1

ස්වාමීන්වහන්සේ ප්‍රේමය. උන්වහන්සේගේ සෙනඟගේ කෙළෙහිගුණ නොසැලකීම

1 මලාකී කරණකොටගෙන ඉශ්‍රායෙල් වෙතට පැමිණිස්වාමීන්වහන්සේගේවචනයේ දිව්‍ය ප්‍රකාශනයය.

2 මම නුඹලාට ප්‍රේමකෙළෙමියිස්වාමීන්වහන්සේකියනසේක. එහෙත්: ඔබවහන්සේ අපට ප්‍රේමකළේ කුමකින්දැයි නුඹලා අසන්නහුය. ඒසව් යාකොබ්ගේ සහෝදරයා නොවේද? එහෙත් මම යාකොබ්ට ප්‍රේමකොට, 3 ඒසව්ට අප්‍රියවී, ඔහුගේ කඳු පාළුවක් කෙළෙමි, ඔහුගේ උරුමයද කාන්තාරයේ සිවලුන්ට දුනිමියිස්වාමීන්වහන්සේකියනසේක. 4 අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවලස්වාමීන්වහන්සේමෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාදස්වාමීන්වහන්සේගේඋදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය. 5 එය නුඹලාගේ ඇස්වලට පෙනෙනවා ඇත, නුඹලාද: ඉශ්‍රායෙල් පළාතෙන් එපිටත්ස්වාමීන්වහන්සේඋසස්වනසේක්වයි කියන්නහුය.

6 පුත්‍රයා තමාගේ පියාටත් මෙහෙකරුවා තමාගේ ස්වාමියාටත් ගෞරවකරති. එබැවින් මාගේ නාමය සුළුකරන පූජකයෙනි, මම පියෙක් නම් මාගේ ගෞරවය කොයිද? මම ස්වාමියෙක් නම් මා කෙරෙහි ඇති භය කොයිදැයි සේනාවලස්වාමීන්වහන්සේනුඹලාගෙන් අසනසේක. එහෙත්: අපි ඔබවහන්සේගේ නාමය කුමකින් සුළුකෙළෙමුදැයි නුඹලා අසන්නහුය. 7 මාගේ පූජාසනය පිට අපවිත්‍ර ආහාර ඔප්පුකිරීමෙන්ය. එහෙත්; අපි කුමකින් ඔබ අපවිත්‍රකෙළෙමුදැයි නුඹලා අසන්නහුය.ස්වාමීන්වහන්සේගේමේසය සුළුයයි නුඹලා විසින් කීමෙන්ය. 8 නුඹලා පූජාවක් කොට අන්ධවූ සතෙකු ඔප්පුකරන එකත් නපුරක් නොවේද? කොර එකෙක්ද ලෙඩ එකෙක්ද නුඹලා ඔප්පුකරන එකත් නපුරක් නොවේද? එය නුඹේ ආණ්ඩුකාරයාට ඔප්පුකරන්න; ඔහු නුඹ කෙරෙහි ප්‍රසන්නවේද? නොහොත් නුඹව පිළිගන්නවා ඇද්දැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 9 එබැවින් දෙවියන්වහන්සේ අපට දයාවන පිණිස දැන් උන්වහන්සේට කන්නලව්කරන්න. මේක වුණේ නුඹලා කරණකොටගෙනය. උන්වහන්සේ නුඹලාගෙන් කිසිවෙකුවත් පිළිගන්නවා ඇද්දැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 10 අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 11 මක්නිසාද ඉර උදාවන තැන් පටන් බස්නා තැන දක්වා මාගේ නාමය ජාතීන් අතරේ උතුම්ය; සියලුම ස්ථානවල සුවඳ දුම්ද පිරිසිදු පූජාවක්ද මාගේ නාමයට ඔප්පුකරනු ලබන්නේය. එසේය, මාගේ නාමය ජාතීන් අතරේ උතුම්යයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 12 නුමුත් නුඹලා:ස්වාමීන්වහන්සේගේමේසය පිළිකුල්ය, එහි ඵල එනම් එහි ආහාර නීචයයි කීමෙන් ඒ නාමය කෙලසන්නහුය. 13 තවද: මෙය කොපමණ මහත් වෙහෙසක්දැයි කියා නුඹලා එය සුළුකළහුයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක; තවද කොල්ලකාගත්තාවූද කොරවූද ලෙඩවූද සතුන් නුඹලා ගෙනාවහුය; මෙසේ නුඹලා ගෙනැවිත් ඔප්පුකරන්නහුය. මම නුඹලාගේ අත්වලින් එය පිළිගනිම්දැයිස්වාමීන්වහන්සේකියනසේක. 14 එසේ නොව බාරයක්වී තමාගේ රැළේ පිරිමි සතෙකු සිටිද්දී නරක්වූ සතෙකුස්වාමීන්වහන්සේටඔප්පුකරන ප්‍රයෝගකාරයාට ශාපවේවා. මක්නිසාද මම මහත් රජෙක්ය, මාගේ නාමය ජාතීන් අතරෙහි භයානකව තිබේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක.

