස්මය ලැබුවෝය. 7 නුමුත් ඔහු තමාගෙන් බව්තීස්මය ලබන පිණිස ඵරිසිවරුන්ගෙන්ද සද්දුසිවරුන්ගෙන්ද බොහෝ දෙනෙකු එනවා දැක, ඔවුන්ට කථාකොට: පොළොං වංශය, පැමිණෙන උදහසින් පලායන්ට නුඹලාට අවවාදකළේ කවුද? 8 එබැවින් ආබ්‍රහම් අපගේ පියාණෝයයි කියාගන්ට නොසිතා, පසුතැවිල්ලට සුදුසු ඵල උපදවන්න. 9 මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි. 10 තවද දැනටම පොරොව ගස් මුලට තබා තිබේ. එබැවින් හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ ගින්නෙහි දමනු ලැබේ. 11 මම වනාහි පසුතැවිල්ල පිණිස නුඹලා වතුරෙන් බව්තීස්මකරමි. නුමුත් මට පසුව එන තැනැත්තේ මට වඩා බලවත්ය, මම උන්වහන්සේගේ වහන් ගෙනයන්ටවත් නොවටිමි. උන්වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන්ද ගින්නෙන්ද නුඹලා බව්තීස්මකරනසේක. 12 උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.

යේසුස්වහන්සේගේ බව්තීස්මය

13 එකල යේසුස්වහන්සේ යොහන්ගෙන් බව්තීස්මය ලබන පිණිස ගලීලයේ සිට යොර්දානට ආසේක. 14 නුමුත් යොහන් උන්වහන්සේ වලක්වමින්: ඔබගෙන් බව්තීස්මය ලබන්ට මට යුතුව තිබියදී ඔබ මා වෙතට එනසේක්දැයි කීවේය. 15 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: දැනට ඉඩහරින්න. මක්නිසාද මෙසේ සියලු ධර්මිෂ්ඨකම් සම්පූර්ණකරන්ට අපට සුදුසුයයි කීසේක. එවිට ඔහු උන්වහන්සේට ඉඩහැරියේය. 16 යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක; 17 තවද: මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමියි අහසෙන් හඬක් විය.

4

යේසුස්වහන්සේ වනාන්තරයෙහි පරීක්ෂාකරනු ලැබීම

1 එකල යේසුස්වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂාකරනු ලබන පිණිස ආත්මයාණන්වහන්සේ විසින් වනාන්තරයට පමුණුවනු ලැබූසේක. 2 උන්වහන්සේ දාවල් සතළිසක්ද රෑ සතළිසක්ද නිරාහාරව හුන් පසු, උන්වහන්සේට බඩගිනිවිය. 3 එවිට පරීක්ෂකයා උන්වහන්සේ වෙතට ඇවිත්: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් මේ ගල් රොටි වෙන්ට අණකරන්නැයි කීවේය. 4 උන්වහන්සේ උත්තරදෙමින්: මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය කියා ලියා තිබේයයි කීසේක. 5 එවිට යක්ෂයා උන්වහන්සේ ශුද්ධ නුවරට පමුණුවා දේවමාළිගාව මුදුනෙහි සිටුවා: 6 ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් පහතට පනින්න. කුමක් හෙයින්ද–

6 උන්වහන්සේ තමන් දූතයන්ට නුඹ ගැන අණදෙනසේක.
6 නුඹේ පය යම් හෙයකින් ගලක නොවදින පිණිස ඔව්හු තමුන්ගේ අත්පිට නුඹ උසුලාගන්නෝය

6 කියා ලියා තිබේයයි උන්වහන්සේට කීවේය. 7 යේසුස්වහන්සේද: නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරව කියාත් ලියා තිබේයයි ඔහුට කීසේක. 8 නැවතත් යක්ෂයා උන්වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රාජ්‍යයන්ද එහි ඓශ්චර්යයද උන්වහන්සේට පෙන්වා: 9 ඔබ බිම වැටී මට නමස්කාරකරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමියි උන්වහන්සේට කීවේය. 10 එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක. 11 එකල යක්ෂයා උන්වහන්සේ අත්හැර ගියේය; බලව, දේවදූතයෝ ඇවිත් උන්වහන්සේට උපස්ථානකළෝය.

යේසුස්වහන්සේ ගලීලයේ කපර්ණවුමෙහි විසීම

12 යොහන් පාවාදෙනු ලැබූ බව උන්වහන්සේ අසා අහක්ව ගලීලයට ගියසේක. 13 උන්වහන්සේ නාසරෙත් නුවර හැර, සාබුලොන් සහ නප්තලීයේ සීමාවල මුහුදුබඩ තිබෙන කපර්ණවුමට පැමිණ, එහි වාසයකළසේක. 14 මෙසේ කළේ–

14 යොර්දාන් එගොඩ මුහුද අසබඩ සාබුලොන් රටද නප්තලී රටද වන අන්‍ය ජාතීන්ගේ ගලීලයෙහි,

15 අන්ධකාරයෙහි හුන් සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝය, මරහුගේ දේශයෙහිද සෙවණෙහිද හුන්නවුන්ට ආලෝකය උදාවූයේයයි

16 අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

යේසුස්වහන්සේ දේශනාකරන්ට පටන්ගැනීම

17 එතැන් පටන් යේසුස්වහන්සේ: පසුතැවිලිවෙන්න; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ලංවී තිබේය කියා දේශනාකරන්ට පටන්ගත්සේක.

උන්වහන්සේගේ මුල් ගෝලයන් කැඳවීම

18 උන්වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදිනසේක්, මසුන් අල්ලන්නන්ව සිටියාවූ සහෝදරයන් දෙදෙනෙක් වන පේතෘස් නම්ලත් සීමොන්ද ඔහුගේ සහෝදරවූ අන්දෘද මුහුදේ දැලක් හෙළනවා දැක: 19 මා පස්සේ එන්න, මම නුඹලා මනුෂ්‍යයන් අල්ලන්නන් කරන්නෙමියි ඔවුන්ට කීසේක. 20 එකෙණෙහිම ඔව්හු දැල් අත්හැර උන්වහන්සේ අනුව ගියෝය. 21 උන්වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙක් වන සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද තමුන්ගේ පියවූ සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් හරිගස්සනවා දැක, ඔවුන්ට අඬගැසූසේක. 22 එකෙණෙහිම ඔව්හු ඔරුවද තමුන්ගේ පියාද අත්හැර උන්වහන්සේ අනුව ගියෝය.

උන්වහන්සේ ගලීලයේ හැසිර තමන් මෙහෙය ඉෂ්ටකිරීම

23 තවද යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සෙනඟ අතරෙහි සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද ගලීලය මුළුල්ලෙහි ඇවිද්දසේක. 24 උන්වහන්සේගේ කීර්තිය සිරියා රට මුළුල්ලෙහි පතළව ගියාය. නොයෙක් රෝගපීඩාවලින් පීඩිතවූ සියලු රෝගීහුද යක්ෂා වේශවූවෝද මීමස්මර රෝගීහුද අංශභාග රෝගීහුද උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය; උන්වහන්සේ ඔවුන් සුවපත්කළසේක. 25 ගලීලයෙන්ද දෙකපොලිසෙන්ද යෙරුසලමෙන්ද යුදයෙන්ද යොර්දාන් එගොඩින්ද බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය.

5

කන්ද උඩ දේශනාව

(පරි: 5-7)

1 උන්වහන්සේ සමූහයන් දැක කන්දට නැගුණසේක. උන්වහන්සේ හිඳගත් කල්හි උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ වෙතට ආවෝය. 2 එවිට උන්වහන්සේ මුඛය හැර ඔවුන්ට උගන්වමින් මෙසේ කීසේක–

ආශීර්වාද වාක්‍ය (“වාසනාවන්තයෝ”)

3 සිතින් දිළින්දෝ ආශීර්වාදලද්දෝය;

3 මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය.

4 ශෝකවන්නෝ ආශීර්වාදලද්දෝය;

4 මක්නිසාද ඔව්හු සනසනු ලබන්නෝය.

5 මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාදලද්දෝය;

5 මක්නිසාද ඔව්හු පොළොව උරුමකරගන්නෝය.

6 ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය;

6 මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.

7 දයාවන්තයෝ ආශීර්වාදලද්දෝය;

7 මක්නිසාද ඔව්හු දයාව ලබන්නෝය.

8 සිතින් පවිත්‍රව සිටින්නෝ ආශීර්වාදලද්දෝය;

8 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේ දකින්නෝය.

9 සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය;

9 මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය.

10 ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ස්වර්ගරාජ්‍යය ඔවුන්ගේය. 11 මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය. 12 ප්‍රීතිවෙන්න, ඉතා සන්තෝෂවෙන්න; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.

ලුණු සහ ආලෝකය

13 නුඹලා පොළොවේ ලුණුය. නුමුත් ලුණුවල රස නැතිවුණොත් ඒවා කුමකින් රසකරනු ලබන්නේද? එතැන් පටන් ඒවා පිටත දමනු ලබන්ටද මනුෂ්‍යයන්ගේ පයින් පාගනු ලබන්ටද මිස අන් කිසිවකට නොවටනේය. 14 නුඹලා ලෝකයේ ආලෝකයය. කන්දක් මුදුනෙහි තිබෙන නුවරක් සඟවන්ට නොහැකිය. 15 මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි. 16 එසේම මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේට ගෞරවකරන පිණිස නුඹලාගේ ආලෝකය ඔවුන් ඉදිරියේ බබළාවා.

පරණ ව්‍යවස්ථාව හා යේසුස්වහන්සේගේ ව්‍යවස්ථාව

17 ව්‍යවස්ථාව හෝ අනාගතවාක්‍යය හෝ අවලංගුකරන පිණිස මම ආවෙමියි නොසිතන්න. සම්පූර්ණකරන්ට මිස අවලංගුකරන්ට නාවෙමි. 18 සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. 19 එබැවින් මේ ආඥාවලින් ඉතා සුළු එකක්වත් කඩකරන්නාවූ, කඩකරන ලෙස මනුෂ්‍යයන්ට උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා සුළුයයි කියනු ලබන්නේය. නුමුත් ඒවා පවත්වන්නාවූ, උගන්වන්නාවූ කවරෙක් නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි උතුම්යයි කියනු ලබන්නේය. 20 මක්නිසාද නුඹලාගේ ධර්මිෂ්ඨකම ලියන්නන්ගේද ඵරිසිවරුන්ගේද ධර්මිෂ්ඨකමට වැඩි නොවීනම්, නුඹලා කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුයයි නුඹලාට කියමි.

කෝපය සහ මිනීමැරීම

21 මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ. 22 නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයිකියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය. 23 එබැවින් නුඹේ පඬුර පූජාසනය ළඟ පුදන කල්හි, නුඹේ සහෝදරයා නුඹ කෙරෙහි යම් විරුද්ධයක් ඇති බව එහිදී නුඹට සිහිවී නම්, 24 නුඹේ පඬුර පූජාසනය ඉදිරියෙහි තබා ගොස්, පළමුකොට නුඹේ සහෝදරයා හා සමඟිවී, පසුව ඇවිත් නුඹේ පඬුර පුදන්න. 25 නුඹේ විරුද්ධකාරයා සමඟ පාරේ යන කල්හිම ඉක්මනින් ඔහු හා සමඟිවෙන්න; නැත්නම් විරුද්ධකාරයා නුඹ විනිශ්චයකාරයාට භාරදෙන්නේය, විනිශ්චයකාරයා නුඹ සේවකයාට භාරදෙන්නේය, නුඹද හිරගෙයි දමනු ලබන්නෙහිය. 26 සැබවක් නුඹට කියමි: අන්තිම සල්ලිය ගෙවනතුරු නුඹ කිසිසේත් එයින් පිටවී නොඑන්නෙහිය.

කිලුටුකම

27 කාමමිථ්‍යාචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ. 28 නුමුත් මම නුඹලාට කියමි: ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කෙළේය. 29 නුඹේ දකුණු ඇස ඔබට බාධාකෙරේ නම්, ඒක උගුළා අහකට දමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. 30 නුඹේ දකුණු අත ඔබට බාධාකෙරේ නම්, ඒක කපා අහකදමන්න. මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා, නුඹේ අවයවවලින් එකක් නැතිවීම ඔබට යහපත. 31 ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය. 32 මම නුඹලාට කියමි: වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යාචාරයට පමුණුවන්නේය. යමෙක් අත්හරිනු ලැබූ ඇය විවාහකරගන්නේ නම් ඔහුත් කාමමිථ්‍යාචාරය කරන්නේය.

දිවිරීම සහ සත්‍යවාදිකම

33 බොරුවට නොදිවුරව, ස්වාමීන්වහන්සේට නුඹේ දිවුරුම් ඉෂ්ටකරවයි පුරාතනයන්ට කී බවත් නුඹලා අසා තිබේ. 34 නුමුත් මම නුඹලාට කියමි: කිසිසේත් නොදිවුරන්න; ස්වර්ගය දෙවියන්වහන්සේගේ සිංහාසනය බැවින් ඒක ගැනවත්, 35 පොළොව දෙවියන්වහන්සේගේ පාපුටුව බැවින් ඒක ගැනවත්, යෙරුසලම මහරජහුගේ නුවර බැවින් ඒක ගැනවත් නොදිවුරන්න. 36 එක හිසකෙසක් සුදුකරන්ටවත් කළුකරන්ටවත් ඔබට නොහැකි බැවින් හිස ගැනත් නොදිවුරන්න. 37 නුඹලාගේ වචනය: එසේය, එසේය කියාද: නැත, නැත කියාද වේවා. මීට වැඩිවූ යමක් ඇද්ද එය නපුරාගෙන් වේ.

පළිගැනීම

38 ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. 39 නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න. 40 යමෙක් නඩු කියා නුඹේ අඳනය ගන්ට කැමතිවීනම්, ඔහුට නුඹේ උතුරු සළුවත් ගන්ට ඉඩඅරින්න. 41 යමෙක් එක හැතැප්මක් යන්ට ඔබට බලාත්කාරකෙරේද, ඔහු සමඟ හැතැප්ම දෙකක් යන්න. නුඹෙන් ඉල්ලන්නාට දෙන්න, 42 නුඹෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.

ප්‍රේමය සහ නිර්මල චරිතය

43 නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. 44 නුමුත් මම නුඹලාට කියමි: නුඹලාගේ සතුරන්ට ප්‍රේමකරන්න, නුඹලාට පීඩාකරන්නන් උදෙසා යාච්ඤාකරන්න; 45 මෙසේ නුඹලා ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේගේ පුත්‍රයෝ වන්නෝය. මක්නිසාද උන්වහන්සේ නපුරන්ටත් යහපතුන්ටත් තමන් ඉර උදාකරවනසේක, ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වනසේක. 46 නුඹලාට ප්‍රේමකරන්නන්ටම නුඹලා ප්‍රේමකරනවා නම්, නුඹලාට කවර විපාකයක්ද? සුංගම් අයකරන්නෝ පවා එසේ නොකරද්ද? 47 නුඹලාගේ සහෝදරයන්ට පමණක් ආචාරකරනවානම් නුඹලා අනුන්ට වඩා කුමක් කරන්නහුද? අන්‍ය ජාතීහු පවා එසේ නොකරද්ද? 48 එබැවින් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ සම්පූර්ණව සිටින්නාක්මෙන් නුඹලාත් සම්පූර්ණව සිටින්න.

6

1 මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔවුන් ඉදිරියෙහිදී නුඹලාගේ ධර්මිෂ්ඨ ක්‍රියා නොකරන්ට බලාගන්න. නැතහොත් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ වෙත නුඹලාට විපාකයක් ඇත්තේ නැත.

රහසින් දන්දීම

2 එබැවින් නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථිවලදීත් වංචාකාරයන් කරන්නාක්මෙන් ඔබට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. 3 නුමුත් නුඹ දන්දෙන කල්හි, නුඹේ දානය රහස්ව තිබෙන පිණිස, නුඹේ දකුණත කරන දෙය වමත නොදනීවා. 4 එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාක දෙනසේක.

රහසින් යාච්ඤාකිරීම

5 තවද නුඹලා යාච්ඤාකරන කල්හි වංචාකාරයන් කරන්නාක්මෙන් නොකරන්න. මක්නිසාද මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස ඔව්හු සිනගෝගවලත් මංසන්ධිවලත් සිටගෙන යාච්ඤාකිරීමට සතුටුවෙති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. 6 නුමුත් නුඹ යාච්ඤාකරන කල්හි නුඹේ ඇතුල් ගෙට වැද, දොර වසා, රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට යාච්ඤාකරන්න, එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාකදෙනසේක. 7 තවද යාච්ඤාකිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථකවූ වචන කියාගන කියාගන නොයන්න. ඔව්හු තමුන්ගේ වචන රාශිය නිසා අසනු ලබන්නෝයයි සිතති. 8 එබැවින් ඔවුන්ට සමාන නොවෙන්න. මක්නිසාද නුඹලාගේ පියාණන්වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලන්ට පළමුවෙන් නුඹලාට වුවමනා දේ කුමක්දැයි උන්වහන්සේ දන්නාසේක. 9 එහෙයින් නුඹලා මෙසේ යාච්ඤාකරන්න:–

ස්වාමීන්ගේ යාච්ඤාව

9 ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ රාජ්‍යය ඒවා. 10 ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. 11 අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව. 12 අපේ ණයකාරයන්ට අප කමාකළාක්මෙන් අපේ ණයත් අපට කමාකළ මැනව. 13 අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව. 14 මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමාකරන්නහු නම්, නුඹලාගේ ස්වර්ගීයවූ පියාණන්වහන්සේ නුඹලාටත් කමාකරනසේක. 15 නුමුත් නුඹලා මනුෂ්‍යයන්ට ඔවුන්ගේ වරද කමා නොකරන්නහු නම්, නුඹලාගේ පියාණන්වහන්සෙත් නුඹලාගේ වරද කමා නොකරනසේක.

නිරාහාරව සිටීම

16 තවද නුඹලා නිරාහාරයෙන් ඉන්න කල්හි වංචාකාරයන් මෙන් දුක්ඛිත මුහුණක් ඇතුව නොසිටින්න. ඔව්හු නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට පෙනෙන පිණිස තමුන්ගේ මුහුණු විරූප කරගනිති. සැබවක් නුඹලාට කියමි: ඔවුන්ගේ විපාකය ඔවුන්ට ලැබී තිබේ. 17 නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස, 18 නුඹේ හිසේ තෙල් ගා, මුහුණ සෝදා ගන්න; එවිට රහසින් දකින නුඹේ පියාණන්වහන්සේ ඔබට විපාක දෙනසේක.

පරම වස්තුව

19 පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. 20 නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගන්න; එහිදී කාවෝවත් මළකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති. 21 මක්නිසාද නුඹේ වස්තුව යම් තැනෙක්හිද නුඹේ සිතත් එතැන්හිම වන්නේය.

ආලෝකය සහ අන්ධකාරය

22 ශරීරයේ පහන නම් ඇසය. එහෙයින් නුඹේ ඇස පැහැදිලි නම්, නුඹේ මුළු ශරීරය එළිය වන්නේය. 23 නුඹේ ඇස නපුරුනම්, නුඹේ මුළු ශරීරය අඳුරු වන්නේය. එබැවින් නුඹ තුළ තිබෙන එළිය අඳුරුනම් ඒ අඳුර කොපමණ මහත්ද! 24 ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රියවන්නේය; නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළාදකින්නේය. දෙවියන්වහන්සේට සහ වස්තුවටත් සේවයකරන්ට නුඹලාට නුපුළුවන.

කනගාටු සිතීම. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය

25 එහෙයින් නුඹලාට කියමි: කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙන්න. කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද? 26 ආකාශයේ පක්ෂීන් බලන්න, උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක. නුඹලා උන්ට වඩා බොහෝ වටිනවා නොවේද? 27 කනස්සලුවීමෙන් තමාගේ උසට එක රියනක් එක්කරගන්ට නුඹලා අතරෙන් කවරෙකුට පුළුවන්ද? 28 නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නහුද? කෙතේ මානෙල් වැඩෙන හැටි කල්පනා කරන්න; ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. 29 එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යයෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි. 30 මඳ ඇදහිල්ල ඇත්තෙනි, අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවනසේක් නම්, ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවනසේක්ද? 31 එහෙයින් කුමක් කමුද කුමක් බොමුද කුමක් අඳිමුද කියමින් කනස්සලු නොවෙන්න. 32 මක්නිසාද මේ සියල්ල අන්‍ය ජාතීහු සොයති; මේ සියල්ල නුඹලාට ඕනෑ බව නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ දන්නාසේක. 33 නුමුත් පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය. 34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

7

අනුන් විනිශ්චයකිරීම

1 නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. 2 මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. 3 නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? 4 නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? 5 වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබට හොඳ හැටි පෙනෙන්නේය.

6 ශුද්ධ දේ බල්ලන්ට නොදෙන්න, නුඹලාගේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න, සමහරවිට උන් ඒවා පයින් පාගා හැරී නුඹලා ඉරාදමන්ට පුළුවන.

යාච්ඤාකිරීමට ධෛර්යය දීම

7 ඉල්ලන්න, එවිට නුඹලාට දෙනුලැබේ; සොයන්න, එවිට නුඹලාට සම්බවේ; තට්ටුකරන්න, එවිට නුඹලාට දොර හරිනු ලැබේ. 8 මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ. 9 නුඹලා අතරෙන් කවර මනුෂ්‍යයෙක් තමාගේ පුත්‍රයා රොටියක් ඉල්ලන්නේ නම්, ඔහුට ගලක් දේද? 10 නොහොත් ඔහු මත්ස්‍යයෙකු ඉල්ලන්නේ නම්, ඔහුට සර්පයෙකුදේද? 11 මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දන්නහු නම්, කොපමණ වැඩියෙන් ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට යහපත් දේ නොදෙනසේක්ද?

රන් අණ

12 එබැවින් මනුෂ්‍යයන් විසින් නුඹලාට යමක් යමක් කරනවාට නුඹලා කැමතිද නුඹලාත් එසේම ඔවුන්ට කරන්න. ව්‍යවස්ථාවත් අනාගත වාක්‍යයත් මේය.

මාර්ග දෙක

13 පටු දොරටුවෙන් ඇතුල්වෙන්න. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. 14 මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.

බොරු ගුරුවරු සහ සැබෑ ගුරුවරු

15 බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් නුඹලා ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය. 16 ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද? 17 එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි. 18 හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය. 19 හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ. 20 එබැවින් ඔවුන්ගේ ඵලවලින් නුඹලා ඔවුන් ඇඳිනගන්නහුය.

කීම සහ කිරීම

21 ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. 22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත. 23 එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි.

අත්තිවාරම් දෙක

24 එහෙයින් යමෙක් මාගේ මේ වචන අසා ඒවා පිළිපදීද, ඔහු පර්වතය පිට තමාගේ ගෙය සාදාගත් නුවණ ඇති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. 25 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; එය පර්වතය පිට පිහිටා තිබුණු බැවින් නොවැටුණේය. 26 යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය. 27 වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.

28 යේසුස්වහන්සේ මේ වචන කියා නිමකළ කල්හි, සමූහයෝ උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මයට පත්වූවෝය. 29 මක්නිසාද උන්වහන්සේ ඔවුන්ගේ ලියන්නන් මෙන් නොව, බලය ඇති කෙනෙකු මෙන් ඔවුන්ට ඉගැන්වූසේක.

8

කුෂ්ඨරෝගකාරයෙකු සුවකිරීම

1 උන්වහන්සේ කන්දෙන් බැස්ස කල බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය. 2 බලව, කුෂ්ඨරෝගියෙක් උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේට වැඳ: ස්වාමිනි, ඔබ කැමතිසේක් නම් මා පවිත්‍රකරන්ට ඔබට පුළුවනැයි කීවේය. 3 උන්වහන්සේ අත දිගුකොට ඔහු පිට තබා: මම කැමැත්තෙමි; පවිත්‍රවෙන්නැයි කීසේක. එකෙණෙහිම ඔහු කුෂ්ඨයෙන් පවිත්‍රවිය. 4 යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක.

