1

යෝනා දේව අණට අකීකරුවීම. මහත් කුණාටුවක් පැමිණීම. මත්ස්‍යයා විසින් ගිලිනු ලැබීම

1 ස්වාමීන්වහන්සේගේවචනය අමිත්තයිගේ පුත්‍රවූ යෝනා වෙතට පැමිණ:

2 නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස් ඊට විරුද්ධව මොරගසන්න; මක්නිසාද ඔවුන්ගේ දුෂ්ටකම මා ඉදිරියට පැමිණ තිබේයයි කීසේක. 3 එහෙත් යෝනාස්වාමීන්වහන්සේඉදිරියෙන් තර්ෂිෂ්ට පලා යන පිණිස නැගිට, යොප්පාවට බැසගොස්, තර්ෂිෂ්ට යන නැවක් එහි සම්බවී, ඊට ගාස්තුව ගෙවා,ස්වාමීන්වහන්සේඉදිරියෙන් ඔවුන් සමඟ තර්ෂිෂ්ට යන පිණිස ඒකට නැගුණේය. 4 නුමුත්ස්වාමීන්වහන්සේතද හුළඟක් මුහුද පිටට පැමිණෙවුසේක, එයින් මුහුදේ මහත් කුණාටුවක් වී නැව බිඳෙන්ට ළංවිය. 5 එකල නැව්කාරයෝ භයව, එක එකා තම තමාගේ දෙවියන්ට මොරගසා, නැව සැහැල්ලුකරගැනීමට එහි තිබුණු බඩු මුහුදේ දැමුවෝය. එහෙත් යෝනා නැවේ ඇතුළට බැස හාන්සිවී තද නින්දට පැමිණ හුන්නේය. 6 එවිට නැවේ ප්‍රධානියා ඔහු ළඟට ඇවිත්: නුඹ නිදාගන ඉන්නේ මක්නිසාද? නැගිට නුඹේ දෙවියන්වහන්සේගෙන් පිහිට ඉල්ලන්න, සමහරවිට අප විනාශ නොවන ලෙස දෙවියන්වහන්සේ අප ගැන කල්පනාකරනවා ඇතැයි ඔහුට කීවේය. 7 ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ කා නිසාදැයි දැනගන්නා පිණිස පසඇට දමමුයයි ඔවුනොවුන් කථාකරගත්තෝය. එසේ ඔවුන් පසඇට දැමූ විට පසඇටය යෝනාට වැටුණේය. 8 එවිට ඔව්හු: මේ විපත්තිය අපට පැමුණුණේ මක්නිසාද කියා අපට කියන්න; නුඹේ රක්ෂාව මොකද? නුඹ කොතන සිට ආවාද? නුඹේ රට කිමෙක්ද? නුඹ මොන ජාතියේ කෙනෙක්දැයි ඔහුගෙන් ඇසුවෝය. 9 ඔහුද: මම හෙබ්‍රෙව්වෙක්ය; මම වනාහි මුහුදත් ගොඩබිමත් මැවුවාවූ ස්වර්ගයේ දෙවිවූස්වාමීන්වහන්සේඅදහමියි ඔවුන්ට කීය. 10 එකල ඒ මනුෂ්‍යයෝ ඉතා භයපත්ව: නුඹ කළ මේ දේ කිමෙක්දැයි ඔහුට කීවෝය. එසේ කීවේ තමාස්වාමීන්වහන්සේඉදිරියෙන් පලායන බව ඔහු ඒ මනුෂ්‍යයන්ට කියා තිබී, ඔවුන් එය දැනගන සිටි නිසාය. 11 එකල ඔව්හු: මුහුද අපට නිශ්චලවෙන පිණිස අප විසින් නුඹට කරන්ට ඕනෑ මොකදැයි ඔහුගෙන් ඇසුවෝය; මක්නිසාද මුහුද වඩ වඩා වේගවත් විය. 12 මා අරන් මුහුදේ දමන්න; එවිට මුහුද නුඹලාට නිශ්චලවන්නේය. කුමක්හෙයින්ද මේ මහත් කුණාටුව නුඹලා පිටට පැමිණ තිබෙන්නේ මා නිසා බව දනිමියි ඔහු ඔවුන්ට කීවේය. 13 එහෙත් ඒ මනුෂ්‍යයෝ ගොඩට හැරීඑන පිණිස තදින් පැද්දෝය; නුමුත් මුහුද ඔවුන්ට විරුද්ධව වඩ වඩා සැරවූ බැවින් ඔවුන්ට බැරිවිය. 14 එවිට ඔව්හුස්වාමීන්වහන්සේටහඬගසා: අහෝස්වාමීන්වහන්ස,මේ මනුෂ්‍යයාගේ ප්‍රාණය නිසා අප පිට විනාශයක් නොවේවා, නිදොස් ලේද අප පිට තැබුව මැනව. මක්නිසාද,ස්වාමීන්වහන්ස,ඔබ කැමති ලෙසම කළසේකැයි කීවෝය. 15 එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය. 16 එකල ඒ මනුෂ්‍යයෝස්වාමීන්වහන්සේකෙරේ අතිශයින් භයව,ස්වාමීන්වහන්සේටපූජාවක් ඔප්පුකොට, බාරවල් වුණෝය. 17 තවදස්වාමීන්වහන්සේයෝනා ගිලින්ට මහා මත්ස්‍යයෙකු පත්කලසේක; යෝනා වනාහි දාවල් තුනක්ද රෑ තුනක්ද මත්ස්‍යයාගේ බඩේ සිටියේය.