2

පූජකයින්ගේ දූෂ්‍යභාවය

1 ඉතින් පූජකයෙනි, මේ ආඥාව නුඹලාටය. 2 මාගේ නාමයට ගෞරවදෙන හැටියට නුඹලා අසා සිතට නොගන්නහුනම් මම නුඹලා අතරට ශාපය එවා, නුඹලාගේ ආශීර්වාදවලට ශාපකරන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. එසේය, නුඹලා සිතට නොගන්න නිසා මම ඒවාට ශාපම කෙළෙමි. 3 බලව, මම නුඹලා නිසා බීජ වලක්වමි, නුඹලාගේ මුහුණු පිට කසළ, එනම් නුඹලාගේ මංගල්‍ය පූජාවල කසළ ඉසිමි; ඒවා සමඟ නුඹලා අහකට ගෙනයනු ලබනවා ඇත. 4 එවිට මාගේ ගිවිසුම ලෙවී සමඟ පවතින පිණිස මේ ආඥාව මා විසින් නුඹලාට එවූ බව නුඹලා දැනගන්නවා ඇතැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 5 ජීවනයද සමාදානයද ඇති මාගේ ගිවිසුම ඔහු සමඟ විය; භය ඇතුව සිටින පිණිස ඒවා ඔහුට දුනිමි, එසේ ඔහු භයව, මාගේ නාමය කෙරෙහි භයාදුකමින් සිටියේය. 6 සැබෑකමේ ව්‍යවස්ථාව ඔහුගේ මුඛයෙහි තිබුණේය, අධර්මිෂ්ඨකමක් ඔහුගේ තොල්වල සම්බ නොවීය. ඔහු සමාදානයෙන්ද අවංකකමෙන්ද මා සමඟ හැසිර, බොහෝ දෙනෙකු අපරාධයෙන් හරවාගත්තේය. 7 මක්නිසාද පූජකයා විසින් තමාගේ තොල්වල දැනගැන්ම තබාගැනීම යුතුය, මිනිසුන් වනාහි ව්‍යවස්ථාවද ඔහුගේ මුඛයෙන් දැනගත යුතුය. කුමක්හෙයින්ද ඔහු සේනාවලස්වාමීන්වහන්සේගේපණිවිඩකාරයෙක්ය. 8 එහෙත් නුඹලා මාර්ගයෙන් ඉවත්ව ගොස්, ව්‍යවස්ථාව ගැන බොහෝ දෙනෙකු පැකිලෙන්ට සැලැස්වූහුය; නුඹලා ලෙවීගේ ගිවිසුම බිඳදැමුවහුයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 9 එබැවින් නුඹලා මාගේ මාර්ගයන් රක්ෂා නොකොට, ව්‍යවස්ථාව ගැන තරාතිරම් බලන ප්‍රකාරයටම, මමත් නුඹලා මුළු සෙනඟ ඉදිරියෙහි නීචවූ පහත්වූ අය කෙළෙමි.