ශතාධිපතියාගේ දාසයා සුවකිරීම

5 උන්වහන්සේ කපර්ණවුමට ඇතුල්වූ කල්හි, සියයකට මුලාදෑනියෙක් උන්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේට කන්නලව්කරමින්: 6 ස්වාමිනි, මාගේ මෙහෙකරුවා අංශභාග රෝගීව බලවත්ලෙස වේදනා විඳිමින් ගෙයි ඔත්පළව ඉඳීයයි කීවේය. 7 මම ඇවිත් ඔහු සුවපත්කරමියි උන්වහන්සේ ඔහුට කීසේක. 8 සියයකට මුලාදෑනියා උත්තරදෙමින්: ස්වාමිනි, මාගේ පියස්ස යටට ඔබගේ ඊමට මම නොවටිමි. වචන මාත්‍රයක් කිව මැනව, එවිට මාගේ මෙහෙකරුවාට සුවවන්නේය. 9 මක්නිසාද මමත් ආණ්ඩු බලයට යටත් මනුෂ්‍යයෙක්ය, මා යටතෙහිද හේවායෝ සිටිති. එක්කෙනෙකුට: යවයි මා කී කල, ඔහු යන්නේය; තව කෙනෙකුට: එවයි කී කල, ඔහු එන්නේය; මාගේ දාසයාට: මේක කරවයි කී කල, ඔහු ඒක කරන්නේයයි කීවේය. 10 යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි. 11 තවද නුඹලාට කියමි: නැගෙනහිරින්ද බස්නාහිරින්ද බොහෝ දෙනෙක් ඇවිත්, ආබ්‍රහම්ද ඊසාක්ද යාකොබ්ද සමඟ ස්වර්ගරාජ්‍යයෙහි හිඳගන්නෝය. 12 එහෙත් රාජ්‍යයේ පුත්‍රයෝ පිටත අඳුරෙහි දමනු ලබන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේයයි කීසේක. 13 යේසුස්වහන්සේ සියයකට මුලාදෑනියාට කථාකොට: යන්න; නුඹ අදහාගත් ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේදීම මෙහෙකරුවා සුවපත්විය.

සීමොන්ගේ භාර්යාවගේ මව සහ වෙනත් බොහෝ දෙනෙකු සුවකිරීම

14 යේසුස්වහන්සේ පේතෘස්ගේ ගෙට ඇතුල්වූ කල ඔහුගේ භාර්යාවගේ මවු උණ රෝගයෙන් ඔත්පළව ඉන්නවා දැක, 15 ඇගේ අත ඇල්ලූසේක, එවිට උණ රෝගය ඇගෙන් පහව ගියේය; ඈ නැගිට උන්වහන්සේට උපස්ථාන කළාය. 16 සවස්වු කල යක්ෂාවේශවූ බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරුකළසේක, රෝගාතුරවූ සියල්ලන් සුවපත් කළසේක. 17 මෙසේ වූයේ: උන්වහන්සේම අපේ දුර්වලකම් ගත්සේක, අපේ රෝග උසුලාගත්සේකැයි අනාගතවක්තෘවූ යෙසායා කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය.

ගෝලයන් වන්ට කැමතිවූවන් සෝදිසිකිරීම

18 යේසුස්වහන්සේ බොහෝ සමූහයන් තමන් පිරිවරා සිටින බව දැක, එගොඩට යන්ට අණදුන්සේක. 19 එවිට ලියන්නෙක් ඇවිත්: ආචාරීන්වහන්ස, ඔබ යන කොතැනට නුමුත් ඔබ අනුව එන්නෙමියි උන්වහන්සේට කීවේය. 20 යේසුස්වහන්සේද: සිවලුන්ට බිල්ද ආකාශයේ පක්ෂීන්ට කූඩුද තිබේ; නුමුත් මනුෂ්‍ය පුත්‍රයාට හිස තබන්ට තැනක් නැතැයි ඔහුට කීසේක. 21 ගෝලයන්ගෙන් තවත් කෙනෙක්: ස්වාමිනි, පළමුකොට ගොස් මාගේ පියාණන් භුමදානකරන්ට මට ඉඩ දුන මැනවයි කීවේය. 22 යේසුස්වහන්සේද: මා අනුව එන්න; මළාහු තමුන්ගේ මළවුන් භූමදානකරත්වයි ඔහුට කීසේක.

කුණාටුව සන්සිඳවීම

23 උන්වහන්සේ ඔරුවකට නැගුණු කල ගෝලයෝ උන්වහන්සේ අනුව ගියෝය. 24 බලව, ඔරුව රැළවලින් වැසී යන තරම් මුහුදේ මහත් කුණාටුවක් විය. උන්වහන්සේ නිදා හුන්සේක. 25 එවිට ඔව්හු උන්වහන්සේ ළඟට ඇවිත් උන්වහන්සේ පුබුදුවා: ස්වාමිනි, අප ගැළවුව මැනව; අපි විනාශවෙමුයයි කීවෝය. 26 උන්වහන්සේද: මඳ ඇදහිල්ල ඇත්තෙනි, කුමක් නිසා භයපත්වන්නේදැයි ඔවුන්ට කියා, නැගිට හුළඟටත් මුහුදටත් සැරකළසේක; එවිට මහත් නිශ්චලයක් විය. 27 ඒ මනුෂ්‍යයෝ මවිතව: මුන්වහන්සේ කෙබඳු කෙනෙක්ද? හුළඟ හා මුහුද පවා මුන්වහන්සේට කීකරුවෙනවායයි කීවෝය.

ගදරීන රටේ යකුන් වැහී සිටි අය

28 උන්වහන්සේ එගොඩව ගදරීනයන්ගේ රටට පැමිණි කල යක්ෂාවේශවූ දෙදෙනෙක් සොහොන් ගෙවල්වලින් පිටත්ව උන්වහන්සේගේ පෙරමගට එනවා උන්වහන්සේට සම්බවිය. ඔවුන් ඉතා රෞද්‍ර නිසා ඒ පාරෙන් කිසිවෙකුට යන්ට නුපුළුවන් විය. 29 බලව, ඔව්හු මොරගසමින්: දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෙනි, ඔබට අපෙන් කම මොකද? කාලයට ප්‍රථමයෙන් අපට වදදෙන්ට ඔබ මෙහි ආසේක්දැයි කීවෝය. 30 ඔවුන්ට දුරින් මහත් ඌරු රැළක් ගොදුරු කමින් සිටියේය. 31 යක්ෂයෝද: ඔබ අප දුරුකරනසේක්නම්, ඌරු රැළට වැහෙන්ට අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. 32 යන්නැයි උන්වහන්සේ ඔවුන්ට කීසේක. එවිට ඔව්හු පිටවී ගොස් ඌරන්ට වැහුණෝය. බලව, ඒ මුළු රැළ ප්‍රපාතය දිගේ මුහුදට වේගයෙන් දිවගොස්, ජලයෙහි වැටී මළෝය. 33 ඌරු රැකවල්ලු පලාගොස් නුවරට පැමිණ ඒ සියල්ලත් යක්ෂාවේශවූවන්ට සිදුවූ දේත් කීවෝය. 34 එකල ඒ මුළු නුවර වැසියෝ යේසුස්වහන්සේ සම්මුඛවීමට ඇවිත්, උන්වහන්සේ දැක, ඔවුන්ගේ සීමාවලින් අහක්වයන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

9

අංශභාග රෝගකාරයෙකු සුවකිරීම

1 එකල උන්වහන්සේ ඔරුවකට නැගී එගොඩවී තමන්ගේම නුවරට පැමිණිසේක. 2 එවිට, ඔව්හු ඇඳක ඔත්පළව හුන් අංශභාග රෝගියෙකු උන්වහන්සේ ළඟට ගෙනාවෝය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක: පුත්‍රය, ධෛර්යවත්වෙන්න; නුඹේ පව් කමාකරනලද්දේයයි අංශභාග රෝගියාට කීසේක. 3 එකල ලියන්නන්ගෙන් සමහරෙක්: මොහු දෙවියන්වහන්සේට අපහාසකරන්නේයයි තමුන් තුළ කියාගත්තෝය. 4 යේසුස්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන: කුමක් නිසා නුඹලා නුඹලාගේ සිත්වලින් නපුරු දේ සිතන්නහුද? 5 වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීමද? නොහොත්: නැගිට ඇවිදින්නැයි කීමද? 6 නුමුත් පොළොවෙහිදී පව්කමාකරන්ට මනුෂ්‍ය පුත්‍රයාට බලය තිබෙන බව නුඹලා විසින් දැනගන්නා පිණිසයයි කියා: නැගිට නුඹේ ඇඳ අරගෙන නුඹේ ගෙදරට යන්නැයි අංශභාග රෝගියාට කීසේක. 7 එවිට ඔහු නැගිට තමාගේ ගෙදරට ගියේය. 8 නුමුත් සමූහයෝ ඒ දැක භයවී, මෙබඳු බලය මනුෂ්‍යයන්ට දුන් දෙවියන්වහන්සේට ගෞරවකළෝය.

මතෙව් කැඳවනු ලැබීම

9 යේසුස්වහන්සේ එතැනින් යන අතර මතෙව් නම් මනුෂ්‍යයෙක් සුංගම් අයකරන තැන වාඩිවී ඉන්නවා දැක: මා අනුව එන්නැයි ඔහුට කීසේක. ඔහු නැගිට උන්වහන්සේ අනුව ගියේය.

10 තවද යේසුස්වහන්සේගෙයි කෑමට හුන් කල්හි බොහෝ සුංගම් අයකරන්නෝද පව්කාරයෝද ඇවිත් උන්වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන් සමඟ හිඳගත්තෝය. 11 ඵරිසිවරු ඒ දැක: නුඹලාගේ ආචාරීන්වහන්සේ සුංගම් අයකරන්නන්ද පව්කාරයන්ද සමඟ කන්නේ මක්නිසාදැයි උන්වහන්සේගේ ගෝලයන්ට කීවෝය. 12 උන්වහන්සේ ඒ අසා ඔවුන්ට කියනසේක්: රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදාගෙන් කම් නැත. 13 නුමුත්–මම පූජාවට නොව දයාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා ගොස් ඉගෙනගන්න. මක්නිසාද මම පව්කාරයන් මිස ධර්මිෂ්ඨයන් කැඳවන්ට නාවෙමියි කීසේක.

නිරාහාරය පිළිබඳ ප්‍රශ්නය

14 එකල යොහන්ගේ ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: ඵරිසිවරුත් අපිත් නොයෙක්වර නිරාහාරව සිටිමුව, නුමුත් ඔබගේ ගෝලයන් නිරාහාරව නොසිටින්නේ මක්නිසාදැයි කීවෝය. 15 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මගුල් ගෙදර අය සමඟ මනමාලයා සිටින තුරු ඔවුන්ට ශෝකවන්ට පුළුවන්ද? නුමුත් මනමාලයා ඔවුන්ගෙන් අහක්කරනු ලබන දවස් පැමිණෙන්නේය, එකල ඔවුන් නිරාහාරව සිටිනවා ඇත. 16 කිසිවෙක් තාන් රෙදිකෑල්ලක් පරණ වස්ත්‍රයකට මහන්නේ නැත; මක්නිසාද එසේ කළොත් අණ්ඩයට ගත් රෙදි කැබෙල්ල වස්ත්‍රයෙන් ඇදී, වඩා ලොකු ඉරුමක් වේ. 17 අලුත් මුද්‍රික පානය පරණ සම්භාජනවල වත් නොකරති. වත්කළොත් භාජන පැළී, මුද්‍රිකපානය වැගිරී ගොස්, භාජනත් නාස්තිවන්නේය. නුමුත් අලුත් මුද්‍රිකපානය අලුත් සම්භාජනවල වත්කරති; එවිට දෙවගේම ආරක්ෂාවේයයි කීසේක.

යායිරස්ගේ දුව. මාර්ගයේදී ස්ත්‍රියෙක් සුවපත් කිරීම

18 උන්වහන්සේ ඔවුන්ට මේ කාරණා කියමින් සිටියදී එක්තරා මුලාදෑනියෙක් ඇවිත් උන්වහන්සේට වැඳ: මාගේ දුව මේ දැන් මළාය. එහෙත් ඔබවහන්සේ ඇවිත් ඈ පිට අත තැබුව මැනව, එවිට ඈ ජීවත්වේයයි කීවේය. 19 යේසුස්වහන්සේ නැගිට ඔහු අනුව ගියසේක, උන්වහන්සේගේ ගෝලයෝද එසේම කළෝය. 20 එවිට දොළොස් අවුරුද්දක් මහලේ රෝගයෙන් පෙළුණාවූ ස්ත්‍රියෙක් උන්වහන්සේ පස්සේ ඇවිත්, උන්වහන්සේගේ සළුවේ දාවල්ලට අතගැසුවාය. 21 මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය. 22 යේසුස්වහන්සේ හැරී ඈ දැක: දියණියෙනි, ධෛර්යමත්වෙන්න; නුඹේ ඇදහිල්ල නුඹ සුවකළේයයි කීසේක. ඒ ස්ත්‍රී ඒ පැයේ පටන් සුවපත්වූවාය. 23 යේසුස්වහන්සේ මුලාදෑනියාගේ ගෙට ඇතුල්ව, නළාකාරයන්ද ඝෝෂාකරමින් සිටි සමූහයාද දැක: 24 අහක්වෙන්න. යෞවනී මැරිලා නොව නිදන්නීයයි කීසේක. එවිට ඔව්හු උන්වහන්සේට සිනාසුණෝය. 25 නුමුත් සමූහයා පිටකරනු ලැබූ විට උන්වහන්සේ ඇතුල්වී, ඇගේ අත ඇල්ලූසේක; 26 යෞවනී නැගිට්ටාය. එහි කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළවිය.

අන්ධයෝ දෙදෙනා

27 යේසුස්වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක්: දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට කරුණාකළ මැනව කියා මොරගසමින් උන්වහන්සේ පස්සේ ගියෝය. 28 උන්වහන්සේ ගෙට පැමිණි කල ඒ අන්ධයෝ උන්වහන්සේ ළඟට ආවෝය. මට මේක කරන්ට පුළුවන කියා නුඹලා විශ්වාසකරනවාදැයි යේසුස්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. 29 එසේය, ස්වාමිනියි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ ඔවුන්ගේ ඇස් අතගා: නුඹලාගේ විශ්වාසයේ ප්‍රකාරයට නුඹලාට වේවයි කීසේක. 30 ඔවුන්ගේ ඇස් පැහැදුණේය. කිසිවෙකු ඒ බව දැන නොගන්නා හැටියට බලාගන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට තදින් අණ කළසේක. 31 එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය.

යක්ෂාවේශ ගොළුවා

32 ඔවුන් පිටත්ව යන අතර යක්ෂාවේශවූ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. 33 යක්ෂයා දුරුකරනු ලැබූ විට ගොළුවා කථාකළේය. එකල සමූහයෝ මවිතව: මෙබන්දක් ඉශ්‍රායෙල්හි කිසිකලෙක දකින්ට ලැබුණේ නැතැයි කීවෝය. 34 නුමුත් ඵරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය.

35 යේසුස්වහන්සේ ඔවුන්ගේ සිනගෝගවල උගන්වමින්ද රාජ්‍යයේ ශුභාරංචිය දේශනාකරමින්ද සියලු ආකාර ලෙඩ හා සියලු ආකාර රෝග සුවකරමින්ද සියලු නුවරවලද ගම්වලද ඇවිද්දසේක.

මිනිසුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ අනුකම්පාව

36 උන්වහන්සේ සමූහයන් දැක, ඔවුන් එඬේරෙකු නැති බැටළුවන් ලෙස හිරිහැර විඳිමින් විසිර ගොස් සිටිය බැවින් ඔවුන් කෙරෙහි අනුකම්පාකළසේක. 37 එවිට උන්වහන්සේ තමන් ගෝලයන්ට කථාකොට: ගොයම නම් බොහෝය, නුමුත් ගොවියෝ ස්වල්ප දෙනෙක්ය. 38 එබැවින් තමන් ගොයම් කැපීමට ගොවියන් එවන ලෙස ගොයමේ ස්වාමියාට යාච්ඤාකරන්නැයි කීසේක.

10

ප්‍රේරිතයන් දොළොස්දෙනා. ඔවුන්ගේ ධර්මදූත මෙහෙය

1 තවද උන්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනා තමන් ළඟට කැඳවා, අශුද්ධාත්මයන් දුරු කරන්ට ඔවුන් කෙරෙහිද සියලු ආකාර ලෙඩ සහ සියලු ආකාර රෝග සුවකිරීමටද ඔවුන්ට බලය දුන්සේක.

2 ප්‍රේරිතයන් දොළොස්දෙනාගේ නාමවල් මේය: පළමුවෙනුව පේතෘස් නම්ලත් සීමොන් සහ ඔහුගේ සහෝදරවූ අන්දෘය; සෙබදීගේ පුත්‍රවූ යාකොබ් සහ ඔහුගේ සහෝදරවූ යොහන්ය; 3 පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය; 4 කානානීය සීමොන් සහ උන්වහන්සේව පාවාදුන් යූදස් ඉස්කාරියොත්ය. 5 යේසුස්වහන්සේ මේ දොළොස්දෙනා යවමින් ඔවුන්ට මෙසේ අණකළසේක: කෙසේද?

5 අන්‍ය ජාතීන්ගේ කිසි මාවතකට නොගොස්, සමාරියයන්ගේ කිසි නුවරකට ඇතුල් නොවී, 6 ඉශ්‍රායෙල් වංශයේ නැතිවූ බැටළුවන් වෙතට යන්න. 7 නුඹලා යමින්–ස්වර්ගරාජ්‍යය ළංවී තිබේය කියා දේශනාකරන්න. 8 රෝගීන් සුවකරන්න, මළවුන් නැගුටුවන්න, කුෂ්ඨ රෝගීන් පවිත්‍රකරන්න, යක්ෂයන් දුරුකරන්න. නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දෙන්න. 9 නුඹලාගේ පසුම්බිවල රන්වත් රිදීවත් පිත්තලවත් නොගන්න. 10 ගමනට මල්ලක්වත් කබා දෙකක්වත් වහන්වත් සැරයටියක්වත් සපයා නොගන්න. මක්නිසාද වැඩකරුවාට තමාගේ කෑම ලැබෙන්ට යුතුය. 11 නුඹලා කොයි නුවරකට නුමුත් ගමකට නුමුත් ඇතුල්වූ කල එහි සුදුස්සා කවුදැයි විභාගකොට, පිටත්ව යන තුරු එහිම නැවතී සිටින්න. 12 ගෙදරට ඇතුල්වන විට ඊට ආචාරකරන්න. 13 ගෙයි වැසියන් සුදුසු නම්, නුඹලාගේ සමාදානය ඒ පිටට පැමිණේවා. නුමුත් නුසුදුසු නම් නුඹලාගේ සමාදානය නැවත නුඹලා කරා පැමිණේවා. 14 කවරෙක් නුමුත් නුඹලා පිළිගන්නේවත් නුඹලාගේ වචන අසන්නේවත් නැත්නම්, ඒ ගෙදරින් හෝ නුවරින් හෝ පිටත්ව යන කල නුඹලාගේ පාදවල ධූලි ගසාදමන්න. 15 සැබවක් නුඹලාට කියමි: විනිශ්චය දවසේදී ඒ නුවරට වඩා සොදොම් සහ ගොමොරා රටට ඉවසීම පහසුවන්නේය.

16 වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න. 17 නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත; 18 ඔවුන්ටද අන්‍ය ජාතීන්ටද සාක්ෂියක් පිණිස නුඹලා මා නිසා ආණ්ඩුකාරයන්ද රජුන්ද ඉදිරියට ගෙනයනු ලබනවා ඇත. 19 නුමුත් ඔවුන් නුඹලා පාවාදෙන කල, නුඹලා කථාකරන්නේ කෙසේද, කුමක්දැයි සිතා කනගාටු නොවෙන්න. මක්නිසාද නුඹලා විසින් කිය යුතු දේ ඒ පැයේදී නුඹලාට දෙනු ලබන්නේය. 20 මක්නිසාද කථාකරන්නේ නුඹලා නොව නුඹලා තුළ කථාකරන නුඹලාගේ පියාණන්ගේ ආත්මයාණෝය. 21 තවද සහෝදරයා සහෝදරයාද පියා තමාගේ දරුවාද මරණයට පාවාදෙන්නෝය. දරුවෝද මවුපියන්ට විරුද්ධව නැගිට ඔවුන් මරණයට පත්කරවන්නෝය. 22 නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය. නුමුත් අන්තිම දක්වා ස්ථිරව සිටින්නාම ගැළවෙන්නේය. 23 ඔවුන් එක් නුවරකදී නුඹලාට පීඩාකරන කල ඊළඟ නුවරට දුවන්න. මක්නිසාද සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා එනතෙක් නුඹලා ඉශ්‍රායෙල්ගේ සියලු නුවරවල ඇවිද කෙළවර නොකරන්නහුය.

ගෝලකමට වුවමනා කාරණා

24 ගෝලයෙක් තමාගේ ගුරුවරයාටවත් දාසයෙක් තමාගේ ස්වාමියාටවත් උතුම් නැත. 25 ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද? 26 එබැවින් ඔවුන්ට භය නොවෙන්න. මක්නිසාද ප්‍රකාශ නොවන්නාවූ වැසී තිබෙන දෙයක්වත් දැනගනු නොලබන්නාවූ සැඟවී තිබෙන දෙයක්වත් නැත. 27 මා විසින් නුඹලාට අඳුරේදී කියන දේ නුඹලා එළියේදී කියන්න. නුඹලාගේ කනට රහසේ ඇසෙන දේ ගෙවල් උඩදී ප්‍රකාශකරන්න. 28 ශරීරය නසන නුමුත් ආත්මය නසන්ට නුපුළුවන්වූ අයවලුන්ට භය නොවෙන්න. එහෙත් ආත්මයද ශරීරයද නිරයෙහි විනාශකරන්ට පුළුවන් තැනන්වහන්සේටම භයවෙන්න. 29 ගේකුරුල්ලන් දෙදෙනෙකු ශතයකට නොවිකුණද්ද? එහෙත් උන්ගෙන් එකෙක්වත් නුඹලාගේ පියාණන්වහන්සේ නොදැනුවත්ව බිම වැටෙන්නේ නැත. 30 නුඹලාගේ සියලු හිසකේ පවා ගණන්කර තිබේ. 31 එබැවින් භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය. 32 එබැවින් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු අඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු අඳුනමියි කියන්නෙමි. 33 නුමුත් මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහිදී මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි.

34 පොළොවෙහි සමාදානය දෙන්ට මම ආවෙමියි නොසිතන්න. සමාදානය නොව කඩුවක් දෙන්ට ආවෙමි. 35 මක්නිසාද මනුෂ්‍යයෙකු තමාගේ පියා සමඟද දුව ඇගේ මවු සමඟද යෙහෙළී ඇගේ නැන්දා සමඟද භේදකරවන පිණිස ආවෙමි. 36 මනුෂ්‍යයෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙයි වැසියෝය. 37 මට වඩා පියාටවත් මවුටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ; මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේමකරන්නා මට සුදුසු නොවේ. 38 තමාගේ කුරුසිය රැගෙන මා අනුව නේන තැනැත්තා මට සුදුසු නොවේ. 39 තමාගේ ජීවිතය ආරක්ෂා කරගන්නාට ඒක නැතිවේ; මා නිසා තමාගේ ජීවිතය නැතිකරගන්නාට ඒක සම්බවේ.

40 නුඹලා පිළිගන්නා මා පිළිගන්නේය, මා පිළිගන්නා මා එවූ තැනන්වහන්සේ පිළිගන්නේය. 41 අනාගතවක්තෘ කෙනෙක් නිසාම අනාගතවක්තෘ කෙනෙකු පිළිගන්නාට අනාගතවක්තෘ කෙනෙකුගේ විපාකය ලැබේ; ධර්මිෂ්ඨයෙක් නිසාම ධර්මිෂ්ඨයෙකු පිළිගන්නාට ධර්මිෂ්ඨයෙකුගේ විපාකය ලැබේ. 42 යමෙක් ගෝලයෙකු නිසා මේ කුඩා අයවලුන්ගෙන් එක්කෙනෙකුට ඇල්වතුර කෝප්පයක් පමණවත් බොන්ට දෙන්නේ නම් ඔහුගේ විපාකය කිසිසේත් නැති නොවන්නේයයි සැබවින් නුඹලාට කියමියි කීසේක.

11

1 යේසුස්වහන්සේ තමන් ගෝලයන් දොළොස්දෙනාට අණකොට නිමකළ පසු එතැනින් පිටත්ව, ඔවුන්ගේ නුවරවල උගන්වන්ටද දේශනා කරන්ටද ගියසේක.