2

යෝනාගේ යාච්ඤාව සහ ස්තුති ප්‍රශංසාව

1 එකල යෝනා මත්ස්‍යයාගේ බඩේ සිට තමාගේ දෙවිවූස්වාමීන්වහන්සේටයාච්ඤාකරමින් මෙසේ කීවේය:–

2 මාගේ පීඩාව නිසාස්වාමීන්වහන්සේටහඬගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන් සේක;

2 පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූසේක.

3 ඔබ මුහුද මධ්‍යයේ ගැඹුරට මා හෙළූසේක, ජලධාරාවද මා වටකර තිබුණේය;

3 ඔබගේ රැළ හා ඔබගේ ජලකඳු සියල්ල මට උඩින් ගලාගියේය.

4 එවිට මම:

4 ඔබගේ ඇස් හමුයෙන් පහකරනු ලැබීමි;
4 එහෙත් ඔබගේ ශුද්ධ මාළිගාව දෙස නැවත බලන්නෙමියි කීමි.

5 ජලයෝ ප්‍රාණ හානිය දක්වා මා වටකරගත්තෝය;

5 ගැඹුර මා වටේට පැමිණියේය;
5 මුහුද පන් මාගේ ඉස වටේ එතුණේය.

6 කඳුවල පතුලට බැස්සෙමි;

6 පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය.
6 එහෙත්, මාගේ දෙවිවූස්වාමීන්වහන්ස,ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.

7 මා තුළ මාගේ ආත්මය ක්ලාන්තවූ විට මමස්වාමීන්වහන්සේසිහිකෙළෙමි.

7 මාගේ යාච්ඤාව ඔබ වෙතට, ඔබගේ ශුද්ධ මාළිගාවට, පැමිණියේය.

8 බොරු නිරර්ථක දේවල් සලකන්නෝ තමුන්ගේම රක්ෂස්ථානය හැර දමති.

9 එහෙත් මම ස්තුති හඬකින් ඔබට පූජා ඔප්පුකරන්නෙමි;

9 බාරවූ දේ ගෙවන්නෙමි.
9 ගැළවීම අයිතිස්වාමීන්වහන්සේටයයි කීවේය.

10 ස්වාමීන්වහන්සේමත්ස්‍යයාට කථාකලසේක, එවිට ඌ යෝනා ගොඩට වමාරාලුයේය.

3

යෝනා නිනිවයේ දේශනාකිරීම. සෙනඟ පසුතැවිලිව කමාව ලැබීම

1 ස්වාමීන්වහන්සේගේවචනය යෝනා වෙතට දෙවෙනි වර පැමිණ: 2 නුඹ නැගිට නිනිවය නම් මහත් නුවරට ගොස්, මා විසින් නුඹට කියන කාරණා එහි ප්‍රකාශකරන්නැයි කීසේක. 3 එවිට යෝනා නැගිටස්වාමීන්වහන්සේගේවචනයේ හැටියට නිනිවයට ගියේය. නිනිවය වනාහි තුන් දවසක ගමන් ප්‍රමාණවූ ඉතා මහත් නුවරක්ය. 4 යෝනා නුවරට ඇතුල්වෙන්ට පටන්ගෙන දවසක ගමන් යමින්: තව සතළිස් දවසකින් නිනිවය හෙළාදමනු ලැබේයයි කියා ප්‍රකාශකෙළේය. 5 එවිට නිනිවයෙහි මනුෂ්‍යයෝ දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසකොට, උපවාසයක් ප්‍රසිද්ධකර, ලොකු අය පටන් කුඩා අය දක්වා ගෝණිරෙදි ඇඳගත්තෝය. 6 ඒ ආරංචිය නිනිවයේ රජු වෙතට පැමුණුණු විට, හෙතෙම තමාගේ සිංහාසනයෙන් බැස, තමාගේ සළුව අහක තබා, ගෝණිරෙදි පෙරවාගෙන, අලු පිට හිඳගත්තේය. 7 තවද රජු සහ ඔහුගේ උත්තමයන්ගේ ආඥාව පිට: මනුෂ්‍යයෙක්වත් මෘගයෙක්වත් ගවයෙක්වත් බැටළුවෙක්වත් කිසිවක් රස නොබලත්වා. කිසි කෑමක් නොකත්වා, වතුර නොබොත්වා. 8 මනුෂ්‍යයාද මෘගයාද ගෝණිරෙදි පෙරවාගන, දෙවියන්වහන්සේට බලවත්ලෙස මොරගසත්වා. එසේය, ඔවුන් එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන්ද තමුන්ගේ අත්වල බලාත්කාරයෙන්ද හැරේවා. 9 අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙනසේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය. 10 එවිට ඔවුන්ගේ ක්‍රියා–එනම් තමුන්ගේ නපුරු මාර්ගයෙන් ඔවුන් හැරුණු බව–දෙවියන්වහන්සේ දැක, ඔවුන්ට කරමියි කීවාවූ විපත්තිය ගැන තැවී, ඒක නොකළසේක.