අන්‍යජාති ස්ත්‍රීන් විවාහකර ගැනීම සහ අයුතු දික්කසාදයත් ගැන දොස් තැබීම

10 අප සියල්ලන්ට ඇත්තේ එක පියා නොවේද? අප මැවුවේ එක දෙවියන්වහන්සේ නොවේද? අපේ පියවරුන්ගේ ගිවිසුම කෙලසන හැටියට අපි එකිනෙකාට විරුද්ධව මක්නිසා ද්‍රෝහිකම්කරමුද? 11 යූදාවරු ද්‍රෝහිලෙස ක්‍රියාකළෝය, ඉශ්‍රායෙල්හිද යෙරුසලමෙහිද පිළිකුලක් කෙරී තිබේ; මක්නිසාදස්වාමීන්වහන්සේප්‍රේමකළාවූ උන්වහන්සේගේ ශුද්ධකම යූදා කෙලහා, අන්‍ය දෙවියෙකුගේ දුව සරණපාවාගත්තේය. 12 මෙසේ කරන මනුෂ්‍යයාගෙන් රැකවළා සහ උත්තරදෙන අයත් සේනාවලස්වාමීන්වහන්සේටපූජාවක් ඔප්පුකරන්නාත්ස්වාමීන්වහන්සේයාකොබ්ගේ කූඩාරම්වලින් සිඳදමනසේක. 13 නුඹලා මේ කාරණය දෙවෙනි වරත් කර,ස්වාමීන්වහන්සේගේපූජාසනය කඳුළුවලින්ද ඇඬීමෙන්ද සුසුම්ලෑමෙන්ද වසන්නහුය. එබැවින් උන්වහන්සේ පූජාව තවත් නොසලකනසේක, නුඹලාගේ අත්වලින් සතුටු සිතින් එය පිළිනොගන්නාසේක. 14 එහෙත් නුඹලා: ඒ මක්නිසාදැයි අසන්නහුය.ස්වාමීන්වහන්සේනුඹ සහ නුඹේ තරුණ වයසේ භාර්යාවත් අතරේ සාක්ෂිව සිටි නිසාය; ඈ නුඹේ පංගුකාරීව, නුඹේ ගිවිසුමේ භාර්යාවව සිටින නුමුත්, නුඹම ඈට විරුද්ධව ද්‍රෝහිකම්කළෙහිය. 15 ආත්මයේ ඉතිරි කොටස උන්වහන්සේට තිබුණු නුමුත් උන්වහන්සේ එකෙකු නොසෑදූසේක්ද? එකෙකු සෑදුවේ මක්නිසාද? උන්වහන්සේ භක්තිවන්ත වංශයක් සෙවූ නිසාය. එබැවින් නුඹලාගේ ආත්මය ගැන ප්‍රවේසම්වෙන්න, කිසිවෙක් තමාගේ තරුණ වයසේ භාර්යාවට විරුද්ධව ද්‍රෝහිලෙස ක්‍රියා නොකෙරේවා. 16 මක්නිසාද [භාර්යාවන්] අත්හැරදැමීමට මම ද්වේෂකරමියි ඉශ්‍රායෙල්ගේ දෙවිවූස්වාමීන්වහන්සේකියනසේක; තමාගේ වස්ත්‍රය බලාත්කාරයෙන් වසන්නාටත් මම ද්වේෂකරමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. එබැවින් නුඹලාගේ ආත්ම ගැන ප්‍රවේසම්වී, ද්‍රෝහිකම් නොකර සිටින්න.

17 නුඹලාගේ වචනවලින් නුඹලාස්වාමීන්වහන්සේවෙහෙසූහුය. එහෙත්: අපි කුමකින් උන්වහන්සේ වෙහෙසූයෙමුදැයි නුඹලා අසන්නහුය. නපුර කරන සියල්ලෝමස්වාමීන්වහන්සේඉදිරියේ යහපත්ය, උන්වහන්සේ ඔවුන් කෙරෙහි ප්‍රසන්නය; නැතහොත් යුක්තියේ දෙවියන්වහන්සේ කොතැනදැයි නුඹලා විසින් කීමෙන්ය.

3

දේව අභක්තිකම ගැන තර්ජනය කිරීම

1 මෙන්න, මාගේ දූතයා එවමි, ඔහු මට පෙරටුව මාර්ගය පහදන්නේය. එවිට නුඹලා සොයනස්වාමීන්වහන්සේහදිසියෙන් තමන් මාළිගාවට එනසේක; එසේය, නුඹලා ආශාවන ගිවිසුමේ දූතයා එන්නේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 2 නුමුත් උන්වහන්සේගේ ඊමේ දවස දරන්ට පුළුවන් කාටද? උන්වහන්සේ පෙනෙන කල සිටින්ට පුළුවන් කාටද? මක්නිසාද උන්වහන්සේ රන්කරුවෙකුගේ ගින්නද අපුල්ලන්නන්ගේ සබන්ද මෙන්ය. 3 උන්වහන්සේ රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන්ස්වාමීන්වහන්සේටපූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍රකරනසේක. 4 එකල යූදාහිද යෙරුසලමේද පූජාව පුරාණ දවස්වලදීත් පළමු අවුරුදුවලදීත් මෙන්ස්වාමීන්වහන්සේටප්‍රසන්නව තිබෙන්නේය. 5 තවද මම විනිශ්චය පිණිස නුඹලා ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 6 මක්නිසාදස්වාමීන්වහන්සේවන මම වෙනස් නොවෙමි; එබැවින් යාකොබ්ගේ පුත්‍රයෝවූ නුඹලා විනාශ නොවී සිටින්නහුය.