යොහන් බව්තීස්ත

2 යොහන් ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන හිරගෙයිදී අසා: එන්නාවූ තැනැත්තේ ඔබද? 3 නොහොත් අපි වෙන කෙනෙකු බලා සිටිමුදැයි තමාගේ ගෝලයන් යවා උන්වහන්සේගෙන් විචාළේය. 4 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. 5 අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ. 6 මා ගැන පැකිලීමේ හේතුවක් යමෙකුට නොවන්නේද ඔහු ආශීර්වාදලද්දෙකැයි ඔවුන්ට කීසේක. 7 ඔවුන් යද්දී යේසුස්වහන්සේ යොහන් ගැන සමූහයන්ට කථාකරන්ට පටන්ගෙන: නුඹලා කුමක් බලන්ට වනයට ගියහුද? සුළඟින් සෙලවෙන බට ගසක්ද? 8 නුමුත් කුමක් බලන්ට ගියහුද? සිහින් වස්ත්‍ර පැළඳගත් මනුෂ්‍යයෙක්ද? බලව, සිහින් වස්ත්‍ර අඳින්නෝ රජ ගෙවල සිටිති. 9 නුමුත් කුමකට පිටත්ව ගියහුද? අනාගතවක්තෘ කෙනෙකු බලන්ටද? එසේය, නුඹලාට කියමි: අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය. 10 මක්නිසාද–

10 මෙන්න, මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේයයි

10 ලියා තිබෙන්නේ මොහු ගැනය. 11 සැබවක් නුඹලාට කියමි: ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරෙන් යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නොනැගුටුණේය. නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි කුඩා තැනැත්තේ ඔහුට වඩා උතුම්ය. 12 යොහන් බව්තීස්තගේ දවස්වල පටන් මේ දක්වා ස්වර්ගරාජ්‍යය බලාත්කාරයෙන් ගනු ලැබේ, බලාත්කාරකරන්නෝ ඒක බලයෙන් අල්ලාගනිති. 13 මක්නිසාද සියලු අනාගතවක්තෘවරුද ව්‍යවස්ථාවද යොහන් දක්වා අනාගතවාක්‍ය කීවෝය. 14 නුඹලා පිළිගන්ට කැමති නම් එන්ට සිටින එලියා මොහුය. 15 ඇසීමට කන් ඇත්තේ අසාවා. 16 නුමුත් මේ පරම්පරාව කුමකට සමානකරම්ද? අපි නුඹලාට නළා පිම්බෙමුව, නුඹලා නැටුවේ නැත; 17 නුඹලාට විලාපකීමුව, නුඹලා ඇඬුවේ නැතැයි වෙළඳාම්පළවල හිඳ තමුන්ගේ යහළුවන්ට හඬගසා කියන්නාවූ ළමයින්ට සමානය. 18 මක්නිසාද යොහන් කමින් බොමින් නාවේය, එබැවින් ඔහු යක්ෂාවේශවූ කෙනෙකැයි ඔව්හු කියති. 19 මනුෂ්‍ය පුත්‍රයා කමින් බොමින් ආවේය, බලව, කෑදර මනුෂ්‍යයෙක්ය, මුද්‍රිකපානය බොන්නෙක්ය, සුංගම් අයකරන්නන්ගෙත් පව්කාරයන්ගෙත් මිත්‍රයෙක්යයි ඔව්හු කියති. එහෙත් ප්‍රඥාව නිදොස් බව ඇගේ ක්‍රියාවලින් ඔප්පුවී තිබේයයි කීසේක.

පශ්චාත්තාප නුවූ නගරවල් ගැන තර්ජන ප්‍රකාශය

20 එකල උන්වහන්සේගේ බලවත් ක්‍රියාවලින් බොහොමයක් කරන්ට යෙදුණු නුවරවල් පසුතැවිලි නුවූ බැවින් ඒවාට වරද තබන්ට පටන්ගෙන: 21 කොරාශීන්, නුඹට දුක්වේ! බෙත්සයිදා, නුඹට දුක්වේ! නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා තීර් හා සීදොන් ඇතුළේ කරනලද්දේ නම්, ඒ නුවරවල් බොහෝ ඉහතදී ගෝණි රෙදි ඇඳ අලුයෙහි ඉඳ පසුතැවිල්ලට පැමිණෙනවා ඇත. 22 එසේවී නුමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා තීර්ට සහ සීදොන්ට ඉවසන්ට පහසුවන්නේයයි කියමි. 23 එම්බා කපර්ණවුම, නුඹ ස්වර්ගය දක්වා උසස්කරනු ලබන්නීද? නුඹ පාතාලය දක්වා පහළට හෙළනු ලබන්නීය. නුඹ ඇතුළේ කරනලද ආශ්චර්ය ක්‍රියා සොදොම් ඇතුළේ කරනලද්දේ නම්, අද දක්වා ඒක පවතිනවා ඇත. 24 එසේවීනුමුත් විනිශ්චය දවසේදී නුඹට වඩා සොදොම් රටට ඉවසන්ට පහසු වන්නේයයි කියමියි කීසේක.

ළදරු ගතිය

25 ඒ ප්‍රස්ථාවේදී යේසුස්වහන්සේ උත්තර දෙමින් කියනසේක්: ස්වර්ගයටත් පොළොවටත් ස්වාමිවූ පියාණෙනි, ඔබවහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන්ද තේරුම් ඇත්තන්ගෙන්ද මේ කාරණා සඟවා ළදරුවන්ට එළිදරව්කළ බැවින් ඔබට ස්තුතිකරමි. 26 එසේය, පියාණෙනි, මක්නිසාද එය ඔබගේ ඇස් හමුවෙහි ප්‍රසන්නදායක විය.

යේසුස්වහන්සේගේ විශේෂ මෙහෙය

27 මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්‍රයා හඳුනන්නේ නැත; පුත්‍රයාත්, පුත්‍රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත. 28 වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි. 29 මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. 30 මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.

12

සබත් දින ගැන විවාදය

1 එසමයෙහිදී යේසුස්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ බඩගිනිව කරල් කඩා කන්ට පටන්ගත්තෝය. 2 ඵරිසිවරු ඒ දැක: බැලුව මැනව, සබත් දවසේදී කරන්ට යුතු නැති දෙයක් ඔබගේ ගෝලයෝ කරතියි කීවෝය. 3 උන්වහන්සේ කථාකොට: දාවිත් තමාටද තමා සමඟ සිටියවුන්ටද බඩගිනිවූ කල්හි කළ දේ, 4 එනම්, දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයන්ට පමණක් මිස තමාටවත් තමා සමඟ සිටියවුන්ටවත් කන්ට යුතු නැති පිදීමේ රොටි කෑ බව නුඹලා කියෙවුවේ නැද්ද? 5 නොහොත් දේවමාළිගාවෙහි පූජකයන් සබත් දවසේදී සබත් කඩකොට නිවැරදිව සිටින බව ව්‍යවස්ථාවෙහි නුඹලා කියවා නැද්ද? 6 නුමුත් නුඹලාට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි. 7 නුමුත්: මම පූජාවට නොව කරුණාවට කැමැත්තෙමියි යන කීමේ අර්ථය නුඹලා දැනගන සිටියා නම් නිවැරදිකාරයන් පිට වරද තබන්නේ නැත. 8 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා සබත් දවසේ ස්වාමියායයි ඔවුන්ට කීසේක.

වියළි අතක් ඇති මනුෂ්‍යයෙකුට සුවකිරීම

9 උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුල්වුණසේක. 10 එහි වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් සිටියේය. එවිට ඔව්හු උන්වහන්සේට වරද තබන පිණිස: සබත් දවසේදී සුවකරන්ට යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 11 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා අතරෙන් එක බැටළුවෙක් ඇති කොයි මනුෂ්‍යයෙක් නුමුත්, ඒකා සබත් දවසේදී වළක වැටුණොත්, ඌ අල්ලා ගොඩගන්නේ නැද්ද? 12 එසේවී නම් බැටළුවෙකුට වඩා මනුෂ්‍යයෙක් කොපමණ උතුම්ද? එබැවින් සබත් දවසේදී යහපත්කම් කරන්ට යුතුයයි ඔවුන්ට කියා– 13 නුඹේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගු කෙළේය; එවිට ඒක අනික් අත මෙන් සුවවිය.

යේසුස්වහන්සේ නසන්ට කුමන්ත්‍රණයක්

14 එවිට ඵරිසිවරු පිටත්ව ගොස්, උන්වහන්සේ නසන්නේ කෙසේදැයි උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය. 15 නුමුත් යේසුස්වහන්සේ ඒ දැන එතැනින් අහක්ව ගියසේක. බොහෝ සමූහයෝද උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ සියල්ලන්ට සුවකොට, 16 තමන්වහන්සේ ප්‍රසිද්ධ නොකරන ලෙස ඔවුන්ට අණකළසේක. 17 මෙසේ වූයේ: අනාගතවක්තෘවූ යෙසායා කරණකොට ගෙන කියන ලද:

18 බලව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවූ, මාගේ ආත්මයට ප්‍රසන්නවූ මාගේ ප්‍රේමවන්තයා මේය.

18 මාගේ ආත්මය ඔහු කෙරෙහි තබන්නෙමි, ඔහු අන්‍ය ජාතීන්ට විනිශ්චය ප්‍රකාශකරන්නේය.

19 ඔහු ඩබරකරන්නේවත් මොරගසන්නේවත් නැත;

19 ඔහුගේ හඬද වීථිවල කිසිවෙකුට නොඇසෙන්නේය.

20 ඔහු විනිශ්චය ජයට පමුණුවන තුරු, තැළුණු බටලීයක් බිඳින්නේවත් දුම්නගින පහන් තිරයක් නිවන්නේවත් නැත.

21 ඔහුගේ නාමය කෙරෙහි අන්‍ය ජාතීහු බලාපොරොත්තුවන්නෝය යන කීම සම්පූර්ණ වන පිණිසය.

යේසුස්වහන්සේ තමන් සාතන්ගේ ආධාරයෙන් ක්‍රියාකරන්නේය යන අපහාසයට පිළිතුරු දීම

22 එවිට යක්ෂාවේශවූ අන්ධ ගොළුවෙක් උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දේය. උන්වහන්සේ ඔහුව සුවකළසේක, එහෙයින් ඒ ගොළුවාට කථාකරන්ටද දකින්ටද පුළුවන්විය. 23 සියලු සමූහයෝ විස්මපත්වී: මුන්වහන්සේ දාවිත්ගේ පුත්‍රයාණෝදැයි ඇසුවෝය. 24 නුමුත් ඵරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය. 25 උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කථාකොට: තමාටම විරුද්ධව භේදවුණාවූ හැම රාජ්‍යයම පාළුවන්නේය; තමාටම විරුද්ධව භේදවුණාවූ හැම නුවර හෝ ගෙය නොපවතින්නේය. 26 සාතන් විසින්ම සාතන් දුරුකරයි නම් ඔහු තමාටම විරුද්ධව භේදව සිටියි; එසේවී නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කොහොමද? 27 තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, නුඹලාගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු නුඹලාගේ විනිශ්චයකාරයෝ වන්නෝය. 28 නුමුත් මම දෙවියන්වහන්සේගේ ආත්මයාණන් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, සැබවින්ම දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලා කරා පැමිණ තිබේ. 29 නොහොත් බලවන්තයා පළමුකොට නොබැඳ, යමෙකුට ඔහුගේ ගෙට වැද ඔහුගේ වස්තු කොල්ලකන්ට කෙසේ හැකි වේද? බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය. 30 මාගේ පක්ෂයට නොසිටින්නා මට විරුද්ධය; මා සමඟ රැස් නොකරන්නා විසුරුවයි. 31 එබැවින් මම නුඹලාට කියමි: හැම පාපයද දේව අපහාසයද මනුෂ්‍යයන්ට කමාකරනු ලබන්නේය; නුමුත් ශුද්ධාත්මයාණන්ට විරුද්ධවූ අපහාසය කමාකරනු නොලබන්නේය. 32 යමෙක් මනුෂ්‍ය පුත්‍රයාට විරුද්ධව වචනයක් කියන්නේද, ඒක ඔහුට කමාකරනු ලබන්නේය; නුමුත් යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධව කථාකරන්නේද, ඒක ඔහුට මේ ලෝකයේදීවත් මතු පැමිණෙන ලෝකයේදීවත් කමාකරනු නොලබන්නේය. 33 ගහත් ඒකේ ඵලත් යහපත්යයි පිළිගන්න; නොහොත් ගහත් ඒකේ ඵලත් නරකයයි පිළිගන්න. මක්නිසාද ගහ ඒකේ ඵලවලින් ඇඳිනගනු ලැබේ. 34 පොළොං වංශය, නපුරුව සිටින නුඹලා යහපත් දේ කෙසේ කියවුද? මක්නිසාද සිතේ පූර්ණකමෙන් මුඛය කථාකරයි. 35 යහපත් මනුෂ්‍යයා තමාගේ යහපත් සම්පතින් යහපත් දේ පිටතට ගෙනෙන්නේය. නපුරු මනුෂ්‍යයා තමාගේ නපුරු සම්පතින් නපුරු දේ පිටතට ගෙනෙන්නේය. 36 තවද මනුෂ්‍යයන් කියන්නාවූ සියලු නිෂ්ඵල වචන ගැන විනිශ්චය දවසේදී උත්තරදෙන්ට වෙන්නේයයි නුඹලාට කියමි. 37 මක්නිසාද නුඹේ වචනවලින් නුඹ නිදොස්කරනු ලබන්නෙහිය, නුඹේ වචනවලින් නුඹ වරදට පත්කරනු ලබන්නෙහියයි කීසේක.

ලකුණක් දක්වන්ට බැරිය කීම

38 එවිට ලියන්නන්ගෙන්ද ඵරිසිවරුන්ගෙන්ද සමහරෙක් උත්තරදෙමින්: ආචාරිනි, ඔබගෙන් ලකුණක් දකින්ට කැමැත්තෙමුයයි කීවෝය. 39 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර වෙන ලකුණක් ඔවුන්ට දෙනු නොලබන්නේය. 40 මක්නිසාද යෝනා මහා මත්ස්‍යයාගේ බඩේ දවහල් තුනක්ද රෑ තුනක්ද සිටියාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයාද පොළෝ ගැබේ දහවල් තුනක්ද රෑ තුනක්ද සිටින්නේය. 41 නිනිවයේ මනුෂ්‍යයෝ මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත්කරන්නෝය. මක්නිසාද යෝනාගේ දේශනාකිරීමෙන් ඔව්හු පසුතැවිලිවූවෝය; බලව, යෝනාට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි. 42 දකුණු දික්හි බිසව මේ පරම්පරාවට විරුද්ධව විනිශ්චයේදී නැගිට එය වරදට පත් කරන්නීය. මක්නිසාද ඈ සාලමොන්ගේ ප්‍රඥාව අසන පිණිස පොළොවේ සීමාවලින් ආවාය; බලව, සාලමොන්ට වඩා උතුම් කෙනෙක් මෙහි සිටියි.

හරි වෙනස්වීමක් සිදු නොවීමේ අන්තරාය

43 අපිරිසිදු ආත්මය මනුෂ්‍යයෙකුගෙන් දුරුව ගිය කල්හි, ඔහු දිය නැති තැන්වල ඇවිදිමින් විශ්‍රාම සොයා නොලැබ: 44 මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි. 45 එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.

යේසුස්වහන්සේ ගේ සැබෑ නෑයෝ

46 උන්වහන්සේ සමූහයන්ට කථාකරමින් සිටියදීම උන්වහන්සේගේ මෑණියෝද සහෝදරයෝද උන්වහන්සේ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටියෝය. 47 එවිට එක්කෙනෙක් උන්වහන්සේට කථාකොට: බැලුව මැනව, ඔබගේ මෑණියෝද සහෝදරයෝද ඔබ සමඟ කථාකරන්ට සොයමින් පිටත සිටිතියි උන්වහන්සේට කීවේය. 48 එහෙත් උන්වහන්සේ තමන්ට කථාකළ තැනැත්තාට උත්තරදෙමින්: මාගේ මෑණියෝ කවුද? මාගේ සහෝදරයෝ කවුරුදැයි කියා, 49 තමන් ගෝලයන් දෙසට අත දිගුකොට: මෙන්න, මාගේ මෑණියෝ සහ මාගේ සහෝදරයෝ! 50 මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.

13

වපුරන්නාගේ උපමාව

1 ඒ දවසෙහි යේසුස්වහන්සේ ගෙදරින් පිටත්ව ගොස් මුහුද ළඟ හිඳගත්සේක. 2 බොහෝ සමූහයන් උන්වහන්සේ වෙතට රැස්වූ බැවින් උන්වහන්සේ ඔරුවකට නැගී හිඳගත්සේක; මුළු සමූහයා වෙරළෙහි සිටියෝය. 3 උන්වහන්සේ ඔවුන්ට බොහෝ කාරණා උපමාවලින් කියනසේක්: බලව, වපුරන්නා වපුරන්ට ගියේය; 4 ඔහු වපුරන කල්හි සමහර බීජ මග අසල වැටුණේය, පක්ෂීහු ඇවිත් ඒවා අවුලා කෑවෝය. 5 සමහරක් වඩා පස් නැති ගල් බිම්වල වැටී, පස් ඝනව නොතිබුණු බැවින් ඒවා වහාම පැළවිය. 6 නුමුත් ඉර උදාවූ කල අව්වෙන් දාලා, මුල් නැති බැවින් වියළී ගියේය. 7 අන් සමහරක් කටු අතරෙහි වැටුණේය; කටු ගස් වැවී ඒවා යටකර දැම්මේය. 8 තවත් සමහරක් සරු බිමෙහි වැටී, එකෙන් සියයක්ද එකෙන් සැටක්ද එකෙන් තිහක්ද බැගින් ඵල දුන්නේය. 9 ඇසීමට කන් ඇත්තේ අසාවයි කීසේක.

උපමා කථාවලින් ඉගැන්වීම

10 එවිට ගෝලයෝ ඇවිත්: ඔබවහන්සේ ඔවුන්ට උපමාවලින් කථාකරන්නේ මක්නිසාදැයි ඇසුවෝය. 11 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත. 12 මක්නිසාද යමෙකුට ඇත්තේද ඔහුට දෙනු ලැබෙන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් යමෙකුට නැත්තේද ඔහුට ඇති දේත් ඔහුගෙන් ගනු ලබන්නේය. 13 එහෙයින් ඔවුන් දකිමින්ම නොදක්නා නිසාද අසමින්ම නොඅසන නිසාද තේරුම් නොගන්නා නිසාද ඔවුන්ට උපමාවලින් කථාකරමි. 14 තවද යෙසායාගේ අනාගත වචනය ඔවුන් කෙරෙහි සම්පූර්ණවේ, එනම්:

14 ඇසීමෙන් නුඹලා අසන නුමුත් කිසිසේත් තේරුම් නොගන්නහුය;
14 බලමින්ම සිටින නුමුත් නුඹලා කිසිසේත් නොපැහැදෙන්නහුය.

15 මක්නිසාද යම් හෙයකින් තමුන්ගේ ඇස්වලින් නොදැක, කන්වලින් නොඅසා, සිතින් තේරුම් නොගෙන, නොහැරී, මා විසින් ඔවුන්ට සුව නොකරන පිණිස, මේ සෙනඟගේ සිත් දැඩිව තිබේ, ඔවුන්ගේ කන් හොඳට නෑසී, ඔවුන්ගේ ඇස් පියාගෙන සිටිතියි යනුයි.

16 නුමුත් පෙනෙන නිසා නුඹලාගේ ඇස්ද ඇසෙන නිසා නුඹලාගේ කන්ද වාසනාවන්තය. 17 මක්නිසාද සැබවක් නුඹලාට කියමි: බොහෝ අනාගතවක්තෘවරුන්ද ධර්මිෂ්ඨයන්ද නුඹලා දකින දේ දකින්ටත් නුඹලා අසන දේ අසන්ටත් ආශාවූ නුමුත් ඒවා දුටුවේවත් ඇසුවේවත් නැත.

වපුරන්නාගේ උපමාව තෝරාදීම

18 එබැවින් වපුරන්නාගේ උපමාව අසන්න. 19 යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. මග අසල වපුරනලද්දේ නම් මොහුය. 20 ගල් බිම්වල වපුරනලද්දේ නම්, වචනය අසා එකෙණෙහිම සන්තෝෂයෙන් පිළිගන්න තැනැත්තාය; 21 එහෙත් තමා තුළ මුල් නැති බැවින්, ඔහු මඳ කලක් පැවත, වචනය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි කෙණෙහිම බාධාවන්නේය. 22 කටු අතරෙහි වපුරන ලද්දේ නම්, වචනය අසා, ලෝකය ගැන වෙහෙසීමෙන්ද වස්තුවේ රැවටිලිකාරකමෙන්ද වචනය යටවීමෙන් ඵල නොදරන තැනැත්තාය. 23 සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.

කිරිඳි ගැන උපමාව

24 උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. 25 මනුෂ්‍යයන් නිදාසිටියදී ඔහුගේ සතුරා ඇවිත් තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේය. 26 කොළ වැඩී කරල් හටගත් කල කිරිඳිත් පෙනුණේය. 27 එවිට ගෙදර ස්වාමියාගේ දාසයෝ ඇවිත්: ස්වාමිනි, ඔබගේ කෙතෙහි ඔබ හොඳ බීජ වපුළා නොවේද? එසේවී නම් කිරිඳ කොයින් දැයි ඔහුට කීවෝය. 28 සතුරෙක් මේක කරලා තිබේයයි ඔහු කීවේය. එවිට දාසයෝ කථාකොට: එසේවී නම් අප ගොස් ඒවා උදුරාදමනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසුවෝය. 29 එහෙත් ඔහු උත්තරදෙමින්: එසේ නොකරන්න; නුඹලා කිරිඳි උදුරන කල තිරිඟුත් ඒ සමඟ ඉදිරෙන්ට පුළුවන. 30 කපන කාලය දක්වා දෙවගේම එකට වැඩෙන්ට අරින්න. කපන කාලයේදී–පළමුකොට කිරිඳි එකතුකර දවන පිණිස මිටි බඳින්න. නුමුත් තිරිඟු මාගේ අටුවෙහි රැස්කරන්නැයි කපන්නන්ට කියන්නෙමියි කීවේයයි කීසේක.

අබ ඇටයේ උපමාව සහ මුහුන් උපමාව

31 උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියේ දක්වමින්: මනුෂ්‍යයෙකු විසින් අරගෙන තමාගේ කෙතෙහි වපුළ අබ ඇටයකට ස්වර්ගරාජ්‍යය සමානය. 32 ඒක සියලුම බීජවලට වඩා කුඩා නුමුත් වැඩුණු කල පළාගස්වලට වඩා මහත්ව, ආකාශ පක්ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරම් ගසක් වන්නේයයි කීසේක.

33 උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.

34 යේසුස්වහන්සේ මේ සියල්ල සමූහයන්ට උපමාවලින් කථාකළසේක; උපමාවක් නැතුව කිසිවක් ඔවුන්ට කථානොකළසේක. 35 මෙසේ වූයේ–

35 උපමාවලින් මාගේ මුඛය අරින්නෙමි;
35 ලෝකයේ පටන්ගැන්මේ සිට සැඟවී තිබුණු කාරණා ප්‍රකාශකරන්නෙමියි

35 අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණා සම්පූර්ණ වන පිණිසය.

කිරිඳි උපමාව තෝරාදීම

36 එවිට උන්වහන්සේ සමූහයන් යන්ට හැර ගෙට ගියසේක. ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: කෙතේ කිරිඳිවල උපමාව අපට තෝරාදුන මැනවයි කීවෝය. 37 උන්වහන්සේ උත්තරදෙමින්: හොඳ බීජ වපුරන තැනැත්තේ නම් මනුෂ්‍ය පුත්‍රයාය; 38 කෙත නම් ලෝකයය; හොඳ බීජ නම් රාජ්‍යයේ පුත්‍රයෝය; 39 කිරිඳි නම් නපුරාගේ පුත්‍රයෝය; ඒවා වපුළ සතුරා නම් යක්ෂයාය. කපන කාලය නම් ලෝකාන්තිමයය; කපන්නෝ නම් දේවදූතයෝය. 40 එබැවින් කිරිඳි එක්කොට ගින්නෙන් දවන්නාක් මෙන් ලෝකාන්තිමයේදී වන්නේය. 41 මනුෂ්‍ය පුත්‍රයා තමන් දූතයන් එවනසේක, ඔව්හු බාධා උපදවන සියල්ලද අයුතුකම් කරන්නන්ද උන්වහන්සේගේ රාජ්‍යයෙන් එක්කොට, 42 ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය. 43 එකල ධර්මිෂ්ඨයෝ තමුන්ගේ පියාණන්ගේ රාජ්‍යයෙහි සූර්යයා මෙන් බබළන්නෝය. ඇසීමට කන් ඇත්තේ අසාවා.