4

යෝනාගේ නොසතුටුභාවය. ස්වාමීන්වහන්සේගේ අනුකම්පාව

1 නුමුත් යෝනා ඊට අතිශයින් අප්‍රසන්නව, කෝපවිය. 2 ඔහුස්වාමීන්වහන්සේටයාච්ඤාකරමින්: අනේස්වාමීන්වහන්ස,මාගේ රටේ සිටියදීම මා කීවේ මෙය නොවේද? එබැවින් මම තර්ෂිෂ්ට පලායන්ට ඉක්මන් කෙළෙමි. මක්නිසාද ඔබ දයාවන්තවූ, අනුකම්පා ඇත්තාවූ, ඉවසිලිවන්තවූ, ඉතා කරුණාවන්තවූ, විපත්තිය ගැන තැවෙන්නාවූ දෙවිකෙනෙකු බව දැනගන සිටියෙමි. 3 ඉතින්,ස්වාමීන්වහන්ස,මාගේ ප්‍රාණය මාගෙන් තුරන්කරගත මැනව; ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය. 4 නුමුත්ස්වාමීන්වහන්සේ:කෝපවෙන්ට නුඹට යුතුදැයි කීසේක. 5 යෝනා නුවරින් පිටතට ගොස්, නුවරට නැගෙනහිරෙන් ඉඳගත්තේය, ඔහු එහි පැලක් සාදාගෙන නුවරට මක්වේද කියා බලන පිණිස ඒක යට සෙවණෙහි හිඳගත්තේ. 6 දෙවිවූස්වාමීන්වහන්සේලබු වැලක් නියමකර, යෝනා ඔහුගේ දුකින් මුදන්ට ඔහුගේ හිසට උඩින් සෙවණක් වීමට ඒක ඔහුට උඩින් යන්ට සැලැස්සූසේක. යෝනා ලබුවැල ගැන ඉතා ප්‍රීතිවුණේය. 7 එහෙත් පසුවදා පහන්වූ විට දෙවියන්වහන්සේ පණුවෙකු නියමකළසේක, ඌ ලබුවැල කෑ විට ඒක වියළී ගියේය. 8 තවද ඉර උදාවූ කල දෙවියන්වහන්සේ ග්‍රීෂ්මය ඇති පෙරදිග හුළඟක් නියමකළසේක; අව්ව යෝනාගේ ඉසට වැදී, ඔහු ක්ලාන්තවී, තමාගේ ප්‍රාණය හානිවෙන ලෙස ඉල්ලා: ජීවත්වීමට වඩා නැසීයාම මට හොඳයයි කීවේය. 9 ලබුවැල ගැන කෝපවෙන්ට නුඹට යුතුදැයි දෙවියන්වහන්සේ යෝනාට කීසේක. මැරෙන තරම් කෝපවෙන්ට මට යුතුයයි ඔහු කීවේය. 10 එවිටස්වාමීන්වහන්සේ:නුඹේ මාන්සිවීමක්වත් වැවීමක්වත් නැතුව රාත්‍රියකින් හටගෙන රාත්‍රියකින් නැතිවීගිය ලබුවැල කෙරෙහි නුඹ අනුකම්පාකෙළෙහිය. 11 එසේ නම්, තමුන්ගේ දකුණතවත් වමතවත් නොදන්න එක්ලක්ෂ විසිදහසකට වඩා මනුෂ්‍යයන්ද බොහෝ මෘගයන්ද සිටින්නාවූ නිනිවය නම්වූ ඒ මහත් නුවර කෙරෙහි මාත් අනුකම්පාකළ යුතු නොවේදැයි කීසේක.