වරදවා පුදකිරීම ගැන තරවටුකිරීම

7 නුඹලාගේ පියවරුන්ගේ දවස්වල පටන්ම නුඹලා මාගේ නියෝග නොපවත්වා, එයින් අහක්ව ගියහුය. මා වෙතට හැරී එන්න, මමත් නුඹලා වෙතට හැරී එන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. එහෙත් අපි කෙසේ හැරී එන්නෙමුදැයි නුඹලා අසන්නහුය. 8 මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේගෙන් කොල්ලකනවා ඇද්ද? නුඹලා නම් මාගෙන් කොල්ලකන්නහුය. එහෙත්: අපි කෙසේ ඔබවහන්සේගෙන් කොල්ලකෑවෙමුදැයි නුඹලා අසන්නහුය. ඔතුවලින් සහ එසවීම් පූජාවලිනුත්ය. 9 ශාපය නුඹලා පිටට පැමිණ තිබේ; මක්නිසාද නුඹලා, එනම් මේ මුළු ජාතිය, මගෙන් කොල්ලකන්නහුය. 10 මාගේ ගෘහයෙහි භෝජන තිබෙන පිණිස නුඹලා ගබඩාගෙට ඔතු සියල්ල ගෙනවුත්, මා විසින් නුඹලාට අහසේ කවුළු ඇර ඉඩම් මදිවෙන තරම් නුඹලාට ආශීර්වාදයක් වගුරුවා දෙන්නේ නැද්ද කියා එයින් මා සෝදිසිකර බලන්නැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 11 නුඹලාගේ භූමියේ ඵල නාස්ති නොකරන ලෙස, ඒවා කාදමන්නාට නුඹලා උදෙසා තර්ජනකරන්නෙමි; කෙතේ නුඹලාගේ මිදිවැලත් අකාලයේ එහි ඵල නොහෙළන්නේයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 12 නුඹලා වාසනාවන්තයෝයයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නහුයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක.

දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ විනිශ්චය

13 නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයිස්වාමීන්වහන්සේකියනසේක. එහෙත්: අපි ඔබවහන්සේට විරුද්ධව කුමක් කීවෙමුදැයි නුඹලා අසන්නහුය. 14 නුඹලා කථාකොට: දෙවියන්වහන්සේට සේවයකිරීම නිෂ්ඵලය. අපි උන්වහන්සේගේ නියමය පවත්වා, සේනාවලස්වාමීන්වහන්සේඉදිරියෙහි ශෝකලෙස හැසුරුණායින් ඇති වාසිය මොකද? 15 එබැවින් උඩඟු තැනැත්තෝ වාසනාවන්තයෝයයි අපි දැන් කියමුව; එසේය, දුෂ්ටකම්කරන්නෝ දියුණුවෙති; ඔව්හු දෙවියන්වහන්සේ පරීක්ෂාකළ නුමුත් ගළවනු ලබතියි කියන්නහුය. 16 එකලස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇත්තෝ එකිනෙකා සමඟ කථාකරගත්තෝය.ස්වාමීන්වහන්සේද කන්දී ඇසූසේක. එවිටස්වාමීන්වහන්සේකෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය. 17 ඔව්හු වනාහි මා විසින් පමුණුවන දවසේදී මාගේම සම්පතක් වන්නෝය; මමද මනුෂ්‍යයෙක් තමාට සේවයකරන තමාගේ පුත්‍රයාට කරුණාකරන්නාක්මෙන් ඔවුන්ට කරුණාකරන්නෙමියි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 18 එකල ධර්මිෂ්ඨයා සහ දුෂ්ටයා අතරේද දෙවියන්වහන්සේට සේවයකරන්නා සහ උන්වහන්සේට සේවය නොකරන්නා අතරේද ඇති වෙනස නුඹලා නැවත දකිනවා ඇත.

4

1 මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක. 2 නුමුත් මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය; නුඹලා නික්ම ගොස් ගාලේ වස්සන් මෙන් පනින්නහුය. 3 නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවලස්වාමීන්වහන්සේකියනසේක.

අන්තිම අවවාදය. එලියා එන්ට සිටින බව

4 මා විසින් සියලු ඉශ්‍රායෙල්වරුන් උදෙසා හොරෙබ්හිදී මාගේ මෙහෙකරුවාවූ මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව වන නියෝග සහ විනිශ්චයන් සිහිකරන්න. 5 බලවස්වාමීන්වහන්සේගේමහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි. 6 මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.