නිධානයේද මුතුඇටයේද දැලේද උපමා

44 කෙතෙහි සඟවා තිබුණු වස්තුවකට ස්වර්ගරාජ්‍යය සමානය; මනුෂ්‍යයෙකුට ඒක සම්බවිය; ඔහු ඒක සඟවාතබා, ඒ ගැන සන්තෝෂයෙන් ගොස්, තමා සන්තක සියල්ල විකුණා ඒ කෙත මිලදී ගන්නේය.

45 තවද හොඳ මුතු සොයන්නාවූ වෙළෙන්දෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. 46 ඉතා අනර්ඝවූ එක මුතු ඇටයක් ඔහුට සම්බවී, ඔහු ගොස් තමා සන්තක සියල්ල විකුණා ඒක මිලදී ගත්තේය.

47 තවද මුහුදේ හෙළුවාවූද සියලු වර්ගවල මසුන් අසුවුණාවූද දැලකට ස්වර්ග රාජ්‍යය සමානය. 48 ඒ දැල පිරුණු කල ඔව්හු එය වෙරළට ඇද හිඳගෙන, හොඳවුන් භාජනවල එකතුකොට, නරකවුන් අහකදැමුවෝය. 49 ලෝකාන්තිමයේදී එසේම වන්නේය. දේවදූතයෝ නික්ම ඇවිත්, ධර්මිෂ්ඨයන් කෙරෙන් දුෂ්ටයන් වෙන්කොට, 50 ගිනි උදුනෙහි හෙළන්නෝය. එහි හැඬීමද දත්මිටිකෑමද වන්නේය.

51 නුඹලා මේ සියල්ල තේරුම්ගත්තහුදැයි ඇසූසේක. එසේයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. 52 එවිට උන්වහන්සේ ඔවුන්ට කථාකොට: එහෙයින් ස්වර්ග රාජ්‍යය සඳහා ගෝලයෙක්වී සිටින යම් ලියන්නෙක් ඇද්ද, ඔහු තමාගේ ගබඩාවෙන් අලුත් දේත් පරණ දේත් පිටතට ගෙනෙන්නාවූ ගෙදර ස්වාමියෙකුට සමානයයි කීසේක.

නාසරෙත්හිදී යේසුස්වහන්සේ සුළුකරනු ලැබීම

53 තවද යේසුස්වහන්සේ මේ උපමා කියා නිමකළායින් පසු එතැනින් පිටත්ව ගියසේක. 54 උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයෙහිදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔව්හු විස්මපත්ව: මොහුට මේ ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොයින්ද? 55 මොහු වඩුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මවුගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවෙද්ද? 56 මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද? එසේවී නම් මේ සියල්ල මොහුට කොයින්ද කියා, 57 උන්වහන්සේ ගැන බාධාවූවෝය. නුමුත් යේසුස්වහන්සේ කථාකොට: අනාගතවක්තෘ කෙනෙක් තමාගේම රටේදීත් තමාගේම ගෙදරදීත් හැර ගෞරව නැතුව නොසිටින්නේයයි ඔවුන්ට කීසේක. 58 ඔවුන්ගේ ඇදහිලි නැතිකම නිසා උන්වහන්සේ එහිදී බොහෝ ආශ්චර්යයන් නොකළසේක.

14

යොහන් බව්තීස්තගේ මරණය

1 එසමයෙහිදී දේශාධිපතිවූ හෙරොද් යේසුස්වහන්සේගේ කීර්තිය ගැන අසා: 2 මොහු යොහන් බව්තීස්තය; ඔහු මළවුන්ගෙන් නැගිට සිටියි. ඒ නිසා ඔහු තුළ මේ බලපරාක්‍රම ක්‍රියාකරන්නේයයි තමාගේ මෙහෙකරුවන්ට කීවේය. 3 මක්නිසාද හෙරොද් තමාගේ සහෝදරයා වන පිලිප්ගේ භාර්යාවවූ හෙරෝදියස් නිසා යොහන් අල්වා බැඳ හිරගෙයි දමා තිබුණේය. 4 මෙසේ කළේ: ඈ තබාගැන්ම ඔබට යුතු නැතැයි යොහන් ඔහුට කී නිසාය. 5 ඔහු යොහන් මරන්ට කැමතිව සිටි නුමුත්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සෙනඟ සැලකූ නිසා ඔවුන්ට භයව සිටියේය. 6 නුමුත් හෙරොද්ගේ උපන් දවස පැමිණි කල හෙරෝදියස්ගේ දුව පිරිස මැද නටා හෙරොද් ප්‍රසන්නකළාය. 7 එහෙයින් ඈ ඉල්ලන මොන දෙයක් නුමුත් ඈට දෙන්ට දිවුරුමකින් ඔහු පොරොන්දුවූයේය. 8 ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය. 9 එවිට රජ ශෝකවූයේය; එහෙත් තමාගේ දිවුරුම් නිසාත්, තමා සමඟ කමින් උන්නවුන් නිසාත්, ඔහු ඒක දෙන්ට ආඥාකොට, 10 කෙනෙකු යවා හිරගෙයිදී යොහන්ගේ හිස කැප්පෙවුවේය. 11 ඔහුගේ හිස තැටියක ලා ගෙනවුත් තරුණියට දෙනලද්දේය. ඈද ඒක ඇගේ මවු ළඟට ගෙනගියාය. 12 ඔහුගේ ගෝලයෝ ඇවිත් මිනිය රැගෙන, ඔහු තැන්පත් කොට, පසුව ගොස් යේසුස්වහන්සේට දැන්වූහ.

පන්දහසකට කන්ට දීම

13 යේසුස්වහන්සේ ඒ අසා එයින් පිටත්ව, ඔරුවකින් කාන්තාර ස්ථානයකට වෙන්ව ගියසේක. සමූහයෝ ඒ අසා නුවරවලින් පිටත්ව ඇවිත් උන්වහන්සේ පස්සේ පයින් ගියෝය. 14 උන්වහන්සේ නික්මවිත්, මහත් සමූහයක් දැක, ඔවුන් කෙරෙහි අනුකම්පාවී, ඔවුන්ගේ රෝගීන් සුවකළසේක. 15 සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය. 16 ඔවුන් යන්ට කමක් නැත; නුඹලා ඔවුන්ට කන්ට දෙන්නැයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. 17 ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය. 18 ඒවා මෙහි මා වෙතට ගෙනෙන්නැයි උන්වහන්සේ කීසේක. 19 උන්වහන්සේ සමූහයාට තණකොළ පිට හිඳගන්ට අණකොට, රොටි පහත් මසුන් දෙදෙනක් රැගෙන, ස්වර්ගය දෙස බලා ආශීර්වාදකොට, රොටි කඩා ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය. 20 සියල්ලෝම කා තෘප්තියට පැමිණියෝය. ඔව්හු කැඩූ කැබෙලිවලින් ඉතිරි ඒවා එක්කොට පැස් දොළොසක් පුරවාගත්තෝය. 21 ස්ත්‍රීන්ද දරුවන්ද හැර කෑවාවූ පුරුෂයෝ පන්දහසක් පමණ වූහ.

මුහුද පිට පයින් යෑම

22 එකෙණෙහිම උන්වහන්සේ සමූහයන් අරින තෙක්, ඔරුවට නැගී තමන්ට පළමුවෙන් එගොඩට යන්ට ගෝලයන්ට බලකළසේක. 23 උන්වහන්සේ සමූහයන් යැවූ පසු, යාච්ඤාකරන පිණිස වෙන්ව කන්දට ගියසේක. සවස් වූ කල්හි උන්වහන්සේ එහි තනියම සිටිසේක. 24 එහෙත් හුළඟ ඉදිරියට ගැසූ බැවින්, ඔරුව එවේලෙහි රැළවලින් සෙලවි සෙලවී මුහුද මැද තිබුණේය. 25 රෑ සතරවෙනි යාමයේදී උන්වහන්සේ ඔවුන් වෙතට මුහුද පිට පයින් ආසේක. 26 ගෝලයෝ උන්වහන්සේ මුහුද පිට පයින් එනවා දැක, කැලඹී: ඒ අවතාරයක්යයි කියා භයින් මොරගැසුවෝය. 27 එහෙත් යේසුස්වහන්සේ එකෙණෙහිම ඔවුන්ට කථාකොට: ධෛර්යවත් වෙන්න; මමය; භය නොවෙන්නැයි කීසේක. 28 පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: ස්වාමිනි, ඒ ඔබවහන්සේ නම්, වතුර පිට ඔබ වෙතට එන්ට මට අණකළ මැනවයි කීවේය. 29 එන්නැයි උන්වහන්සේ කීසේක. එවිට පේතෘස් ඔරුවෙන් බැස, යේසුස්වහන්සේ වෙතට යන පිණිස වතුරු පිට පයින් ගියේය. 30 නුමුත් ඔහු හුළඟ දැක භයවී, ගිලෙන්ට පටන්ගෙන: ස්වාමිනි, මා ගැළෙවුව මැනවයි මොරගැසුවේය. 31 එකෙණෙහිම යේසුස්වහන්සේ අත දිගුකොට ඔහු අල්ලාගෙන: ඇදහිලි මඳ තැනැත්ත, කුමක් නිසා සැකවූයෙහිදැයි කීසේක. 32 ඔවුන් ඔරුවට නැගුණු කල හුළඟ නැවතුණේය. 33 එවිට ඔරුවේ සිටි අය: ඒකාන්තයෙන්ම ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා උන්වහන්සේට නමස්කාරකළෝය.

34 ඔව්හු එගොඩවී, ගෙන්නෙසරෙත් නම් රටට පැමිණියෝය. 35 ඒ රටේ මනුෂ්‍යයෝ උන්වහන්සේ ඇඳින, එහි වටකර මුළු රටට කියා ඇර, සියලු රෝගීන් උන්වහන්සේ වෙතට ගෙන්වා, 36 උන්වහන්සේගේ සළුවේ දාවල්ලටවත් අතගසන්ට ඔවුන්ට ඉඩ දෙන හැටියට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. අතගැසූ සියල්ලෝම සුවපත්වූවෝය.

15

චාරිත්‍ර හා මුඛ පාඨ පිළිබඳ ප්‍රශ්න විසඳීමක්

1 එකල ඵරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්: 2 ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය. 3 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද? 4 නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක. 5 එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට–මාගෙන් ඔබට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි නුඹලා කියන්නෝය. 6 මෙසේ නුඹලා නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය. 7 වංචාකාරයෙනි, යෙසායා නුඹලා ගැන කථාකොට:

8 මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති;

8 නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ.

9 මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි

9 අනාගත වචන මනාකොට කීයේයයි කීසේක. 10 එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: නුඹලා අසා තේරුම්ගන්න. 11 කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක. 12 එවිට ගෝලයෝ ඇවිත්: ඵරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 13 උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය. 14 ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක. 15 එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය. 16 උන්වහන්සේ කියනසේක්: නුඹලාත් තවම තේරුම් නැතුව සිටින්නහුද? 17 කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? 18 නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය. 19 මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය. 20 මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.

අන්‍යජාතික ගෑනු ළමයෙකුට සුවකිරීම

21 යේසුස්වහන්සේ එයින් පිටත්ව තීර් හා සීදොන්හි පළාත්වලට ගියසේක. 22 බලව, කානානිය ස්ත්‍රියෙක් එහි සීමාවල සිට පිටත්ව ඇවිත්: දාවිත්ගේ පුත්‍රවූ ස්වාමිනි, මට කරුණාකළ මැනව; මාගේ දුව බලවත්ලෙස යක්ෂාවේශව සිටින්නීයයි කීවාය. 23 නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. 24 නුමුත් උන්වහන්සේ උත්තරදෙමින්: ඉශ්‍රායෙල් වංශයේ නැතිවුණු බැටළුවන් වෙතට මිස අන්‍යයන් වෙතට මම එවනු නොලද්දෙමියි කීසේක. 25 නුමුත් ඈ ඇවිත් උන්වහන්සේට නමස්කාරකොට: ස්වාමිනි, මට පිහිටවුව මැනවයි කීවාය. 26 උන්වහන්සේ උත්තරදෙමින්: දරුවන්ගේ රොටි රැගෙන බල්ලන්ට දැමීම නුසුදුසුයයි කීසේක. 27 නුමුත් ඈ කථාකොට: එසේය, ස්වාමිනි, බල්ලෝ පවා උන්ගේ ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබෙලි කතියි කීවාය. 28 එවිට යේසුස්වහන්සේ ඈට උත්තරදෙමින්: ස්ත්‍රිය, නුඹේ ඇදහිල්ල මහත්ය. නුඹේ කැමැත්ත ලෙසම ඔබට වේවයි කීසේක. ඒ පැයේ පටන් ඇගේ දුව සුවපත්වූවාය.

බොහෝ දෙනෙකු සුවපත් කිරීම

29 යේසුස්වහන්සේ එයින් පිටත්ව ගලීලයේ මුහුද ළඟට ගොස් කන්දට නැගී එහි වැඩහුන්සේක. 30 බොහෝ සමූහයෝ කොරුන්, අන්ධයන්, ගොළුවන්, අබ්බාගාතයන් හා වෙනත් බොහෝ දෙනා රැගෙන යේසුස්වහන්සේ ළඟට ඇවිත්, උන්වහන්සේගේ පාමුල ඔවුන් තැබුවෝය; උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක. 31 ඒ නිසා ගොළුවන් කථාකරන බවත් අබ්බාගාතයන් සුවවී ඉන්න බවත් කොරුන් ඇවිදින බවත් අන්ධයන්ට ඇස් පෙනෙන බවත් සමූහයෝ දැක, පුදුමව, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේට ප්‍රශංසාකළෝය.

හාරදහසකට කන්ට දීම

32 යේසුස්වහන්සේ ගෝලයන් තමන් වෙතට කැඳවා කියනසේක්: මම සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි, මක්නිසාද ඔව්හු දැනට තුන් දවසක් මා ළඟ සිටිති; ඔවුන්ට කන්ට කිසිත් නැත. ඔවුන් බඩගින්නෙන් හරින්ට නොකැමැත්තෙමි, හැරියෙම් නම් මාර්ගයේදී ඔවුන් ක්ලාන්තවෙන්ට පුළුවනැයි කීසේක. 33 ගෝලයෝ උන්වහන්සේට කථාකොට: මෙපමණ මහත් සමූහයක් තෘප්තියට පමුණුවන්ට වනාන්තරයක අපට රොටි කොයින්දැයි කීවෝය. 34 යේසුස්වහන්සේ කථාකොට: නුඹලා ළඟ රොටි කීයක් තිබේදැයි ඇසූසේක. රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පයකුත්යයි ඔව්හු කීවෝය. 35 උන්වහන්සේ සමූහයන්ට බිම හිඳගන්ට අණදී, 36 රොටි සතද මසුන්ද රැගෙන ස්තුතිකොට කඩා, ගෝලයන්ට දුන්සේක, ගෝලයෝද සමූහයන්ට දුන්නෝය. 37 සියල්ලෝම කා තෘප්තියට පැමුණුණෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කූඩා සතක් පුරවා ගත්තෝය. 38 ස්ත්‍රීන්ද දරුවන්ද හැර, කෑවාවූ පුරුෂයෝ හාරදහසක්ය. 39 උන්වහන්සේ සමූහයන් යන්ට හැර, ඔරුවට නැගී, මගදන් සීමාවලට පැමිණිසේක.

16

ලකුණක් දෙන ලෙස කළාවූ ඉල්ලීම ප්‍රතික්ෂේපකිරීම

1 ඵරිසිවරුද සද්දුසිවරුද ඇවිත් උන්වහන්සේ පරීක්ෂාකරමින්, තමුන්ට අහසෙන් ලකුණක් පෙන්වන්ට උන්වහන්සේගෙන් ඉල්ලුවෝය. 2 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සවස් වේලෙහි අහස රතුපාට නිසා හොඳ කාලයක් වන්නේය කියාත්, 3 උදය අහස රතුපාටව, අඳුරුව තිබෙන නිසා අද කුණාටු දවසක් වන්නේය කියාත් නුඹලා කියවුය. නුඹලා අහස්තලය විමසන්ට දන්නහුය; එහෙත් කාලයන්ගේ ලකුණු විමසා දැනගන්ට නුඹලාට බැරිය. 4 නපුරුවූ කාමමිථ්‍යාචාරිකවූ පරම්පරාවක් ලකුණක් සොයයි; නුමුත් අනාගතවක්තෘවූ යෝනාගේ ලකුණ හැර ඔවුන්ට වෙන ලකුණක් දෙනු නොලැබෙන්නේයයි කීසේක. උන්වහන්සේ ඔවුන් අත්හැර පිටත්ව ගියසේක.

ගෝලයන්ගේ අන්ධකම ගැන තරවටුකිරීම

5 ගෝලයෝ එගොඩට පැමිණියෝය; රොටි ගෙනයන්ට ඔවුන්ට මතකනැති වුණේය. 6 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක. 7 ඔව්හු: අපි රොටි නොගෙනාමුයයි තම තමුන් අතරේ කථාකරගත්තෝය. 8 යේසුස්වහන්සේ ඒ බව දැන: මඳ ඇදහිල්ල ඇත්තෙනි, නුඹලාට රොටි නැති නිසා කුමකට නුඹලා අතරෙහි කථාකර ගන්නහුද? 9 නුඹලාට තවම තේරෙන්නේ නැද්ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත්, පැස් කීයක් පුරවාගත්තහුද කියාත්, 10 සාරදහසකට දුන් රොටි සත ගැනත්, කූඩා කීයක් පුරවාගත්තහුද කියාත් මතක නැද්ද? 11 රොටි ගැන මා විසින් නුඹලාට නොකී බව නුඹලාට තේරුම් නැත්තේ කොහොමද? නුමුත් ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්නැයි කීසේක. 12 එවිට උන්වහන්සේ ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද ඉගැන්වීමෙන් මිස රොටිවල මුහුන්වලින් ප්‍රවේසම් වෙන්ට නොකී බව ඔව්හු තේරුම්ගත්තෝය.

යේසුස්වහන්සේ ක්‍රිස්තුස් බව පේතෘස් කියා සිටීම

13 යේසුස්වහන්සේ පිලිප්පි කායිසාරියේ පළාත්වලට පැමිණි කල: මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ය කියා මනුෂ්‍යයෝ කියද්දැයි තමන්ගේ ගෝලයන්ගෙන් ඇසූසේක. 14 ඔව්හු කථාකොට-සමහරෙක්: යොහන් බව්තීස්තය කියාද, අන් සමහරෙක්: එලියාය කියාද, තවත් අය: යෙරෙමියා නොහොත් අනාගතවක්තෘන්ගෙන් එක්කෙනෙක්ය කියාද කියතියි කීවෝය. 15 නුමුත් නුඹලා මා කවුරුය කියා කියනවාදැයි ඔවුන්ගෙන් ඇසූසේක. 16 සීමොන් පේතෘස් උත්තර දෙමින්: ඔබ ක්‍රිස්තුස්වහන්සේය, ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කීවේය. 17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සීමොන් බර්-යෝනා, නුඹ ආශීර්වාදලද්දෙක්ය. මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේ මිස මාංසය හා රුධිරය මේක ඔබට එළිදරව් නොකෙළේය. 18 මම ඔබට කියමි: නුඹ පේතෘස්ය,තවද මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනගන්නෙමි; පාතාලයේ දොරටු ඒක පරාජය නොකරන්නේය. 19 ස්වර්ගරාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක. 20 එවිට තමන් ක්‍රිස්තුස්වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන්වහන්සේ ගෝලයන්ට අණකළසේක.

යේසුස්වහන්සේ තමන්ගේ මරණය හා මළවුන්ගෙන් නැවත නැගිටීම ගැන කලින් කීම

21 එවක් පටන් යේසුස්වහන්සේ, තමන් යෙරුසලමට ගොස් වැඩිමහල්ලන්ගෙන්ද නායක පූජකයන්ගෙන්ද ලියන්නන්ගෙන්ද බොහෝ දේ විඳින්ටත් මරනු ලබන්ටත් තුන්වෙනිදා නැගුටුවනු ලබන්ටත් ඕනෑ බව ගෝලයන්ට දන්වන්ට පටන්ගත්සේක. 22 එවිට පේතෘස් උන්වහන්සේ කැඳවා තරවටු කරන්ට පටන්ගෙන: ස්වාමිනි, එය ඔබ කෙරෙන් දුරුවේවා. ඔබට කිසිකලකත් එසේ සිද්ධ නොවන්නේයයි කීවේය. 23 නුමුත් උන්වහන්සේ හැරී පේතෘස්ට කථාකොට: සාතන් මා පස්සට යව, නුඹ මට බාධාවක්ය. මක්නිසාද නුඹ මනුෂ්‍යයන්ගේ කාරණා මිස දෙවියන්වහන්සේගේ කාරණා කල්පනාකරන්නේ නැතැයි කීසේක.

තමාගේම කැමැත්ත අත්හැරීමට ආරාධනාව

24 එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රැගෙන, මා අනුව ඒවා. 25 මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්ට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය. 26 යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද? 27 මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක. 28 සැබවක් නුඹලාට කියමි: මනුෂ්‍ය පුත්‍රයා ස්වකීය රාජ්‍යයෙන් යුක්තව එනවා දකින තෙක් මෙහි සිටින්නන්ගෙන් සමහරෙක් කිසිසේත් මරණ රසය නොවිඳින්නෝයයි කීසේක.

17

අන්වෙසක්වීම

1 සදවසකට පසු යේසුස්වහන්සේ පේතෘස්ද යාකොබ්ද ඔහුගේ සහෝදරවූ යොහන්ද පමණක් කැඳවාගෙන උස්වූ කන්දකට වෙන්ව ගියසේක. 2 උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය. 3 බලව, මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමඟ කථාකරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය. 4 පේතෘස් උත්තරදෙමින් යේසුස්වහන්සේට කථාකොට: ස්වාමිනි, අපට මෙහි සිටීම යහපත; ඔබ කැමතිසේක්නම්, ඔබට එකක්ද මෝසෙස්ට එකක්ද එලියාට එකක්ද බැගින් මෙහි මණ්ඩප තුනක් සාදන්නෙමියි කීවේය. 5 ඔහු කථාකරද්දීම දීප්තිමත් වලාපටලයක් ඔවුන් මත්තෙහි පැතිර තිබුණේය. බලව, මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය, මොහු කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි; මොහුට ඇහුම්කන්දෙව්යයි වලාපටලයෙන් හඬක් විය. 6 ගෝලයෝ ඒ අසා, මුහුණින් වැටී, අතිශයින් භය පත්වූවෝය. 7 යේසුස්වහන්සේ ඇවිත් ඔවුන්ට අතගසා: නැගිටින්න, භය නොවෙන්නැයි කීසේක. 8 ඔව්හු ඇස් ඔසවා බලා, යේසුස්වහන්සේ හැර වෙන කිසිවෙකු නුදුටුවෝය.

9 ඔවුන් කන්දෙන් බසින කල යේසුස්වහන්සේ ඔවුන්ට අණකරමින්: මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු මේ දර්ශනය කාටවත් නොකියන්නැයි කීසේක. 10 උන්වහන්සේගේ ගෝලයෝ කථාකොට: එසේවී නම් එලියා පළමුවෙන් එන්ට ඕනෑයයි ලියන්නෝ කුමක් නිසා කියන්නෝදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 11 උන්වහන්සේ උත්තරදෙමින්: එලියා එන්නේමය, ඇවිත් සියල්ල නැවත පිහිටුවන්නේය. 12 නුමුත් නුඹලාට කියමි–එලියා ආවේය, ඔව්හු ඔහු නෑඳින, යමක් යමක් කරන්ට කැමතිවූවෝද ඒ ඒ දේ ඔහුට කළෝය. එසේම මනුෂ්‍ය පුත්‍රයාත් ඔවුන්ගෙන් පීඩා විඳින්නේයයි ඔවුන්ට කීසේක. 13 උන්වහන්සේ යොහන් බව්තීස්ත ගැන තමුන්ට කථාකළ බව එකල ගෝලයෝ තේරුම්ගත්තෝය.

අපස්මාර රෝගීවූ ළමයාට සුවකිරීම

14 ඔවුන් සමූහයා ළඟට ආ කල මනුෂ්‍යයෙක් උන්වහන්සේ වෙතට ඇවිත් උන්වහන්සේ ඉදිරියේ දණින් හිඳ: 15 ස්වාමිනි, මාගේ පුත්‍රයාට කරුණාකළ මැනව; මක්නිසාද ඔහු අපස්මාර රෝගීව බොහෝ වේදනා විඳියි. නොයෙක්විට ගින්නෙහිද නොයෙක්විට වතුරෙහිද වැටෙයි. 16 ඔබවහන්සේගේ ගෝලයන් ළඟට මම ඔහු ගෙනාවෙමි, ඔහු සුවපත්කරන්ට ඔවුන්ට නුපුළුවන්වීයයි කීවේය. 17 යේසුස්වහන්සේ උත්තරදෙමින්: අහෝ ඇදහිලි නැති හිතුවක්කාර පරම්පරාව, මම නුඹලා සමඟ කොපමණ කල් සිටිම්ද? කොපමණ කල් නුඹලා ගැන ඉවසම්ද? මෙහි මා ළඟට ඔහු ගෙනෙන්නැයි කීසේක. 18 යේසුස්වහන්සේ ඔහුට තරවටුකළසේක; එවිට යක්ෂයා ඔහුගෙන් දුරුව ගියේය. ඒ පැයේ පටන් ළමයා සුවපත්විය. 19 එවිට ගෝලයෝ තනිව යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔහු දුරු කරන්ට අපට බැරිවුණේ මක්නිසාදැයි ඇසුවෝය. 20 උන්වහන්සේ කියනසේක්: නුඹලාගේ ඇදහිල්ලේ මදිකම නිසාය. සැබවක් නුඹලාට කියමි–අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; 21 කිසිවක් නුඹලාට බැරි නොවන්නේයයි කීසේක.

යේසුස්වහන්සේ තමන්ගේ මරණය ගැන නැවත කීම

22 ඔවුන් ගලීලයේ නැවතී සිටින අතර යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: මනුෂ්‍ය පුත්‍රයා මනුෂ්‍යයන්ගේ අත්වලට පාවාදෙනු ලබන්නේය; 23 ඔව්හුද ඔහු මරන්නෝය, නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක. එවිට ඔව්හු අතිශයෙන් ශෝකවූවෝය.

මාළිගා බද්ද ගෙවීම

24 ඔවුන් කපර්ණවුමට ආ කල ෂෙකෙල් භාගය අයකරන්නෝ පේතෘස් ළඟට ඇවිත්: නුඹලාගේ ආචාරීන්වහන්සේ ෂෙකෙල්භාගය නොගෙවනසේක්දැයි කීවෝය. 25 ගෙවනසේකැයි ඔහු කීවේය. ඔහු ගෙට ආ කල යේසුස්වහන්සේ පළමුවෙන් ඔහුට කථාකොට: සීමොන්, නුඹ හිතන්නේ මොකද? පොළොවේ රජවරුන් සුංගම් නොහොත් ආදායම් ගන්නේ කාගෙන්ද? තමුන්ගේ පුත්‍රයන්ගෙන්ද නොහොත් අන්‍යයන්ගෙන්දැයි කීසේක. 26 අන්‍යයන්ගෙන්යයි ඔහු කී කල යේසුස්වහන්සේ කථාකොට: එසේ නම් පුත්‍රයෝ නිදහස්ය. 27 නුමුත් අප විසින් ඔවුන්ට බාධා නොකරන පිණිස, නුඹ මුහුදට ගොස් බිළියක් බා, පළමුකොට අසුවෙන මත්ස්‍යයා ගන්න; උගේ කට හැරිය කල ෂෙකෙලයක් සම්බවන්නේය. ඒක ගෙන මා සහ නුඹ උදෙසා ඔවුන්ට දෙන්නැයි කීසේක.

18

යටත්කම ගැන ගුරුකමක් දීම

1 ඒ පැයේදී ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඉඳින් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් වන්නේ කවුදැයි ඇසුවෝය. 2 උන්වහන්සේ කුඩා දරුවෙකු තමන් ළඟට කැඳවා ඔවුන් මැද සිටුවා: 3 සැබවක් නුඹලාට කියමි–නුඹලා හැරී කුඩා දරුවන් මෙන් නූණොත්, කිසිසේත් ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නහුය. 4 එබැවින් මේ කුඩා දරුවා මෙන් යටත්වන කවුරු නුමුත් ස්වර්ගරාජ්‍යයෙහි ඉතා උතුම් තැනැත්තාය. 5 තවද යමෙක් මාගේ නමින් මෙබඳු කුඩා දරුවෙකු පිළිගන්නේද ඔහු මා පිළිගන්නේය.

අනුන්ට බාධාකිරීම ගැන අවවාදය

6 නුමුත් මා කෙරෙහි අදහන මේ බාලයන්ගෙන් එක්කෙනෙකුටවත් බාධා කරන යමෙක් ඇද්ද ඔහුගේ බෙල්ලේ මහත් ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ ගැඹුරෙහි ගිල්වීම ඔහුට යහපත. 7 බාධා නිසා ලොවට දුක්වේ! මක්නිසාද බාධා පැමිණෙන්ට ඕනෑය; නුමුත් යමෙකු කරණකොටගෙන බාධාව පැමිණේද ඒ තැනැත්තාට දුක්වේ! 8 නුඹේ අත හෝ පය හෝ ඔබට බාධාකෙරේ නම් ඒක කපා අහක දමන්න. දෑත හෝ දෙපය හෝ ඇතුව සදාකාල ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාතව නොහොත් කොරව ජීවනයට පැමිණීම ඔබට යහපත. 9 නුඹේ ඇස ඔබට බාධා කෙරේ නම් ඒක උගුළා අහක දමන්න. ඇස් දෙකක් ඇතුව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතුව ජීවනයට පැමිණීම නුඹට යහපත. 10 මේ බාලයන්ගෙන් එකෙකුටවත් හෙළා නොදක්නා ලෙස බලාගන්න. 11 මක්නිසාද ස්වර්ගයේදී ඔවුන්ගේ දූතයෝ ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ මුහුණ නිතරම දකිතියි නුඹලාට කියමි.

නැතිවූ බැටළුවා ගැන උපමාව

12 නුඹලා සිතන්නේ මොකද? යම් මනුෂ්‍යයෙකුට බැටළුවන් සියයක් ඇත්නම්, උන්ගෙන් එකෙක් මුළාව ගියොත්, ඔහු ඉතිරි අනූනවදෙනා අත්හැර, කඳුවලට ගොස්, මුළාව ගිය එකා සොයන්නේ නැද්ද? 13 ඌ සම්බවුණොත් මුළාව නොගිය අනූනවදෙනා ගැන සන්තෝෂවෙනවාට වඩා ඌ ගැන සන්තෝෂවන්නේයයි ඒකාන්තයෙන් නුඹලාට කියමි. 14 එසේම මේ බාලයන්ගෙන් එක්කෙනෙක්වත් විනාශවෙනවාට ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ කැමති නොවනසේක.

වරදකළ අයින්ට ක්‍රියාකළ යුතු අන්දම

15 තවද නුඹේ සහෝදරයා ඔබට විරුද්ධව වරදකළොත්, ගොස්, ඔහු සමඟ තනිව සිට ඔහුගේ වරද පෙන්වා දෙන්න. නුඹ කී දේ ඔහු ඇසුවොත් නුඹ නුඹේ සහෝදරයා දිනාගත්තෙහිය. 16 නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න. 17 ඔහු ඔවුන් කී දේත් පිළිනොගත්තොත්, සභාවට කියන්න. සභාව කී දේත් පිළිනොගත්තොත්, ඔහු නුඹට අන්‍යජාතියෙක් මෙන්ද සුංගම් අයකරන්නෙක් මෙන්ද වේවා. 18 සැබවක් නුඹලාට කියමි: නුඹලා පොළොවේදී යමක් යමක් බඳිනවාද, ඒක ස්වර්ගයේදී බඳිනු ලබන්නේය. පොළොවේදී යමක් යමක් මුදනවාද, ඒක ස්වර්ගයේදී මුදනු ලබන්නේය.

එක්සත් යාච්ඤාව

19 නැවතත් නුඹලාට කියමි: පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිත්වන්නෝ නම්, ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේය. 20 මක්නිසාද දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් යම් තැනක රැස්ව සිටිත් නම් මම එතැන ඔවුන් මැද සිටිමියි කීසේක.

එකිනෙකාට කමාවීම. අකරුණාවන්ත දාසයා ගැන උපමාව

21 එකල පේතෘස් උන්වහන්සේ ළඟට ඇවිත්: ස්වාමිනි, මට වරදකරන මාගේ සහෝදරයාට කීවරක් කමාවෙන්ටද? සත්වරක් දක්වාදැයි උන්වහන්සේගෙන් ඇසුවේය. 22 යේසුස්වහන්සේ ඔහුට කථාකොට: සත්වරක් නොව සැත්තෑවර සත්වරක්යයි කියමි. 23 එබැවින් තමාගේ දාසයන් සමඟ ගණන් බලන්ට කැමතිවු රජෙකුට ස්වර්ගරාජ්‍යය උපමාකරනු ලැබේ. 24 ඔහු ගණන් බලන්ට පටන්ගත් කල, තලෙන්ත දස දහසක් ණයවූ එක්කෙනෙක් ඔහු ළඟට ගෙනෙනලද්දේය. 25 ණය ගෙවන්ට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ඔහුගේ ස්වාමියා ඔහුද ඔහුගේ භාර්යාවද දරුවන්ද ඔහු සන්තක සියල්ලද විකුණා ණය ගෙවන්ට ආඥාකෙළේය. 26 එවිට ඒ දාසයා බිම වැටී වැඳ: ස්වාමිනි, මා ගැන ඉවසුව මැනවි, නුඹවහන්සේට සියල්ලම ගෙවන්නෙමියි කීවේය. 27 ඒ දාසයාගේ ස්වාමියා අනුකම්පාකොට, ඔහු මුදාහැර ඒ ණය ඔහුට කමාකෙළේය. 28 එහෙත් ඒ දාසයා පිටත්ව ගොස්, තමාගේ සහකාර දාසයන්ගෙන් තමාට මසු සියයක් ණයවූ එක්කෙනෙකු දැක, ඔහු අල්වා, ඔහුගේ බෙල්ල මිරිකාගෙන: ණය ගෙවන්නැයි කීවේය. 29 එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී: මා ගැන ඉවසුව මැනවි, නුඹට ගෙවන්නෙමියි කන්නලව්කෙළේය. 30 නුමුත් ඔහු නොකමැතිව, ගොස් ණය ගෙවන තුරු ඔහු හිරගෙයි දැම්මේය. 31 ඔහුගේ සහකාර දාසයෝ සිද්ධවූ දේ දැක, ඉතා ශෝකව, ඇවිත් සිදුවූ සියල්ල තමුන්ගේ ස්වාමියාට කීවෝය. 32 එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කථාකොට: නපුරු දාසය, නුඹ මාගෙන් ඉල්ලූ නිසා ඒ ණය සියල්ල ඔබට කමාකෙළෙමි. 33 මා විසින් ඔබට කරුණාකළා සේම නුඹ විසිනුත් නුඹේ සහකාර දාසයාට කරුණාකරන්ට යුතුව තිබුණා නොවේදැයි කීවේය. 34 ඔහුගේ ස්වාමියා කෝපව, තමාට ණයව තිබුණු සියල්ල ඔහු විසින් ගෙවන තුරු ඔහු වධකයන්ට භාරදුන්නේය. 35 නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක.

19

දික්කසාදය ගැන ප්‍රශ්නයක්

1 තවද යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ පසු ගලීලයෙන් පිටත්ව යොර්දානින් එගොඩට යුදයේ සීමාවලට පැමිණිසේක; 2 බොහෝ සමූහයෝ උන්වහන්සේ අනුව ගියෝය; උන්වහන්සේ එහිදී ඔවුන්ට සුවකළසේක.

3 ඵරිසිවරු උන්වහන්සේ ළඟට පැමිණ උන්වහන්සේ පරීක්ෂාකරමින්: යමෙකු විසින් කොයියම් කාරණයක් නිසාවත් තමාගේ භාර්යාව අත්හැරිය යුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. 4 උන්වහන්සේ උත්තරදෙමින්: පටන්ගැන්මේ සිට ඔවුන් මැවූ තැනන්වහන්සේ පුරුෂයෙක්ද ස්ත්‍රියෙක්ද වශයෙන් ඔවුන් මැවූ බවත්, 5 ඒ නිසා මනුෂ්‍යයෙක් තමාගේ පියා සහ මවු අත්හැර තමාගේ භාර්යාවට ඇලුම්වන්නේය කියාද ඒ දෙදෙන එක මාංසය වන්නෝය කියාද කී බවත් නුඹලා කියෙවුවේ නැද්ද? 6 මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙක් නොව එකම මාංසය වෙති. එබැවින් දෙවියන්වහන්සේ එක්කළ දෙය මනුෂ්‍යයා වෙන් නොකෙරේවයි කීසේක. 7 ඔව්හු කථාකොට: එසේවී නම් ඇත්හැරීම් පත්‍රයක් දී ඈ අත්හරින්ට මෝසෙස් අණකළේ මක්නිසාදැයි උන්වහන්සේට කීවෝය. 8 උන්වහන්සේද: නුඹලාගේ සිත් දැඩිකම නිසා මෝසෙස් නුඹලාගේ භාර්යාවන් අත්හරින්ට ඉඩදුන්නේය. නුමුත් පටන්ගැන්මේ සිට එසේ නොවූයේයයි ඔවුන්ට කීසේක. 9 තවද මම නුඹලාට කියමි–වේශ්‍යාකම නිසා මිස තමාගේ භාර්යාව අත්හැර වෙන ස්ත්‍රියෙකු සරණ පාවාගන්න කවරෙක් නුමුත් කාමමිථ්‍යාචාරය කරන්නේය; අත්හරිනලද ඒ ස්ත්‍රිය සරණපාවාගන්නාද කාමමිථ්‍යාචාරය කරන්නේයයි ඔවුන්ට කීසේක. 10 ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්ත්‍රීත් පුරුෂයාත් අතරේ කාරණය මෙසේ නම් සරණපාවා නොගැන්ම වඩා හොඳයයි කීවෝය. 11 එහෙත් උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: පුළුවන්කම ලැබූ අය මිස හැම දෙනාටම මේ කීම පිළිගන්ට බැරිය. 12 මක්නිසාද මවු කුසින් නපුංසකව උපන් තැනැත්තෝ ඇත්තාහ. මනුෂ්‍යයන් විසින් නපුංසකයන් කරනලද නපුංසකයෝද ඇත්තාහ. ස්වර්ගරාජ්‍යය නිසා තමුන්ම නපුංසකයන් කරගන්නාවූ නපුංසකයෝද ඇත්තාහ. ඒක පිළිගන්ට පුළුවන් තැනැත්තේ පිළිගත්තාවේයයි කීසේක.

යේසුස්වහන්සේ සහ පුංචි ළමයි

13 එකල උන්වහන්සේ විසින් දරුවන් පිට අත් තබා යාච්ඤාකරන පිණිස ඔව්හු උන්වහන්සේ වෙතට ගෙනෙනලද්දෝය. ගෝලයෝ ඔවුන්ට සැරකළෝය. 14 එහෙත් යේසුස්වහන්සේ කථාකොට: දරුවන් නොවලක්වා මා ළඟට එන්ට ඉඩහරින්න. මක්නිසාද ස්වර්ගරාජ්‍යය මෙබඳුවන්ගේයයි කීසේක. 15 උන්වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් පිටත්ව ගියසේක.

පොහොසත් යෞවනයා

16 බලව, එක්තරා කෙනෙක් උන්වහන්සේ ළඟට ඇවිත්: ආචාරීන්වහන්ස, සදාකාල ජීවනය ලබාගන්න පිණිස මොන යහපත් දෙයක් කරම්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. 17 උන්වහන්සේද: නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක. 18 ඒ කොයි ඒවාදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසුවේය. යේසුස්වහන්සේ කියනසේක්: මිනී නොමරව, කාමමිථ්‍යාචාරය නොකරව, සොරකම් නොකරව, බොරු සාක්ෂි නොකියව, 19 නුඹේ පියාටත් මවුටත් ගෞරවකරව; තමාට මෙන් තමාගේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේවායයි කීසේක. 20 යෞවනයාද: මේ සියල්ල රක්ෂාකෙළෙමි. තව මට අඩු කිමෙක්දැයි උන්වහන්සේගෙන් ඇසුවේය. 21 යේසුස්වහන්සේද: නුඹ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් නුඹ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී නුඹට වස්තු ලැබෙන්නේය. නුඹ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක. 22 නුමුත් යෞවනයා ඒ කීම අසා, තමා බොහෝ සම්පත් ඇති කෙනෙක්ව සිටි බැවින්, ශෝකයෙන් යන්ට ගියේය.

වස්තුව අන්තරා සහිත බව

23 එවිට යේසුස්වහන්සේ ගෝලයන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි-ධනවන්තයෙකුට ස්වර්ගරාජ්‍යයට ඇතුල්වීම අමාරුය. 24 නැවතත් නුඹලාට කියමි-ධනවන්තයෙක් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙනාවට වඩා ඔටුවෙකුට ඉදිකටුවක සිදුරෙන් යන්ට පහසුයයි කීසේක. 25 ගෝලයෝ ඒ අසා ඉතා විස්මපත්ව: එසේවී නම් ගැළවෙන්ට පුළුවන් කාටදැයි කීවෝය. 26 යේසුස්වහන්සේ ඔවුන් දෙස බලමින්: ඒක මනුෂ්‍යයන්ට නම් නුපුළුවන; නුමුත් දෙවියන්වහන්සේට සියල්ලම පුළුවනැයි කීසේක. 27 එවිට පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: අපි සියල්ල අත්හැර ඔබවහන්සේ අනුව ආවෙමුව; එබැවින් අපට ලැබෙන්නේ කුමක්දැයි උන්වහන්සේට කීවේය. 28 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි–අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩහිඳින කල, මා අනුව ආවාවූ නුඹලාත් ඉශ්‍රායෙල්ගේ ගෝත්‍රයන් දොළොස විනිශ්චයකරමින් සිංහාසන දොළොසක් පිට හිඳින්නහුය. 29 ඇරත් මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ පියා හෝ මවු හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියාවූ යමෙක් ඇද්ද, ඔහු සියක් ගුණයක් ලබන්නේය, සදාකාල ජීවනයටත් උරුමක්කාරයා වන්නේය. 30 නුමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝද අන්තිමයෝ ප්‍රථමයෝද වන්නෝයයි කීසේක.

20

මිදිවත්තේ වැඩකාරයන් ගැන උපමාව

1 මක්නිසාද තමාගේ මිදිවත්තට වැඩකාරයන් කුලියට ගන්නා පිණිස අලුයම පිටත්ව ගිය ගෙදර ස්වාමියෙකුට ස්වර්ගරාජ්‍යය සමානය. 2 ඔහු දවසකට මස්සක් බැගින් දෙන ලෙස වැඩකාරයන් සමඟ පොරොන්දුව, තමාගේ මිදිවත්තට ඔවුන් යැවීය. 3 ඔහු තුන්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, වෙළඳාම්පළේ නිකම් සිටින තවත් අය දැක: 4 නුඹලාත් මිදිවත්තට යන්න, ලැබිය යුතු කුලිය නුඹලාට දෙමියි කීවේය. ඔව්හුද ගියෝය. 5 නැවත ඔහු හවෙනි සහ නවවෙනි පැය පමණේදීත් පිටත්ව ගොස් එසේම කෙළේය. 6 එකොළොස්වෙනි පැය පමණේදීත් පිටත්ව ගොස්, එහි තවත් අය සිටිනවා දැක: නුඹලා මෙතැන දවස මුළුල්ලේ නිකම් සිටින්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවේය. 7 කිසිවෙකු විසින් අප කුලියට නොගත් නිසායයි ඔව්හු කීවෝය. එවිට ඔහු: නුඹලාත් මිදිවත්තට යන්නැයි ඔවුන්ට කීවේය. 8 සවස්වූ කල මිදිවත්තේ ස්වාමියා තමාගේ ගබඩාකාරයාට කථාකොට: වැඩකාරයන් කැඳවා අන්තිමයන්ගෙන් පටන්ගෙන පළමුවෙනියන් දක්වා ඔවුන්ට කුලිය දෙන්නැයි කීවේය. 9 එවිට එකොළොස්වෙනි පැය පමණේදී කුලියට ගන්නාලද අය ඇවිත් එක එකා මස්සක් බැගින් ලැබුවෝය. 10 පළමුවෙනියෝ ඇවිත්, තමුන්ට වැඩියෙන් ලැබේයයි සිතුවෝය; නුමුත් ඔව්හුද එක එකා මස්සක් බැගින්ම ලැබුවෝය. 11 එය ලැබූ කල ඔව්හු ගෙදර ස්වාමියාට විරුද්ධව කොඳුරමින්: 12 මේ අන්තිමයෝ එක පැයක් පමණ වැඩකළෝය, නුමුත් ඔබ දවසේ බරත් අව්රස්නයත් දැරුවාවූ අපට ඔවුන් සමානකෙළෙහියයි කීවෝය. 13 එහෙත් ඔහු ඔවුන්ගෙන් එක්කෙනෙකුට උත්තරදෙමින්: යහළුව, මා නුඹට අයුත්තක් කරනවා නොවේ. නුඹ මා සමඟ මස්සකට පොරොන්දුවුණා නොවේද? 14 නුඹ සන්තක දේ රැගෙන යන්න; නුඹට දුන් හැටියටම මේ අන්තිමයාටත් දෙන්ට කැමැත්තෙමි. 15 මා සන්තක දෙයින් මාගේ කැමැත්ත කිරීම යුතු නැද්ද? මා යහපත් නිසා නුඹේ ඇස නපුරුදැයි කීවේය. 16 මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝද ප්‍රථමයෝ අන්තිමයෝද වන්නෝයයි කීසේක.

යේසුස්වහන්සේ තුන්වෙනි වර තමන් මරණය ගැන කලින් කීම

17 යේසුස්වහන්සේ යෙරුසලමට යන කල ගෝලයන් දොළොස්දෙනා වෙන්කොටගෙන මගදී ඔවුන්ට කථාකොට: 18 අපි යෙරුසලමට යමුව; මනුෂ්‍ය පුත්‍රයා නායක පූජකයන්ටත් ලියන්නන්ටත් පාවාදෙනු ලබන්නේය; ඔව්හුද ඔහු මරණයට නියමකොට, 19 කවටකම්කිරීමටත් තැළීමටත් කුරුසියෙහි ඇණගැසීමටත් අන්‍යජාතීන්ට පාවාදෙන්නෝය. නුමුත් තුන්වෙනිදා ඔහු නැගුටුවනු ලබන්නේයයි කීසේක.

ලෞකික ගරුබුහුමන් පිළිබඳ ඉල්ලීමක්

20 එකල සෙබදීගේ පුත්‍රයන්ගේ මවු ඇගේ පුත්‍රයන් සමඟ උන්වහන්සේ ළඟට ඇවිත්, නමස්කාරකොට, වරයක් ඉල්ලුවාය. 21 උන්වහන්සේ: නුඹට ඕනෑ කුමක්දැයි ඇගෙන් ඇසූසේක. ඈද: ඔබගේ රාජ්‍යයෙහිදී මේ මාගේ පුත්‍රයන් දෙදෙනාගෙන් එක්කෙනෙක් ඔබගේ දකුණු පැත්තේද එක්කෙනෙක් වම් පැත්තේද හිඳින්ට නියමකළ මැනවයි කීවාය. 22 නුමුත් යේසුස්වහන්සේ උත්තර දෙමින්: නුඹලා ඉල්ලන්නේ කුමක්දැයි නුඹලා දන්නේ නැත. මා බොන්ට යන කුසලානෙන් බොන්ට නුඹලාට පුළුවන්දැයි ඇසූසේක. අපට පුළුවනැයි ඔව්හු උන්වහන්සේට කීවෝය. 23 උන්වහන්සේ ඔවුන්ට කථාකොට: ඒකාන්තයෙන් නුඹලා මාගේ කුසලානෙන් බොන්නහුය. නුමුත් මාගේ දකුණු පැත්තේද වම් පැත්තේද ඉන්ට දීම මට අයිති නැත, එහෙත් මාගේ පියාණන් විසින් ඒවා යමෙකුට නියමකරනලද්දේද ඔවුන්ටයයි කීසේක. 24 එවිට දසදෙන ඒ අසා ඒ සහෝදරයන් දෙදෙනා ගැන කිපුණෝය.

සැබෑ උතුම්කම

25 නුමුත් යේසුස්වහන්සේ ඔවුන් තමන් ළඟට කැඳවා: අන්‍යජාතීන්ගේ ආණ්ඩුකාරයින් ඔවුන් කෙරේ අධිපතිකම් කරන බවත් ඔවුන්ගේ උත්තමයන් ඔවුන් කෙරේ බලය පවත්වන බවත් නුඹලා දනිහුය. 26 නුඹලා අතරේ එසේ නොවන්නේය. නුඹලා අතරේ යමෙක් උතුම්වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ සේවකයා වන්නේය. 27 නුඹලා අතරේ යමෙක් ප්‍රධානියා වෙන්ට කැමති නම් ඔහු නුඹලාගේ දාසයා වන්නේය. 28 එසේම මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට තමන්ගේ ජීවිතය දෙන්ටද ආවේයයි කීසේක.

අන්ධයන් දෙදෙනෙකුගේ ඇස් පෑදවීම

29 ඔවුන් යෙරිකෝවෙන් පිටත්ව යන අතර මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. 30 පාර අද්දර ඉඳගනහුන් අන්ධයන් දෙදෙනෙක් යේසුස්වහන්සේ ඒ ළඟින් යන බව අසා: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි මොරගැසුවෝය. 31 ඔවුන් නිශ්ශබ්දවන පිණිස සමූහයා ඔවුන්ට සැරකළෝය. නුමුත් ඔව්හු: ස්වාමිනි, දාවිත්ගේ පුත්‍රය, අපට කරුණාකළ මැනවයි වඩ වඩා මොරගැසුවෝය. 32 යේසුස්වහන්සේ නැවතී ඔවුන් කැඳවා: මා විසින් නුඹලාට කුමක් කරනවාට කැමතිදැයි ඇසූසේක. 33 ස්වාමිනි, අපේ ඇස් පහදනු ලැබීමටයයි ඔව්හු උන්වහන්සේට කීවෝය. 34 යේසුස්වහන්සේ ඔවුන්ට අනුකම්පාකරමින්, ඔවුන්ගේ ඇස් අතගෑසේක. එවලේම ඔව්හු පෙනීම ලැබ උන්වහන්සේ අනුව ගියෝය.

21

යේසුස්වහන්සේ රජෙකු සේ යෙරුසලමට ඇතුල්වීම

1 ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්: 2 නුඹලා ඉදිරිපිට තිබෙන ගමට යන්න, ගිය කෙණෙහිම එහි කොටළුදෙනක්ද ඈ සමඟ පැටවෙක්ද බැඳ සිටිනවා නුඹලාට සම්බවෙයි. උන් ලිහා මා ළඟට ගෙනෙන්න. 3 යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.

4 මෙසේ වූයේ, බලව, නුඹේ රජ කොටළුවෙකු පිටද, කොටළුවෙකුගේ පැටවාවූ වස්සෙකු පිටද නැගී, මොළොක් ගුණයෙන් යුක්තව නුඹ වෙතට එනසේකැයි සියොන්ගේ දුවට කියන්නැයි

5 අනාගතවක්තෘහු කරණකොටගෙන කියනලද කාරණාව සම්පූර්ණවන පිණිසය. 6 ගෝලයෝ ගොස් යේසුස්වහන්සේ නියමකළ ලෙස කර, 7 කොටළුදෙනත් පැටියත් ගෙනවුත් තමුන්ගේ වස්ත්‍ර උන් පිට එළුවෝය; උන්වහන්සේ ඒ පිට හිඳගත්සේක. 8 සමූහයාගෙන් වැඩිදෙනා තමුන්ගේ වස්ත්‍ර මග අතුළෝය; තවත් සමහරු ගස්වලින් අතු කපා මග අතුළෝය. 9 පෙර පසුව ගිය සමූහයෝ: දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කියාත්, ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශීර්වාදලද්දේය කියාත්, ඉතා උස්තැන්හි හෝසන්නාය කියාත් මොරගැසුවෝය. 10 උන්වහන්සේ යෙරුසලමට ඇතුල්වූ කල මුළු නුවර කැලඹී: මේ කවුදැයි කීවෝය. 11 සමූහයෝද: මුන්වහන්සේ ගලීලයේ නාසරෙත් නුවර අනාගතවක්තෘවූ යේසුස්වහන්සේයයි කීවෝය.

දේවමාළිගාව පවිත්‍රකිරීම

12 යේසුස්වහන්සේ දේව මාළිගාවට ඇතුල්ව, මාළිගාවෙහි විකුණමින්ද මිලේට ගනිමින්ද සිටි සියලු දෙන පිටතට එළවා, මිල මාරුකරන්නන්ගේ මේසද පරෙවියන් විකුණන්නන්ගේ ආසනද පෙරළාදමා: 13 මාගේ ගෘහය යාච්ඤා ගෘහයක්ය කියනු ලබන්නේයයි ලියා තිබේ. නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කරතියි ඔවුන්ට කීසේක. 14 අන්ධයෝද කොරුද දේවමාළිගාවෙහි උන්වහන්සේ වෙතට ආවෝය. උන්වහන්සේ ඔවුන්ට සුවකළසේක. 15 එහෙත් නායක පූජකයොත් ලියන්නොත් උන්වහන්සේ කළ පුදුම දේවල්ද දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නාය කිය කියා දේවමාළිගාවේ මොරගසන දරුවන්ද දැක, කිපී: 16 මොවුන් කියන දේ ඔබට ඇසෙනවාදැයි උන්වහන්සේට කීවෝය. යේසුස්වහන්සේද: එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය යන්න නුඹලා කිසිකලක කියෙවුවේ නැද්දැයි ඔවුන්ට කීසේක. 17 උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.

ඵල නැති අත්තික්කා ගහ

18 අලුයම නුවරට නැවත යන අතර උන්වහන්සේට බඩගිනිවිය. 19 උන්වහන්සේ පාර අද්දර තිබෙන අත්තික්කා ගහක් දැක ළඟට ගොස්, එහි කොළ මිස වෙන කිසිවක් නොදැක: මෙතැන් පටන් කිසිකලක නුඹෙන් ඵල හට නොගනීවයි ඒ ගහට කීසේක. අත්තික්කා ගහ වහාම වියළුණේය. 20 ගෝලයෝ ඒ දැක: අත්තික්කා ගහ වහාම වියළුණේ කෙසේද කියා මවිතවූවෝය. 21 යේසුස්වහන්සේ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–නුඹලා සැක නොකොට, ඇදහිල්ල ඇතුව සිටිනවානම්, අත්තික්කා ගහට කළ දේ නුඹලා කරනවා පමණක් නොව: ඉදිරි මුහුදේ වැටෙවයි මේ කන්දට කීවත් එය සිද්ධ වන්නේය. 22 තවද නුඹලා ඇදහිල්ල ඇතුව යාච්ඤාවෙන් ඉල්ලන කොයි දෙයක් නුමුත්, ඒ සියල්ල නුඹලාට ලැබේයයි ඔවුන්ට කීසේක.

යේසුස්වහන්සේ ගේ බලය ගැන ප්‍රශ්නකිරීම

23 උන්වහන්සේ දේවමාළිගාවට ඇතුල්ව උගන්වමින් සිටියදී නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද උන්වහන්සේ ළඟට ඇවිත්: නුඹ මේ දේ කරන්නේ මොන බලයකින්ද? මේ බලය නුඹට දුන්නේ කවුදැයි ඇසුවෝය. 24 යේසුස්වහන්සේ උත්තරදෙමින්: මමත් නුඹලාගෙන් එක ප්‍රශ්නයක් අසමි-නුඹලා ඒක මට කියන්නහුනම් මමද මේ කාරණා අසවල් බලයෙන් කරමියි නුඹලාට එසේම කියන්නෙමි. 25 යොහන්ගේ බව්තීස්මය වූයේ කොතැනින්ද? ස්වර්ගයෙන්ද? නොහොත් මනුෂ්‍යයන්ගෙන්දැයි ඇසූසේක. ඔව්හු තම තමුන් අතරේ කථාකරගෙන: ස්වර්ගයෙනැයි කියමු නම්, ඔහුව අදහා නොගත්තේ මක්නිසාදැයි අපෙන් අසනවා ඇත. 26 මනුෂ්‍යයන්ගෙනැයි කියමු නම්, යොහන් අනාගතවක්තෘ කෙනෙකු කොට සියල්ලන් විසින් සලකන හෙයින් අපි සමූහයාට භයයයි කියා: 27 අපි නොදනිමුයයි යේසුස්වහන්සේට උත්තරදුන්නෝය. උන්වහන්සේද: මේ දේවල් අසවල් බලයෙන් කරමියි මමත් නුඹලාට නොකියමියි ඔවුන්ට කීසේක.

පුත්‍රයන් දෙදෙනා ගැන උපමාව

28 නුමුත් නුඹලා සිතන්නේ කුමක්ද? එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයන් දෙදෙනෙක් සිටියෝය; ඔහු පළමුවෙනියා ළඟට ඇවිත්: පුත්‍රය, ගොස් අද මිදිවත්තේ වැඩකරන්නැයි කීවේය. 29 ඔහු උත්තරදෙමින්: නොයමියි කීවේය; නුමුත් පසුව පසුතැවිලිවී ගියේය. 30 ඔහු දෙවෙනියා ළඟට ඇවිත් එසේම කීවේය. ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, යමියි කීවේය; නුමුත් ගියේ නැත. 31 ඒ දෙදෙනාගෙන් පියාගේ කැමැත්ත කළේ කවුදැයි ඇසූසේක. පළමුවෙනියායයි ඔව්හු කීවෝය. යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: සැබවක් නුඹලාට කියමි, සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් නුඹලාට පළමුවෙන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල්වෙති. 32 මක්නිසාද යොහන් ධර්මිෂ්ඨකම නමැති මාර්ගයෙන් නුඹලා ළගට ආවේය, එහෙත් නුඹලා ඔහු අදහා නොගත්තහුය. නුමුත් සුංගම් අයකරන්නොත් වේශ්‍යාවොත් ඔහු අදහාගත්තෝය. නුඹලා ඒ දැකත් ඔහු අදහාගන්න පිණිස පසුවවත් පසුතැවිලිවුණේ නැත.

මිදිවත්ත ගැන උපමාව

33 තවත් උපමාවක් අසන්න: එක් ගෙදර ස්වාමියෙක් මිදිවත්තක් වවා, වටේට වැට බැඳ, එහි මුද්‍රික යන්ත්‍රයක් හාරා තබා, කොතක් බැඳ ගොවීන්ට බදුදී, වෙන රටකට ගියේය. 34 ඵල නෙළන කාලය ළංවූ කල තමාට අයිති ඵල ලබාගන්නා පිණිස ඔහු තමාගේ දාසයන් ගොවීන් වෙතට යැවීය. 35 එවිට ගොවියෝ ඔහුගේ දාසයන් අල්ලා, එකෙකුට ගැසුවෝය, එකෙකු මැරුවෝය, තවත් කෙනෙකුට ගල් ගැසුවෝය. 36 නැවතත් ඔහු පළමුවෙනි අයට වඩා වැඩි ගණනක් වෙන දාසයන් යැවීය. ඔව්හු ඔවුන්ටත් එසේම කළෝය. 37 පසුව ඔහු: මාගේ පුත්‍රයාට ඔවුන් ගෞරවකරනවා ඇත කියා, තමාගේ පුත්‍රයා ඔවුන් ළඟට යැවීය. 38 නුමුත් ගොවියෝ පුත්‍රයා දැක: මොහු උරුමක්කාරයාය; එන්න, මොහු මරා මොහුගේ උරුමය ගනිමුයයි ඔවුනොවුන් කථාකොට, 39 ඔහු අල්ලා මිදිවත්තෙන් පිටතට දමා මැරුවෝය. 40 එබැවින් මිදිවත්තේ ස්වාමියා ආ කල ඒ ගොවීන්ට කුමක් කරන්නේදැයි ඇසූසේක. 41 ඔව්හු කථාකොට: ඔහු ඒ නපුරු මනුෂ්‍යයන් භයානකලෙස විනාශකොට, නියම කාලවලදී තමාගේ ඵල කොටස දෙන්නාවූ වෙන ගොවීන්ට තමාගේ මිදිවත්ත භාරදෙන්නේයයි කීවෝය. 42 යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්:

42 ගෙවල් සාදන්නන් විසින් එපාකළ ගලම කොනෙහි ප්‍රධාන ගල කරනු ලැබීය.
42 මෙය ස්වාමීන්වහන්සේ කෙරෙන් විය, අපේ ඇස්වලට ඒක ආශ්චර්යයක්ය

42 යනු ශුද්ධ ලියවිලිවල නුඹලා කිසිකලක කියෙවුවේ නැද්ද? 43 එබැවින් නුඹලාට මම කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යය නුඹලාගෙන් අහක්කොට එහි ඵල උපදවන ජාතියකට දෙනු ලබන්නේය. 44 මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක. 45 නායක පූජකයොත් ඵරිසිවරුත් උන්වහන්සේගේ උපමා අසා, ඒවා තමුන් ගැන කී බව දැන, 46 උන්වහන්සේ අල්ලන්ට සෙවුවෝය. නුමුත් උන්වහන්සේ අනාගතවක්තෘ කෙනෙකැයි සමූහයා සැලකූ නිසා ඔවුන්ට භයවූවෝය.

22

සරණ මංගල්‍යය පිළිබඳ උපමා කථාව

1 යේසුස්වහන්සේ උත්තර දෙමින් නැවතත් උපමාවලින් කථාකොට: 2 තමාගේ පුත්‍රයාට සරණමංගල්‍යයක් පිළියෙළකළ එක්තරා රජෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ. 3 ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබූවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යැවුවේය. නුමුත් ඔව්හු එන්ට අකැමැතිවූවෝය. 4 නැවතත් ඔහු වෙන දාසයන් යවමින්: මෙන්න, මාගේ කෑම පිළියෙළකර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරනලද්දෝය, සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්නය කියා ආමන්ත්‍රණය ලැබූ අයට කියන්නැයි කීවේය. 5 නුමුත් ඔව්හු ඒ නොසලකා, එක්කෙනෙක් තමාගේම කෙතටත්, අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය. 6 සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, නිග්‍රහකොට, මැරුවෝය. 7 රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය. 8 එවිට ඔහු තමාගේ දාසයන්ට කථාකොට: මංගල්‍යය සූදානම්කර තිබේ, නුමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුස්සෝ නොවෙති. 9 ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය. 10 ඒ දාසයෝ මහ මාවත් වලට ගොස් තමුන්ට සම්බවූ යහපත් අයහපත් සියල්ලන් රැස්කළෝය. අමුත්තන්ගෙන් මංගල්‍ය ශාලාව පිරුණේය. 11 එහෙත් රජ්ජුරුවෝ අමුත්තන් දකින්ට පැමිණි කල, එහි මංගල්‍ය වස්ත්‍රයක් නෑඳ සිටි මනුෂ්‍යයෙකු දැක: 12 යහළුව, මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතැනට ආයෙහිදැයි ඔහුට කීහ. ඔහු වාක්රහිත විය. 13 එවිට රජ්ජුරුවෝ කථාකොට: මොහුගේ අත්පා බැඳ, මොහු පිටත අන්ධකාරයෙහි දමන්න; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි සේවකයන්ට කීවේය. 14 මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි කීසේක.

ආදායම් සම්බන්ධ ප්‍රශ්නයක්

15 එවිට ඵරිසිවරු ගොස්, කථාවෙන් උන්වහන්සේ කෙසේ අසුකරගනිමුදැයි මන්ත්‍රණයකළෝය. 16 ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමුන්ගේ ගෝලයන් උන්වහන්සේ ළඟට යැවුවෝය. ඔව්හුද: ආචාරීන්වහන්ස, ඔබ සැබෑ කෙනෙක් බවත්, දෙවියන්වහන්සේගේ මාර්ගය සැබෑලෙස උගන්වන බවත්, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොසලකන බවත් දනිමු. 17 එබැවින් ඔබ සිතන්නේ කුමක්ද? කායිසර්ට ආදායම් දීම යුතුද අයුතුද කියා අපට කිව මැනවයි කීවෝය. 18 නුමුත් යේසුස්වහන්සේ ඔවුන්ගේ දුෂ්ටකම දැන: වංචාකාරයෙනි, නුඹලා මා පරීක්ෂාකරන්නේ මක්නිසාද? 19 ආදායම් මිලය මට පෙන්වන්නැයි කීසේක. ඔව්හු මස්සක් උන්වහන්සේ ළඟට ගෙනාවෝය. 20 මේ රූපයත් සටහනත් කාගේදැයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. 21 කායිසර්ගේයයි ඔව්හු කීවෝය. එවිට උන්වහන්සේ: එබැවින් කායිසර්ගේ දේ කායිසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් දෙන්නැයි ඔවුන්ට කීසේක. 22 ඔව්හු ඒ අසා මවිතව, උන්වහන්සේ අත්හැර ගියෝය.

නැවත-නැගිටීම ගැන ප්‍රශ්නයක්

23 නැවත–නැගිටීමක් නැතැයි කියන සද්දුසිවරු එදා උන්වහන්සේ වෙතට ඇවිත්: 24 ආචාරීන්වහන්ස, යමෙකු දරුවන් නොලැබ මළොත්, ඔහුගේ සහෝදරයා විසින් ඔහුගේ භාර්යාව සරණ පාවාගෙන, සහෝදරයා නමට දරුවන් උපදවන්ට ඕනෑයයි මෝසෙස් විසින් කියා තිබේ. 25 අප අතරේ සහෝදරයෝ සත්දෙනෙක් සිටියෝය. පළමුවෙනියා භාර්යාවකු සරණපාවාගෙන දරුවන් නොලැබ මැරුණු බැවින් ඔහුගේ භාර්යාව සහෝදරයාට වූවාය. 26 දෙවෙනි තුන්වෙනි සත්වෙනි තැනැත්තා දක්වාත් එසේම වූයේය. 27 සියල්ලන්ට පසු ස්ත්‍රීද නැසුණාය. 28 සියල්ලන්ම ඈ සරණ පාවාගත් හෙයින්, නැවත–නැගිටීමේදී ඈ ඒ සත්දෙනාගෙන් කාගේ භාර්යාව වන්නීදැයි ඇසුවෝය. 29 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා ශුද්ධලියවිලිවත් දෙවියන්වහන්සේගේ බලයවත් නොදැන, වරද්දාගනිහුය. 30 මක්නිසාද නැවත–නැගිටීමේදී ඔවුන් සරණපාවාගන්නේවත් සරණපාවා දෙන්නේවත් නැත, එහෙත් ස්වර්ගයෙහි දේවදූතයන් හා සමාන වෙති. 31 නුමුත් මළවුන්ගේ නැගිටීම සම්බන්ධව නම්: මම ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය, ඊසාක්ගේ දෙවියන්වහන්සේය, යාකොබ්ගේ දෙවියන්වහන්සේයයි දෙවියන්වහන්සේ නුඹලාට කී බව නුඹලා කියෙවුවේ නැද්ද? 32 දෙවියන්වහන්සේ මළවුන්ගේ නොව ජීවතුන්ගේ දෙවියන්වහන්සේයයි කීසේක. 33 සමූහයෝ ඒ අසා, උන්වහන්සේගේ ඉගැන්වීම ගැන විස්මපත්වූවෝය.

ඉතා උතුම් ආඥාව ගැන ප්‍රශ්නයක්

34 උන්වහන්සේ සද්දුසිවරුන් නිශ්ශබ්දකළ බව ඵරිසිවරු අසා, එකට රැස්වූවෝය. 35 ඔවුන් අතරෙන් ව්‍යවස්ථාව උගන්වන්නෙක් උන්වහන්සේ පරීක්ෂාකරමින්: 36 ආචාරිනි, ව්‍යවස්ථාවෙහි ඉතා උතුම් ආඥාව කොයි එකදැයි ඇසුවේය. 37 උන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව. 38 මේක උතුම්වූ පළමුවෙනිවූ ආඥාවය. 39 මෙය හා සමාන දෙවෙනි එකක් තිබේ, එනම්, නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව යනුය. 40 මේ ආඥා දෙක පිට මුළු ව්‍යවස්ථාවත් අනාගතවාක්‍යයත් පිහිටා තිබේයයි කීසේක.

මෙසියස්වහන්සේ ගැන ප්‍රශ්න විචාරීමක්

41 ඵරිසිවරු රැස්ව සිටියදී යේසුස්වහන්සේ කථාකොට: 42 ක්‍රිස්තුස් ගැන නුඹලා කුමක් සිතවුද? උන්වහන්සේ කාගේ පුත්‍රයාදැයි ඇසූසේක. දාවිත්ගේ පුත්‍රයායයි ඔව්හු කීවෝය. 43 උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: එසේවී නම් ආත්මයාණන් කරණකොටගෙන දාවිත් කථාකරමින්:

44 මා විසින් නුඹේ සතුරන් නුඹේ පාද

44 යට දමන තෙක් මාගේ දකුණු පැත්තෙහි හිඳගන්නැයි ස්වාමීන්වහන්සේ මාගේස්වාමීන්වහන්සේටකීසේකැයි

44 කියමින්, උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ කෙලෙසද? 45 මෙසේ දාවිත් උන්වහන්සේට ස්වාමීන්වහන්සේයයි කියන්නේ නම්, උන්වහන්සේ ඔහුගේ පුත්‍රයා වන්නේ කෙසේදැයි ඇසූසේක. 46 උන්වහන්සේට වචනයක්වත් කියා උත්තරදෙන්ට කිසිවෙකුට නුපුළුවන්විය, එදා පටන් උන්වහන්සේගෙන් තවත් ප්‍රශ්න අසන්ට කිසිවෙකුට ධෛර්ය තිබුණෙත් නැත.

23

ලියන්නන්ටත් ඵරිසිවරුන්ටත් දුක්වේයයි කීම

1 එකල යේසුස්වහන්සේ සමූහයන්ටත් තමන් ගෝලයන්ටත් කථාකොට: 2 ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති. 3 එබැවින් ඔවුන් නුඹලාට අණකරන සියල්ල ඉෂ්ටකර පවත්වන්න. නුමුත් ඔවුන්ගේ ක්‍රියා ලෙස නොකරන්න; මක්නිසාද ඔවුන් කියනවා මිස කරන්නේ නැත. 4 එසේය, ඔව්හු උසුලන්ට අමාරු මහත් බර බැඳ මනුෂ්‍යයන්ගේ කරේ තබති; නුමුත් තමුන්ගේ ඇඟිල්ලවත් ඒවාට තබන්ට කැමති නොවෙති. 5 ඔවුන් කරන සියල්ලම කරන්නේ මනුෂ්‍යයන්ට පෙනෙන පිණිසය. ඔව්හු තමුන්ගේ පිලාක්තරි පළල්කර (තමුන්ගේ වස්ත්‍රවල) දාවලු මහත් කරති, 6 මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද, 7 වෙළඳාම්පළවලදී ආචාර ලැබීමටද මනුෂ්‍යයන් විසින් රබ්බියි කියනු ලැබීමටද කැමතිවෙති. 8 නුමුත් නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන්වහන්සේ එක්කෙනෙක්මය, නුඹලා සියල්ලෝම සහෝදරයෝය. 9 පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින උන්වහන්සේමය. 10 නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය. එනම් ක්‍රිස්තුස්වහන්සේය. 11 නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය. 12 තමාම උසස්කරගන්න කවරෙක් නුමුත් පහත්කරනු ලබන්නේය; තමාම පහත්කරගන්න කවරෙක් නුමුත් උසස්කරනු ලබන්නේය.

13 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා මනුෂ්‍යයන්ට එන්ට නොදී ස්වර්ගරාජ්‍යය වසා, නුඹලාම ඇතුල්වෙන්නේවත් ඇතුල්වෙමින් සිටින්නන්ට ඇතුල්වෙන්ට ඉඩදෙන්නේවත් නැත.

15 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා එක්කෙනෙකු හරවාගන්න පිණිස මුහුදත් ගොඩත් හැමතැනම ඇවිදින්නහුය; හරවාගත්තාම, නුඹලාටත් වඩා දෙගුණයක් ඔහු නිරයේ පුත්‍රයෙකු කරන්නහුය.

16 අන්ධවූ මග පෙන්වන්නෙනි, නුඹලාට දුක්වේ! මක්නිසාද: යමෙක් දේවමාළිගාව ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් දේවමාළිගාවේ රන් ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය. 17 අඥානයෙනි, අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? රන්ද? රන් විශුද්ධකළ දේවමාළිගාවද? 18 තවද: යමෙක් පූජාසනය ගැන දිවුළොත් එයින් කාරියක් නැත කියාද යමෙක් ඒ පිට තිබෙන පඬුර ගැන දිවුළොත් ඔහු බැඳී සිටීය කියාද නුඹලා කියන්නෝය. 19 අන්ධයෙනි, වඩා උතුම් කොයි එකද? පඬුරද? පඬුර විශුද්ධකරන පූජාසනයද? 20 එබැවින් පූජාසනය ගැන දිවුරන්නා ඒ ගැනද ඒ පිට තිබෙන සියල්ල ගැනද දිවුරන්නේය. 21 දේවමාළිගාව ගැන දිවුරන්නා ඒ ගැනද එහි වසන තැනන්වහන්සේ ගැනද දිවුරන්නේය. 22 ස්වර්ගය ගැන දිවුරන්නාද දෙවියන්වහන්සේගේ සිංහාසනය ගැනත් එහි වැඩ හිඳින තැනන්වහන්සේ ගැනත් දිවුරන්නේය.

23 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුවඳතලාය, ශතපුෂ්පය, සුදුදුරුය යන මෙයින් දසයෙන් කොටසක් දෙන්නහුය, නුමුත් යුක්තියත් දයාවත් විශ්වාසකමත් යන ව්‍යවස්ථාවේ වඩා වැදගත් කාරණා නුඹලා විසින් අත්හැර තිබේ. ඒ දේවලුත් නෑර මේවාත් කටයුතුව තිබුණේය. 24 අන්ධවූ මගපෙන්වන්නෙනි, නුඹලා මදුරුවා බේරාදමා ඔටුවා ගිලගන්නහුය.

25 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා කුසලානද තැටියද පිටින් පවිත්‍රකරන්නහුය, නුමුත් ඇතුළේ ඒවා කොල්ල කෑමෙනුත් තෘෂ්ණාධිකකමෙනුත් පිරී තිබේ. 26 අන්ධවූ එරිසිය, කුසලානත් තැටියත් පිටින් පවිත්‍රවන පිණිස පළමුකොට ඒවායේ ඇතුළ පවිත්‍රකරන්න.

27 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ. 28 එසේම නුඹලාත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.

29 ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා අනාගතවක්තෘවරුන්ගේ සොහොන් ගෙවල් සාදා, ධර්මිෂ්ඨයන්ගේ සොහොන් කොත් හරහා: 30 අපේ පියවරුන්ගේ කාලයේදී අපි සිටියෙමු නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට ඔවුන් සමඟ හවුල්කාරයෝ නොවන්නෙමුයයි කියන්නහුය. 31 මෙසේ නුඹලා අනාගතවක්තෘවරුන් මැරූවන්ගේ පුත්‍රයෝයයි නුඹලාම සාක්ෂිදෙන්නහුය. 32 නුඹලාත් නුඹලාගේ පියවරුන්ගේ මිම්ම පූර්ණකරන්න. 33 සර්පයෙනි, පොළොංවංශයෙනි, නුඹලා නිරයේ දඬුවමින් කෙසේ ගැළවෙන්නහුද? 34 එබැවින් මම අනාගතවක්තෘවරුන්ද ප්‍රඥාවන්තයන්ද ලියන්නන්ද නුඹලා ළඟට එවමි. නුඹලා ඔවුන්ගෙන් සමහරෙකු මරන්නහුය, කුරුසියෙහි ඇණගසන්නහුය; සමහරෙකුට නුඹලාගේ සිනගෝ වලදී තළා, ඔවුන් නුවරින් නුවරට එළවමින් පීඩාකරන්නහුය. 35 මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය. 36 සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල මේ පරම්පරාව පිටට පැමිණෙන්නේය.

යෙරුසලම සඳහා දුක්වීම

37 අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත. 38 බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ. 39 මක්නිසාද නුඹලාට කියමි: ස්වාමීන්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තා ආශීර්වාදලද්දේයයි නුඹලා කියන තෙක් මෙතැන් පටන් නුඹලා මා දකින්නේ නැතැයි කීසේක.

24

දේවමාළිගාවේ විනාශය හා ලෝකාන්තිමය පිළිබඳ අනාගත කීම

1 යේසුස් වහන්සේ දේව මාළිගාවෙන් නික්ම යන කල මාළිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය. 2 නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: මේ සියල්ල නුඹලාට පෙනෙනවා නොවේද? සැබවක් නුඹලාට කියමි–කඩාදමනු නොලැබ ගලක් පිට ගලක් මෙහි ඉතුරු නොවන්නේයයි කීසේක.

3 උන්වහන්සේ ඔලීව කන්දේ වැඩහුන් කල ගෝලයෝ තනිව උන්වහන්සේ ළඟට ඇවිත්: ඒ දේ කොයි කලෙක සිද්ධවන්නේද? ඔබවහන්සේගේ ඊමටත් ලෝකාන්තිමයටත් ලකුණු කිමෙක්දැයි අපට කිව මැනවයි කීවෝය. 4 යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: කිසිවෙක් නුඹලා මුළා නොකරන ලෙස බලාගන්න. 5 මක්නිසාද බොහෝ දෙනෙක්: මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුළා කරන්නෝය. 6 යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැලඹෙන්ට බලාගන්න. මක්නිසාද මේ සියල්ල සිදුවන්ට ඕනෑය; නුමුත් ඒ වන තුරුත් අන්තිමය නොපැමිණෙන්නේය. 7 මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත. 8 මේ සියල්ල වනාහි ගාවිනාවල පටන්ගැන්මය. 9 එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය. නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය. 10 එකල බොහෝ දෙනෙක් බාධාවට පැමිණ ඔවුනොවුන් පාවාදෙන්නෝය, ඔවුනොවුන්ට වෛරවන්නෝය. 11 නොයෙක් බොරු අනාගතවක්තෘවරු නැගිට බොහෝ දෙනෙකු මුළාකරන්නෝය. 12 අධර්මිෂ්ඨකම බෝවෙන බැවින් බොහෝ දෙනාගේ ප්‍රේමය හීනවන්නේය. 13 නුමුත් අන්තිමය දක්වා ස්ථීරව සිටින්නාම ගැළවෙන්නේය. 14 රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.

15 එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා නුඹලා යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා), 16 එකල යුදයේ සිටින්නෝ කඳුවලට පලායෙත්වා. 17 ගේ උඩ සිටින්නා තමාගේ ගෙයි තිබෙන දේ ගන්ට නොබසීවා. 18 කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍රය ගන්ට ආපසු හැරී නොඒවා. 19 නුමුත් ඒ දවස්වල ගර්භිණීන්ටත් කිරිදෙන ස්ත්‍රීන්ටත් දුක්වේ. 20 නුඹලාගේ පලායාම ශීත කාලයේවත් සබත් දවසකවත් නොවන ලෙස යාච්ඤාකරන්න. 21 මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය. 22 ඒ දවස් ලුහුඬු නොකරනලද්දේ වීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය. 23 එකල යමෙක් කථාකොට: බලව, ක්‍රිස්තුස්වහන්සේ මෙතනය නොහොත් එතනයයි නුඹලාට කියන්නේ නම් විශ්වාස නොකරන්න. 24 මක්නිසාද බොරු ක්‍රිස්තුවරුද බොරු අනාගතවක්තෘවරුද නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබූවන් පවා මුළා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. 25 බලව, මම නුඹලාට කලින් කීවෙමි. 26 එබැවින් ඔව්හු නුඹලාට කථාකොට: අන්න, උන්වහන්සේ වනාන්තරයෙහි සිටිනසේකැයි කියත් නම්, පිටත්ව නොයන්න. උන්වහන්සේ ඇතුල් ගෙවල සිටිනසේකැයි කියත් නම්, විශ්වාස නොකරන්න. 27 මක්නිසාද යම්සේ විදුලිය පෙරදිගින් නික්ම අපරදිග දක්වා පෙනේද, මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එසේම වන්නේය. 28 යම් තැනක මළකුණ ඇත්තේද එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය.

29 තවද ඒ දවස්වල පීඩා පසුවූ කෙනෙහිම, ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය. 30 එකල මනුෂ්‍ය පුත්‍රයාගේ ලකුණ අහසේ පෙනෙන්නේය. එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය, ඔව්හු මනුෂ්‍ය පුත්‍රයා බලයෙන්ද මහත් තේජසින්ද අහසේ වලාකුල් පිට එනවා දකින්නෝය. 31 උන්වහන්සේ මහත් හොරණෑ ශබ්දයක් ඇතුව තමන් දූතයන් එවනසේක, ඔව්හු අහසේ එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා සතර දිගින්ම උන්වහන්සේගේ තෝරාගත්තවුන් රැස්කරන්නෝය.

අවදිව සූදානම්ව සිටිය යුතු බව

32 අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අතු මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. 33 එසේම නුඹලා මේ සියල්ල දකින කල, උන්වහන්සේ දොරටු සමීපයෙහිම බවත් දැනගන්න. 34 සැබවක් නුඹලාට කියමි–මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. 35 අහසත් පොළොවත් පහවන්නේය, නුමුත් මාගේ වචන පහ නොවන්නේය. 36 නුමුත් ඒ දවස හා පැය මාගේ පියාණන්වහන්සේ මිස දන්නා කෙනෙක් නැත; ස්වර්ගයෙහි දේවදූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. 37 නෝවාගේ දවස් මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් වන්නේය. 38 මක්නිසාද ජලගැලීමට පළමු දවස්වලදී, නෝවා නැවට ඇතුල්වු දවස දක්වා, ඔව්හු කමින් බොමින්, සරණපාවාගනිමින්, සරණපාවාදෙමින් සිටියෝය. 39 ජලගැල්ම පැමිණ සියල්ලන්ම ගසාගෙන යනතුරු ඔව්හු නොදැන සිටියෝය; මනුෂ්‍ය පුත්‍රයාගේ ඊමත් එලෙසම වන්නේය. 40 එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත; එක්කෙනෙක් ගනු ලබන්නේය, එක්කෙනෙක් අත්හරිනු ලබන්නේය. 41 ස්ත්‍රියන් දෙදෙනෙක් ඇඹරුම්ගලේ අඹරමින් සිටිනවා ඇත; එක් තැනැත්තියක් ගනු ලබන්නීය, එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නීය. 42 එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ එනසේක්දැයි නුඹලා දන්නේ නැත. 43 නුමුත් සොරා කොයි යාමයේ එන්නේදැයි ගෙයි ස්වාමියා දැනගන සිටියේ නම්, ඔහු අවදිව සිටිමින් තමාගේ ගෙය උමංකණින්ට නොදෙන බව දැනගන්න. 44 එබැවින් නුඹලාත් සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක.

යහපත් දාසයන් සහ අයහපත් දාසයන්ගේ උපමා කථාව

45 ඉඳින් ස්වාමියා විසින් තමාගේ ගෙයිවැසියන්ට නියම වේලාවට කෑම දෙන්ට ඔවුන් කෙරෙහි පත්කළ විශ්වාසවූ නුවණ ඇති දාසයා කවුද? 46 ස්වාමියා එන කල යම් දාසයෙකු එසේ කරනවා දක්නේද, ඒ දාසයා ආශීර්වාදලද්දෙක්ය. 47 සැබවක් නුඹලාට කියමි–ඒ ස්වාමියා තමා සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය. 48 නුමුත් ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන, 49 තමාගේ සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්, 50 ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලා නොසිටින දවසක නොදන්නා පැයක ඇවිත්, 51 ඔහුට තදබලලෙස අච්චුකොට, වංචාකාරයන් සමඟ ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේය.

25

කන්‍යාවන් දසදෙනාගේ උපමාව

1 එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් දස දෙනෙකුට ස්වර්ග රාජ්‍යය සමානකරනු ලැබේ. 2 ඔවුන්ගෙන් පස්දෙනෙක් නුවණ නැත්තියෝය, පස්දෙනෙක් නුවණ ඇත්තියෝය. 3 මක්නිසාද නුවණ නැත්තියෝ තමුන්ගේ පහන් ගෙනයද්දී තමුන් සමඟ තෙල් නොගෙනගියෝය. 4 නුමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමඟ තමුන්ගේ භාජනවල තෙල් ගෙනගියෝය. 5 මනමාලයාගේ ඊම ප්‍රමාදවූ කල ඒ සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය. 6 මධ්‍යම රාත්‍රියේ: අන්න, මනමාලයා එනවා! ඔහුගේ පෙරමගට එන්නැයි හඬක් වූයේය. 7 එවිට ඒ සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය. 8 එකල නුවණ නැත්තියෝ: අපේ පහන් නිවීගන යන නිසා නුඹලාගේ තෙලින් අපටත් දෙන්නැයි නුවණ ඇත්තියන්ට කීවෝය. 9 නුමුත් නුවණ ඇත්තියෝ උත්තරදෙමින්: සමහරවිට අපටත් නුඹලාටත් මදිවෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස්, නුඹලාටම මිලේට ගන්නැයි කීවෝය. 10 මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය. 11 පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය. 12 නුමුත් ඔහු උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි, මම නුඹලා නාඳුනමියි කීවේය. 13 එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටින්න.

තලෙන්ත උපමාව

14 කුමක්හෙයින්ද එය වනාහි අන් රටකට යන මනුෂ්‍යයෙක් තමාගේ දාසයන් කැඳවා, ඔවුන්ට තමා සන්තක දේ භාරදෙන්නාක්මෙන්ය. 15 ඔහු එක්කෙනෙකුට තලෙන්ත පහක්ද එක්කෙනෙකුට දෙකක්ද එක්කෙනෙකුට එකක්ද බැගින් එකිනෙකාගේ පුළුවන්කමේ හැටියට දී තමාගේ ගමන ගියේය. 16 තලෙන්ත පහ ලැබූ තැනැත්තේ එවලේම ගොස් එයින් වෙළඳාම්කොට තවත් තලෙන්ත පහක් ඉපදවූයේය. 17 එසේම දෙක ලැබූ තැනැත්තේද තවත් දෙකක් උපදවාගත්තේය. 18 නුමුත් එක ලැබූ තැනැත්තේ ඉවත්ව ගොස් පොළොව හාරා, තමාගේ ස්වාමියාගේ මිල සඟවා තැබුවේය. 19 බොහෝ කලකට පසු ඒ දාසයන්ගේ ස්වාමියා ඇවිත් ඔවුන් සමඟ ගණන් බැලුවේය. 20 එවිට තලෙන්ත පහ ලැබූ තැනැත්තේ තවත් තලෙන්ත පහක් ගෙනැවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත පහක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත පහක් උපදවාගතිමියි කීවේය. 21 ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වූ විශ්වාසවූ දාසය,ඒ යහපත ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය. 22 තලෙන්ත දෙක ලැබූ තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ මට තලෙන්ත දෙකක් භාරදුන්නෙහිය. මෙන්න, තවත් තලෙන්ත දෙකක් උපදවාගතිමියි කීවේය. 23 ඔහුගේ ස්වාමියා ඔහුට කථාකොට: යහපත්වු විශ්වාසවූ දාසය, ඒ යහපත; ස්වල්ප දේ ගැන නුඹ විශ්වාසවූවෙහිය, බොහෝ දේ කෙරෙහි නුඹ අධිපති කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල්වෙන්නැයි ඔහුට කීවේය. 24 එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි. 25 එබැවින් මම භයව ගොස්, ඔබගේ තලෙන්තය පොළොවේ සඟවා තැබීමි, මෙන්න, ඔබ සන්තක දේයයි කීවේය. 26 ඔහුගේ ස්වාමියා ඔහුට උත්තරදෙමින්: දුෂ්ටවූ අලසවූ දාසය, මා නොවපුළ තැනින් කපාගන්න බවත් නොඉස්ස තැනින් රැස්කරගන්න බවත් නුඹ දැනගෙන සිටියෙහිද! 27 එසේ නම් මාගේ මුදල මිල ගනුදෙනුකරන්නන්ට නුඹ විසින් දිය යුතුව තිබුණේය, එවිට මා ආ කල මට අයිති දේ පොළියත් සමඟ ලබන්ට තිබුණේය. 28 එබැවින් ඔහුගෙන් තලෙන්තය හැරගෙන තලෙන්ත දසය ඇත්තාට දෙන්න. 29 මක්නිසාද ඇති තැනැත්තාට දෙනු ලබන්නේය, ඔහුට බොහෝ වන්නේය. නුමුත් නැති තැනැත්තාගෙන් ඔහුට ඇති දේත් පහකරනු ලබන්නේය. 30 ඒ නිෂ්ප්‍රයෝජන දාසයා පිටත අන්ධකාරයෙහි දමන්න. එහිදී හැඬීමත් දත්මිටිකෑමත් වන්නේයයි කීවේය.

විනිශ්චය දවස

31 මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක. 32 එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට, 33 බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක. 34 එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට නුඹලාට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න. 35 මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය; 36 වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක. 37 එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද? 38 කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද? 39 කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත. 40 එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් නුඹලාට කියමි–මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් නුඹලා ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක. 41 එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න. 42 මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. නුඹලා මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. නුඹලා මට බොන්ට නුදුන්නහුය. 43 ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක. 44 එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකෙළෙමුදැයි කියනවා ඇත. 45 එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමි: සැබවක් නුඹලාට කියමි–මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක. 46 මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.

26

යේසුස්වහන්සේ නසන්ට කුමන්ත්‍රණය

1 තවද යේසුස්වහන්සේ මේ සියලු වචන කියා නිමවා තමන්ගේ ගෝලයන්ට කථාකොට: 2 තව දෙදවසකට පසු පාස්කුව පැමිණෙන බව නුඹලා දන්නහුය, මනුෂ්‍ය පුත්‍රයා කුරුසියෙහි ඇණගැසීමට පාවාදෙනු ලැබේයයි කීසේක. 3 එකල නායක පූජකයෝද සෙනඟගේ වැඩිමහල්ලෝද කායාඑස් නම් උත්තම පූජකයාගේ ශාලාවට එකතුව, 4 යේසුස්වහන්සේ ප්‍රයෝගයෙන් අල්ලා මරන්ට මන්ත්‍රණයකළෝය. 5 නුමුත්: සෙනඟ අතරේ කෝලාහලයක් හට නොගන්නා පිණිස මංගල්‍යයේදී නොකරමුයයි කීවෝය.

බෙතානියේදී යේසුස්වහන්සේ ආලේපකරනු ලැබීම

6 යේසුස්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවූ සීමොන්ගේ ගෙදර සිටියදී 7 ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ සුවඳ තෙලින් පිරෙවු සුදු ගල් කරඬුවක් ගෙන උන්වහන්සේ ළඟට ඇවිත්, කෑමට හිඳගන හුන් උන්වහන්සේගේ හිසේ වත්කළාය. 8 නුමුත් ගෝලයෝ ඒ දැක කිපී: මේ නාස්තිය කළේ කුමටද? 9 මක්නිසාද මේ තෙල ලොකු ගණනකට විකුණා දිළිඳුන්ට දෙන්ට පුළුවන්ව තිබුණේයයි කීවෝය. 10 නුමුත් යේසුස්වහන්සේ ඒක දැන: කුමට නුඹලා මේ ස්ත්‍රීට කරදරකරනවාද? ඈ මට යහපත් ක්‍රියාවක් කළාය. 11 මක්නිසාදයත් දිළින්දෝ නුඹලා සමඟ නිතරම සිටිති; නුමුත් මම නුඹලා සමඟ නිතරම නොසිටිමි. 12 ඈ මේ තෙල මාගේ ශරීරයේ වත්කළේ මා තැන්පත්කිරීමට සූදානම් කරන පිණිසය. 13 සැබවක් නුඹලාට කියමි-මේ ශුභාරංචිය ලොව මුළුල්ලේ යම් තැනක ප්‍රකාශකරනු ලබන්නේද එතැනදී මේ ස්ත්‍රිය විසින් කළ මේ ක්‍රියාවත් ඈ සිහිකිරීමක් පිණිස කියනු ලබන්නේයයි කීසේක.

යූදස්ගේ ද්‍රෝහිකාරකම

14 එවිට යූදස් ඉස්කාරියොත් නම් දොළොස්දෙනාගෙන් එක්කෙනෙක් නායක පූජකයන් ළඟට ගොස්: 15 ඔහු නුඹලාට පාවාදෙන්ට නුඹලා මට දෙන්ට කැමති මොනවාදැයි ඇසුවේය. ඔව්හු රිදී මිල තිහක් ඔහුට කිරා දුන්නෝය. 16 එතැන් පටන් ඔහු උන්වහන්සේ පාවාදෙන්ට ප්‍රස්තාවක් සෙවීය.

අන්තිම රාත්‍රි කෑම

17 මුහුන් නොදැමූ රොටි කන පළමුවෙනි දවසේ ගෝලයෝ යේසුස්වහන්සේ ළඟට ඇවිත්: ඔබ පාස්කුව කන පිණිස අප විසින් කොතැන පිළියෙළකරනවාට කැමතිසේක්දැයි ඇසුවෝය. 18 උන්වහන්සේ: නුවර අසවලා ළඟට ගොස් ඔහුට කථාකොට–මාගේ කාලය ආසන්නය; මාගේ ගෝලයන් සමඟ නුඹේ ගෙදරදී පාස්කුව පවත්වමියි ආචාරීන්වහන්සේ කියනසේකැයි ඔහුට කියන්නැයි කීසේක. 19 ගෝලයෝ යේසුස්වහන්සේ ඔවුන්ට අණකළ ලෙස කොට, පාස්කුව පිළියෙළකළෝය. 20 සවස්වූ කල්හි උන්වහන්සේ ගෝලයන් දොළොස්දෙනා සමඟ කෑමට වාඩිවහුන්සේක; 21 ඔවුන් කමින් සිටියදී උන්වහන්සේ කථාකොට: සැබවක් නුඹලාට කියමි–නුඹලාගෙන් එක්කෙනෙක් මා පාවාදෙන්නේයයි කීසේක. 22 ඔව්හු අතිශයෙන් ශෝකව එකිනෙකා: ස්වාමිනි, මමද මමදැයි අසන්ට පටන්ගත්තෝය. 23 උන්වහන්සේ උත්තරදෙමින්: මා සමඟ තලියේ අත ලෑ තැනැත්තේම මා පාවා දෙන්නේය. 24 මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන හැටියට ඔහු යන්නේය. නුමුත් මනුෂ්‍ය පුත්‍රයා පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ! ඒ මනුෂ්‍යයා නූපන්නා නම් ඔහුට යහපතැයි කීසේක. 25 උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක. 26 ඔවුන් කමින් සිටියදී යේසුස්වහන්සේ රොටි ගෙන ආශීර්වාදකොට කඩා ගෝලයන්ට දී: රැගෙන කන්න; මේක මාගේ ශරීරයයයි කීසේක. 27 උන්වහන්සේ කුසලානක් ගෙන ස්තුතිකොට ඔවුන්ට දී: නුඹලා සියල්ලෝම මෙයින් බොන්න; 28 මේක පව් කමාව පිණිස බොහෝදෙනා උදෙසා වගුරුවන අලුත් ගිවිසුමේ මාගේ ලේය. 29 එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක.

30 ඔව්හු ගීතිකාවක් කළායින් පසු ඔලීව කන්දට පිටත්ව ගියෝය.

ගෝලයන් උන්වහන්සේ හැර දමා යන බව කලින් කීම

31 එවිට යේසුස්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධාවන්නහුය. මක්නිසාද මම එඬේරාට පහරදෙන්නෙමි, එකල රැළේ බැටළුවෝ විසිරවනු ලබන්නෝයයි ලියා තිබේ. 32 නුමුත් මා නැගුටුවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමියි කීසේක. 33 පේතෘස් උන්වහන්සේට උත්තරදෙමින්: සියල්ලන්ම ඔබ ගැන බාධාවෙතත් මම නම් කවදාවත් බාධා නොවන්නෙමියි කීවේය. 34 යේසුස් වහන්සේද: සැබවක් නුඹට කියමි–අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක. 35 පේතෘස්ද: ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය.

ගෙත්සෙමෙන් උයනෙහි

36 එකල යේසුස්වහන්සේ ඔවුන් සමඟ ගෙත්සෙමනය කියන ස්ථානයට පැමිණ: මා අතනට ගොස් යාච්ඤාකරන අතර නුඹලා මෙහි ඉඳින්නැයි තමන් ගෝලයන්ට කීසේක. 37 උන්වහන්සේ පේතෘස්ද සෙබදීගේ පුත්‍රයන් දෙදෙනාද කැඳවාගෙන ගොස්, ශෝකවෙන්ටත් අතිශයින් කැලඹෙන්ටත් පටන්ගත්සේක. 38 එකල උන්වහන්සේ ඔවුන්ට කථාකොට: මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවතී මා සමඟ අවදිව සිටින්නැයි කීසේක. 39 උන්වහන්සේ මඳක් ඉස්සරහට ගොස් මුහුණින් වැටී: අහෝ මාගේ පියාණෙනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්ට පුළුවන් නම් එසේ වේවා. එසේවී නුමුත් මා කැමතිලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියා යාච්ඤාකළසේක. 40 උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදාඉන්නවා දැක, පේතෘස්ට කථාකොට: කිමෙක්ද? මා සමඟ එක පැයක්වත් අවදිව ඉන්ට නුඹලාට බැරි වුණාද? 41 නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න. ආත්මය නම් කැමතිය, නුමුත් මාංසය බෙලහීනයයි කීසේක. 42 උන්වහන්සේ නැවත දෙවෙනි වරත් අහක්ව ගොස්: අහෝ මාගේ පියාණෙනි, මේක මා විසින් නොබී පහවෙන්ට බැරි නම්, ඔබගේ කැමැත්තවේවයි කියා යාච්ඤාකළසේක. 43 උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක, මක්නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේය. 44 නැවතත් උන්වහන්සේ ඔවුන් අත්හැර ගොස්, තුන්වෙනි වරත් ආයෙත් එම වචන කියා යාච්ඤාකළසේක. 45 එකල උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත්: ඉතින් නිදාගෙන නිවාඩු ගන්න. මෙන්න, පැය ළඟය, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි. 46 නැගිටින්න, අපි යමු. අන්න, මා පාවාදෙන්නා ළඟ යයි කීසේක.

යේසුස්වහන්සේ අල්ලාගැනීම

47 උන්වහන්සේ කථාකරද්දීම, බලව, දොළොස්දෙනාගෙන් එක්කෙනෙක්වූ යූදස්ද ඔහු සමඟ නායක පූජකයන් හා සෙනඟගේ වැඩිමහල්ලන් කෙරෙන් කඩු මුගුරු ගත් මහත්වූ සමූහයක්ද ආවෝය. 48 උන්වහන්සේ පාවාදෙන්නා: මම යමෙකු සිඹගනිම්ද ඒ උන්වහන්සේය. උන්වහන්සේ අල්ලාගන්නය කියා ඔවුන්ට ලකුණක් දී තිබුණේය. 49 එකෙණෙහිම ඔහු යේසුස්වහන්සේ ළඟට ඇවිත්: රබ්බි, ශුභසිද්ධවේවා කියා උන්වහන්සේ සිඹගත්තේය. 50 යේසුස්වහන්සේද: මිත්‍රය, නුඹ කරන්ට ආ දෙය කරන්නැයි ඔහුට කීසේක. එවිට ඔව්හු ඇවිත් යේසුස්වහන්සේ පිට අත් තබා උන්වහන්සේ අල්ලාගත්තෝය. 51 යේසුස්වහන්සේ සමඟ සිටියවුන්ගෙන් එක්කෙනෙක් තමාගේ අත දිගුකොට කඩුව ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා ඔහුගේ කන කපාදැමීය. 52 එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය. 53 දේවදූතයන් ලෙගියොන් දොළොසකට වඩා මා ළඟට මේ දැන් එවන ලෙස මාගේ පියාණන්ගෙන් ඉල්ලන්ට මට බැරියයි නුඹ සිතනවාද? 54 එසේ ඉල්ලුවොත්, මේ ආකාර වෙන්ට ඕනෑයයි කියන ලියවිලි සම්පූර්ණවෙන්නේ කොහොමදැයි ඔහුට කීසේක. 55 ඒ පැයේදී යේසුස්වහන්සේ සමූහයන්ට කථාකොට: නුඹලා සොරෙකුට විරුද්ධව මෙන් කඩු මුගුරු රැගෙන මා අල්ලන්ට ආවහුද? මා දේවමාළිගාවේ උගන්වමින් දවස්පතා හිඳිද්දී නුඹලා මා ඇල්ලුවේ නැත. 56 නුමුත් මේ සියල්ල සිද්ධවූයේ අනාගතවක්තෘවරුන්ගේ ලියවිලි සම්පූර්ණවන පිණිසයයි කීසේක. එවිට ගෝලයන් සියල්ලෝම උන්වහන්සේ අත්හැර පලාගියෝය.

උත්තම පූජකයා ඉදිරියෙහි විනිශ්චය

57 යේසුස්වහන්සේ ඇල්ලූ අය උත්තම පූජකයාවූ කායාඑස් ළඟට උන්වහන්සේ ගෙනගියෝය, ලියන්නොත් වැඩිමහල්ලොත් එතැන්හි රැස්ව සිටියෝය. 58 නුමුත් පේතෘස් උත්තම පූජකයාගේ ශාලාව දක්වා උන්වහන්සේ අනුව දුරින් ගොස්, ඇතුල්ව, තීන්දුව දකින පිණිස සේවකයන් සමඟ හිඳගත්තේය. 59 නායක පූජකයෝද මුළු මන්ත්‍රණසභාවද යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙවුවෝය. 60 බොහෝ බොරු සාක්ෂිකාරයන් ආ නුමුත් කිසිවක් සම්බවුණේ නැත. නුමුත් පසුව දෙදෙනෙක් ඇවිත්: 61 දේවමාළිගාව කඩාදමා ඒක තුන් දවසකින් ගොඩනගන්ට මට පුළුවනැයි මොහු කීයේයයි කීවෝය. 62 එවිට උත්තම පූජකයා නැගිට සිට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන මේ සාක්ෂිය මොකදැයි උන්වහන්සේට කීවේය. 63 නුමුත් යේසුස්වහන්සේ කථා නොකර සිටිසේක. එවිට උත්තම පූජකයා: නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රවූ ක්‍රිස්තුස්ද කියා අපට කියන ලෙස ජීවමාන දෙවියන්වහන්සේගේ නාමයෙන් මම නුඹ දිවුරවමියි උන්වහන්සේට කීවේය. 64 යේසුස්වහන්සේද: නුඹ කීවෙහිය. තවද නුඹලාට කියමි, මෙතැන් පටන් මනුෂ්‍ය පුත්‍රයා පරාක්‍රමයේ දකුණු පැත්තේ වාඩිව හිඳිනවාත් අහසේ වලාකුල් පිට එනවාත් නුඹලා දකින්නහුයයි ඔහුට කීසේක. 65 එවිට උත්තම පූජකයා තමාගේ වස්ත්‍ර ඉරාගෙන: මොහු දෙවියන්වහන්සේට අපහාසකෙළේය. සාක්ෂිකාරයන්ගෙන් අපට තවත් කම මොකද? මොහුගේ දේවඅපහාසය දැන් නුඹලාට ඇසුණේය. 66 නුඹලා කුමක් සිතවුදැයි කීවේය. ඔව්හු උත්තරදෙමින්; මොහු මරණයට සුදුස්සෙකැයි කීවෝය. 67 එවිට ඔව්හු උන්වහන්සේගේ මුහුණට කෙළගසා, උන්වහන්සේට ගුටි ඇන්නෝය. සමහරෙක් අතුල් පහර ගසා: 68 ක්‍රිස්තුස්නි, නුඹට ගැසුවේ කවුදැයි දිවැසින් අපට කියන්නැයි කීවෝය.

පේතෘස් විසින් අඳුනන්නේ නැතැයි කීම

69 පේතෘස් පිටත මළුවෙහි හිඳගෙන උන්නේය. යෞවනියක් ඔහු ළඟට ඇවිත්: නුඹත් ගලීලයාවූ යේසුස් සමඟ සිටියෙහියයි කීවාය. 70 නැත, නුඹ කියනදේ නොදනිමියි ඔහු සියල්ලන් ඉදිරියේ කීවේය. 71 ඔහු පිටතට දොරටුව ළඟට ගිය කල, තව තැනැත්තියක් ඔහු දැක: මොහුත් නාසරිය යේසුස් සමඟ සිටියේයයි එතන සිටියවුන්ට කීවාය. 72 ඔහු නැවතත්: මා ඒ මනුෂ්‍යයා අඳුනන්නේ නැතැයි දිවුරමින් කීවේය. 73 ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය. 74 එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය. 75 කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියනවා ඇතැයි යේසුස්වහන්සේ කී වචනය පේතෘස් සිහිකොට, පිටතට ගොස් බලවත් දුකින් හැඬුවේය.

27

1 පහන්වූ කල සියලු නායක පූජකයොත් සෙනඟගේ වැඩි මහල්ලොත් යේසුස්වහන්සේ මරණයට පත්කරන පිණිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණයකළෝය. 2 ඔව්හු උන්වහන්සේ බැඳගෙන ගොස් ආණ්ඩුකාරයාවූ පිලාත්ට භාරදුන්නෝය.

යූදස්ගේ මනස්තාපය

3 එවිට උන්වහන්සේ පාවාදුන් යූදස් උන්වහන්සේ වරදට පත්කරනු ලැබූ බව දැක, පසුතැවිලිව, රිදී මිල තිහ නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට නැවත ගෙනවුත්: 4 නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? නුඹම බලාගන්නැයි කීවෝය. 5 එවිට ඔහු ඒ රිදී මිල ශුද්ධස්ථානයෙහි දමා ගියේය; ඔහු අහක්ව ගොස් එල්ලී මැරුණේය. 6 නායක පූජකයෝ ඒ රිදී මිල රැගෙන: මේවා ලේවල මිල බැවින් දේවගබඩාවේ දමන්ට යුතු නැතැයි කීවෝය. 7 එවිට ඔව්හු මන්ත්‍රණයකොට විදේශීන් වළලන පිණිස එයින් කුම්භකාරයාගේ පිට්ටනිය ගත්තෝය. 8 එහෙයින් අද දක්වා ඒ පිට්ටනියට ලේ පිට්ටනියයයි කියති. 9 එවිට: ඔව්හු ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සමහරුන් විසින් මිල කරනලද තැනැත්තාගේ වටිනාකම වූ රිදී මිල තිහ රැගෙන, 10 ස්වාමීන්වහන්සේ මට නියමකළ ලෙස කුම්භකාරයාගේ පිට්ටනියට ඒවා දුන්නෝය යන අනාගතවක්තෘවූ යෙරෙමියා විසින් කියන ලද කාරණාව සම්පූර්ණවිය.

පිලාත් නම් රෝම ආණ්ඩුකාරයා ඉදිරිපිට සිටීම

11 යේසුස්වහන්සේ ආණ්ඩුකාරයා ඉදිරියෙහි සිටිසේක. නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි ආණ්ඩුකාරයා උන්වහන්සේගෙන් ඇසුවේය. එසේයයි යේසුස්වහන්සේ කීසේක. 12 නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් දුන්නේ නැත. 13 එවිට පිලාත් කථාකොට: මොව්හු නුඹට විරුද්ධව කොපමණ කාරණා ගැන සාක්ෂි කියන්නෝද කියා ඇසෙන්නේ නැද්දැයි කීවේය. 14 නුමුත් උන්වහන්සේ එක වචනයකටවත් උත්තර නුදුන්සේක. එහෙයින් ආණ්ඩුකාරයා බොහෝසෙයින් මවිතවූයේය. 15 මංගල්‍යයෙහිදී සමූහයා ඉල්ලන එක හිරකාරයෙකු ආණ්ඩුකාරයා විසින් නිදහස්කර දෙන සිරිතක් තිබුණේය. 16 එකල්හි බරබ්බස් නම් ප්‍රසිද්ධ හිරකාරයෙක් සිටියේය. 17 එහෙයින් ඔවුන් රැස්වූ විට පිලාත් ඔවුන්ට කථාකොට: මා විසින් නුඹලාට කවරෙකු නිදහස්කරදෙනවාට නුඹලා කැමතිද? බරබ්බස්ද? නොහොත් ක්‍රිස්තුස්ය කියන යේසුස්දැයි ඇසුවේය. 18 මක්නිසාද ඔවුන් ඊර්ෂ්‍යාවෙන් උන්වහන්සේ පාවාදුන් බව ඔහු දැනගෙන සිටියේය. 19 තවද ඔහු විනිශ්චයාසනයෙහි හිඳිද්දී ඔහුගේ භාර්යාව: ඒ ධර්මිෂ්ඨයාට කිසිවක් නොකරන්න. අද ඔහු නිසා ස්වප්නයකින් බොහෝ දුක් වින්දෙමියි ඔහුට කියා ඇරියාය. 20 එහෙත් නායක පූජකයෝද වැඩිමහල්ලෝද බරබ්බස් ඉල්ලන්ටත් යේසුස්වහන්සේ නසන්ටත් සමූහයන් කැමතිකරවාගත්තෝය. 21 ආණ්ඩුකාරයා ඔවුන්ට උත්තරදෙමින්: මේ දෙදෙනාගෙන් කවරෙකු මා විසින් නුඹලාට නිදහස්කරදෙනවාට කැමතිදැයි ඔවුන්ගෙන් ඇසුවේය. බරබ්බස්යයි ඔව්හු කීවෝය. 22 එසේවී නම් ක්‍රිස්තුස් කියන යේසුස්ට මා විසින් කුමක් කරන්ටදැයි පිලාත් ඔවුන්ගෙන් ඇසුවේය. ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි සියල්ලෝම කීවෝය. 23 එවිට ඔහු: මන්ද, මොහු මොන නපුරක් කෙළේදැයි ඇසුවේය. නුමුත්: ඔහු කුරුසියෙහි ඇණගසනු ලබාවයි ඔව්හු අතිශයෙන් මොරගැසුවෝය. 24 මෙසේ කෝලාහලයක් හටගන්නවා මිස තමාගේ උත්සාහයෙන් කිසි පලක් නැති බව පිලාත් දැක, වතුර ගෙන සමූහයා ඉදිරියේ අත් සෝදමින්: මේ ධර්මිෂ්ඨයාගේ ලේ ගැන මම නිදොස්වෙමි. නුඹලාම බලාගන්නැයි කීවේය. 25 මුළු සෙනඟ උත්තර දෙමින්: ඔහුගේ ලේ අප පිටද අපගේ දරුවන් පිටද වේවයි කීවෝය. 26 එකල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස්කරදුන්නේය. නුමුත් ඔහු යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන්ට භාරදුන්නේය.

යේසුස්වහන්සේ කුරුසියේ ඇණගසනු ලැබීම

27 එකල ආණ්ඩුකාරයාගේ හේවායෝ යේසුස්වහන්සේ ප්‍රේතෝරියම්ශාලාවට ගෙනගොස් මුළු හේවා කණ්ඩායම උන්වහන්සේ වෙතට රැස්කළෝය. 28 ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් ගළවා, රතු සළුවක් උන්වහන්සේට හැඳෙවුවෝය. 29 ඔව්හු කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා, බටදණ්ඩක් දකුණතට දී, උන්වහන්සේ ඉදිරියෙහි දණ නමා: යුදෙව්වරුන්ගේ රජ්ජුරුවෙනි, ශුභසිද්ධවේවයි කියා උන්වහන්සේට කවටකම්කළෝය. 30 ඔව්හු උන්වහන්සේට කෙළගසා, බටදණ්ඩ ගෙන උන්වහන්සේගේ හිසට ගැසුවෝය. 31 උන්වහන්සේට කවටකම්කළ පසු ඔව්හු රතු සළුව ගළවා උන්වහන්සේගේම ඇඳුම් හඳවා, කුරුසියෙහි ඇණගසන පිණිස ගෙනගියෝය.

32 ඔව්හු නික්ම යද්දී සීමොන් නම් කිරේනියේ මනුෂ්‍යයෙකු සම්බවී, උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යන්ට ඔහුට බලකළෝය. 33 ඔව්හු ඉස්කබල ස්ථානය යන අර්ථ ඇති ගොල්ගොතා නම් ස්ථානයකට පැමිණ, 34 තික්ත මිශ්‍රකළ මුද්‍රිකපානය උන්වහන්සේට බොන්ට දුන්නෝය. උන්වහන්සේ රස බලා බොන්ට නොකැමතිවූසේක. 35 උන්වහන්සේ කුරුසියෙහි ඇණගැසූ පසු ඔව්හු උන්වහන්සේගේ ඇඳුම් දාදුදමා බෙදාගත්තෝය. 36 ඔව්හු එහි හිඳගන උන්වහන්සේ රැකවල්කළෝය. 37 තවද;මොහු යුදෙව්වරුන්ගේ රජවූ යේසුස්යකියා උන්වහන්සේගේ වරද ලියා උන්වහන්සේගේ හිසට උඩින් තැබුවෝය. 38 එවිට සොරු දෙදෙනෙක්, එක්කෙනෙක් දකුණු පැත්තෙහිද එක්කෙනෙක් වම් පැත්තෙහිද, උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනු ලැබුවෝය. 39 මග යන්නෝ තමුන්ගේ හිස් වන වනා උන්වහන්සේට නින්දාකරමින්: 40 දේවමාළිගාව කඩාදමා තුන් දවසකින් ගොඩනගන්නාවූ නුඹ නුඹම ගළවා ගන්න. නුඹ දෙවියන්වහන්සේගේ පුත්‍රයා නම් කුරුසියෙන් බසින්නැයි කීවෝය. 41 ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේට කවටකම් කොට: 42 ඔහු අනුන් ගැළවුවේය; තමාම ගළවාගන්ට නුපුළුවන. ඔහු ඉශ්‍රායෙල්වරුන්ගේ රජය; ඔහු දැන් කුරුසියෙන් බසීවා, එවිට අපි ඔහු අදහාගන්නෙමුව. 43 ඔහු දෙවියන්වහන්සේ කෙරේ විශ්වාස කරන්නේය; උන්වහන්සේ ඔහුට ප්‍රිය වනසේක්නම් දැන් ඔහු මුදාහරිනසේක්වා. මක්නිසාද–මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමියි ඔහු කීවේයයි කීවෝය. 44 උන්වහන්සේ සමඟ කුරුසියෙහි ඇණගසනලද්දාවූ සොරුද එසේම උන්වහන්සේට නින්දාකළෝය.

යේසුස්වහන්සේගේ මරණය

45 සවෙනි පැය පටන් නවවෙනි පැය දක්වා දේශය මුළුල්ලෙහි අන්ධකාරයක් විය. 46 නවවෙනි පැය පමණේදී යේසුස්වහන්සේ: ඒලී, ඒලී, ලාමා සබක්තානි කියා මහත් ශබ්දයකින් මොරගැසූසේක. එහි අර්ථය නම්, මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසාද යනුයි. 47 එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය. 48 එකෙණෙහිම ඔවුන්ගෙන් එක්කෙනෙක් දිව ගොස්, මූදූහත්තක් ගෙන කාඩියෙන් පොඟවා බටදණ්ඩක ගසා, උන්වහන්සේට බොන්ට දුන්නේය. 49 සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය. 50 යේසුස්වහන්සේ නැවතත් මහත් ශබ්දයකින් හඬනගා ආත්මය හළසේක. 51 බලව, දේවමාළිගාවේ තිරය ඉහළ පටන් පහළට දෙකඩව ඉරුණේය; පොළොව කම්පාවූවාය; 52 පර්වත පැළුණේය; සොහොන් ගෙවල්ද ඇරුණේය; සැතපී හුන්නාවූ නොයෙක් ශුද්ධවරයන්ගේ ශරීර නැගුටුවනලදුව, 53 ඔව්හු උන්වහන්සේ නැගුටුණු පසු සොහොන් ගෙවලින් නික්ම ශුද්ධ නුවරට ඇතුල්ව, බොහෝ දෙනෙකුට පෙනුණේය. 54 සියයකට මුලාදෑනියාද ඔහු සමඟ යේසුස්වහන්සේ රැකවල්කරමින් සිටි අයද පොළෝකම්පාවත් සිදුවූ දේත් දැක ඉතා භයපත්ව: සැබවින්ම මුන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි කීවෝය. 55 යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ කැටුව ආවාවූ බොහෝ ස්ත්‍රීවරුත් එහි දුරින් බලා සිටියෝය. 56 ඔවුන් අතරෙහි මග්දලායේ මරියාද යාකොබ් සහ යෝසෙස්ගේ මවුවූ මරියාද සෙබදීගේ පුත්‍රයන්ගේ මෑණියෝද සිටියෝය.

යේසුස්වහන්සේගේ භූමදානය

57 සවස්වූ කල යේසුස්වහන්සේගේ ගෝලයෙක්ව සිටිය යෝසෙප් නම් වස්තුකාර මනුෂ්‍යයෙක් අරිමාතියේ සිට ඇවිත්, 58 පිලාත් ළඟට ගොස්, යේසුස්වහන්සේගේ මිනිය ඉල්ලුවේය. එවිට පිලාත් එය භාරදෙන්ට අණකෙළේය. 59 යෝසෙප් මිනිය ගෙන පිරිසිදු හණ රෙද්දකින් වෙළා, 60 තමා විසින් පර්වතයෙහි කප්පවා තිබුණ තමාගේම අලුත් සොහොන්ගෙයි තබා, එහි දොරකඩට මහත් ගලක් පෙරළා තබා ගියේය. 61 මග්දලායේ මරියාද අනික් මරියාද එතැන සොහොන් ගෙය ඉදිරිපිට ඉඳගන උන්නෝය.

62 පසුවදා, එනම් සූදානම් කිරීමේ දවසට පසුවදා, නායක පූජකයෝද ඵරිසිවරුද පිලාත් ළඟට රැස්ව ඇවිත්: 63 ස්වාමිනි, ඒ වංචාකාරයා ජීවත්ව සිටියදී–මම තුන් දවසකට පසු නැගිටින්නෙමියි කී බව අපට මතකය. 64 එහෙයින් තුන්වෙනි දවස දක්වා සොහොන් ගෙය ආරක්ෂා කරන්ට අණකළ මැනවි, නැතහොත් සමහරවිට ඔහුගේ ගෝලයන් ඇවිත් ඔහු සොරාගෙන ගොස්–ඔහු මළවුන්ගෙන් නැගුටුණේයයි සෙනඟට කියනවා ඇත. මෙසේ පළමු මුළාවට වඩා අන්තිම මුළාව මහත්වන්නේයයි කීවෝය. 65 නුඹලාට රැකවල්ලු සිටිති. නුඹලා ගොස් නුඹලාට පුළුවන් පමණ එය සුරක්ෂිත කොට තබන්නැයි පිලාත් ඔවුන්ට කීවේය. 66 ඔව්හු ගොස් ගල මුද්‍රාකර, රැකවලුන් ඇතුව, සොහොන්ගෙය සුරක්ෂිත කළෝය.

28

යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටීම

1 සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය. 2 එවිට මහත් පොළෝකම්පාවක් විය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස ඇවිත්, ගල අහකට පෙරළා, ඒ පිට ඉඳගත්තේය. 3 ඔහුගේ පෙනීම විදුලිය මෙන් වූය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුව තිබුණේය. 4 රැකවල්ලු ඔහුට භයින් වෙවුලා මළවුන් සේ වූහ. 5 දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කථාකරමින්: භය නොවෙන්න; මක්නිසාද කුරුසියෙහි ඇණ ගසනලද යේසුස්වහන්සේව නුඹලා සොයන බව දනිමි. 6 උන්වහන්සේ මෙහි නැත; උන්වහන්සේ කී ලෙසම නැගුටුණුසේක. එන්න, ස්වාමීන්වහන්සේ උන් ස්ථානය බලා ඉක්මනින් ගොස්, 7 උන්වහන්සේ මළවුන්ගෙන් නැගුටුණුසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියන්න; උන්වහන්සේ නුඹලාට පළමු ගලීලයට යනසේක; එහිදී නුඹලා උන්වහන්සේ දකින්නහුය. බලන්න, නුඹලාට කීයෙමියි කීවේය. 8 එවිට ඔව්හු භයින්ද මහත් ප්‍රීතියෙන්ද සොහොන් ගෙයින් ඉක්මනින් නික්ම ගොස්, උන්වහන්සේගේ ගෝලයන්ට දන්වන පිණිස දිවුවෝය. 9 එකල යේසුස්වහන්සේ ඔවුන්ට සම්මුඛවී: ශුභසිද්ධවේවයි කීසේක. ඔව්හු ළඟට ඇවිත් උන්වහන්සේගේ පාද වැළඳගෙන, උන්වහන්සේට නමස්කාරකළෝය. 10 එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.

11 ඔවුන් යන කල රැකවලුන්ගෙන් සමහරෙක් නුවරට ඇවිත් සිදුවූ සියල්ල නායක පූජකයන්ට දැන්නුවෝය. 12 එවිට ඔව්හු වැඩිමහල්ලන් සමඟ රැස්ව මන්ත්‍රණයකොට, හේවායන්ට බොහෝ මිලදී: 13 අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න. 14 මේක ආණ්ඩුකාරයාට ආරංචිවුණොත්, අපි ඔහු සතුටුකොට නුඹලා බේරාගන්නෙමුයයි කීවෝය. 15 ඔව්හු මිල රැගෙන තමුන්ට ඉගැන්නූ ලෙස කළෝය. මෙසේ ඒ කීම යුදෙව්වරුන් අතරේ ප්‍රසිද්ධව, අද දක්වා පවත්නේය.

ගලීලයේදී ප්‍රේරිතයන්ට දර්ශනය වීම

16 ගෝලයෝ එකොළොස්දෙනා යේසුස්වහන්සේ තමුන්ට නියමකළ ගලීලයේ කන්දට ගියෝය. 17 ඔව්හු උන්වහන්සේ දැක උන්වහන්සේට නමස්කාරකළෝය. නුමුත් සමහරෙක් සැකකළෝය. 18 යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. 19 එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බව්තීස්මකරන්න. 20 මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.