ක්‍රිස්තියානි හැසිරීම පිළිබඳ උපදෙස්
1 ඔබ නම්, නිවැරදි ධර්මයට අනුකූල දේ ඉගැන්විය යුතු ය. 2 වයස්ගත පුරුෂයන්, තැන්පත්, තලතුනා, දැමුණු, තිරසර ඇදහිල්ලක් ද ප්‍රේමය ද ඉවසිල්ල ද ඇති අය විය යුතු ය. 3 එසේ ම වයස්ගත ස්ත්‍රීන් ද ශුද්ධ ජීවිතයකට ඔබින ලෙස හැසිරෙන, අපහාස නොනඟන, මත්පැනට ඇබ්බැහි නො වූ, යහපත් දේ උගන්වන අය විය යුතු ය. 4 මෙසේ විය යුතු වන්නේ, දේව වචනයට අපහාසයක් නොවන පිණිස, සිය පුරුෂයන්ටත්, දරුවන්ටත් ප්‍රේම කරමින්, 5 ආත්ම දමනය ඇති, නිර්මල ගෘහණියන් ලෙස, කරුණාවන්ත ව, සිය ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටීමට යෞවන භාර්යාවන් පුහුණු කරවනු පිණිස ය.
6 එසේ ම ආත්ම දමනය ඇති ව සිටීමට තරුණයන්ට අවවාද කරන්න. 7 සියල්ලෙහි දී ඔබ ම යහපත් ක්‍රියාවන්හි ආදර්ශයක් වන්න. ඔබ උගන්වන විට අවංක ව ප්‍රතිපත්තිගරුක ව සිටින්න. 8 විරුද්ධවාදීන්ට අප ගැන කිසි නපුරක් කීමට ඉඩක් නොතබා ඔවුන් ලජ්ජාවට පත් වන පිණිස, දෝෂාරෝපණයට ලක් කළ නොහැකි අයුරින් සාරවත් ගුරුකම් දෙන්න.
9 සියලු කාරණාවල දී තම ස්වාමිවරුන්ට යටත් ව සිටීමටත්, වාද නොකොට ඔවුන් සතුටු කිරීමටත් දාසයන්ට අවවාද කරන්න. 10 එසේ ම, සොරකම් නොකොට, සම්පූර්ණ විශ්වාසය ඇති ව සිටිමින් හැම අයුරින් ම අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ධර්මය බැබළවිය යුතු බව ඔවුන්ට උගන්වන්න.
කිතුනු සදාචාරයේ පදනම
11 සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත. 12+TIT අභක්තිය ද ලෞකික තෘෂ්ණා ද හැරදමා, ආශීර්වාද ලත් බලාපොරොත්තුව ගැනත්, අපගේ මහෝත්තම දෙවියන් වහන්සේ හා ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ තේජාන්විත ආගමනය ගැනත් බලා සිටිමින්, සිහිනුවණින් යුතු ව දැහැමි ලෙසත් භක්තිවන්ත ලෙසත් මෙලොව ජීවත් වන පිණිස ඒ දේව වරප්‍රසාදය අපට අනුශාසනා කරන්නේ ය. 14 සියලු අධර්මිෂ්ඨකම්වලින් අප පවිත්‍ර කරන පිණිසත්, අප උන් වහන්සේගේ තෝරාගත් සෙනඟක් කරන පිණිසත් යහපත කිරීමට අප උද්‍යෝගිමත් කරවන පිණිසත්, අප නිදහස් කරන පිණිසත්, උන් වහන්සේ අප උදෙසා දිවි පිදූ සේක.නික්ම 19:5; ද්වි.නී. 4:20; 7:6; 14:2; ගීතා 130:8; 1 පේදු 2:9
15 සම්පූර්ණ බලය ඇති ව මේ දේවල් උගන්වන්න, අනුශාසනා කරන්න, තරවටු කරන්න, ඔබ සුළු කොට සිතන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.
3කිතුනු යුතුකම්
1 නිලධාරීන්ට හා ආණ්ඩු බලය ඇත්තන්ට යටත් වී, කීකරු වීමට ද, සියලු යහපත් වැඩට සූදානම් ව සිටීමට ද ඔබේ සෙනඟට මතක් කරන්න. 2 එසේ ම කිසිවෙකු ගැන අගුණ නොකියන්නට ද කලහකාරී නොවී, සියලු මනුෂ්‍යයන් කෙරෙහි හැම අයුරින් කාරුණික ව, ආචාරශීලී ව සිටීමට ද මතක් කරන්න. 3 මන්ද, අපිත් වරක් අඥාන ව, අකීකරු ව සිටියෙමු. මුළා ව ගොස්, අනේකාකාර තෘෂ්ණාවලටත්, සැප සෙල්ලමටත් වහල් ව සිටියෙමු. කුඩුකේඩුකමිනුත් ඊර්ෂ්‍යාවෙනුත් හැසිරෙමින්, අන්‍යයන්ගේ වෛරය ලැබීමට සුදුස්සන් ව එකිනෙකාට වෛර කරමින් සිටියෙමු. 4 එහෙත් අපගේ ගැළවුම්කාර දෙවියන් වහන්සේගේ ගුණවත්කම හා ප්‍රේමය මනුෂ්‍යයන් කෙරෙහි ප්‍රකාශ වූ කල, 5 අප විසින් ම කළ දැහැමි ක්‍රියාවලින් නොව, හුදෙක් ස්වකීය දයාව ලෙස, පුනරුත්පාදනය නමැති ධෝවනයෙන් ද ශුද්ධාත්මයාණන් වහන්සේගේ අලුත් කිරීමෙන් ද උන් වහන්සේ අප ගැළෙව් සේක. 6 උන් වහන්සේගේ වරප්‍රසාදයෙන් අප දමිටු කරනු ලැබ, සදාතන ජීවනයේ බලාපොරොත්තුවට උරුමක්කාරයන් වන පිණිස, 7 උන් වහන්සේ අප ගැළවුම්කාර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන ශුද්ධාත්මයාණන් අධික ලෙස අප පිට වැගිරෙව් සේක.
8 මේ සියල්ල විශ්වාස කටයුතු ය; දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහීමට පැමිණි අය, යහපත් ක්‍රියාවන්හි යෙදී සිටීමට උනන්දුවක් ම දක්වන පිණිස ඔබ මේ දේවල් සහතික ලෙස කියන්නෙහි නම් මම කැමැත්තෙමි. මේ කී දේ මිනිසුන්ට යහපත් ය; වැඩදායක ය. 9 එහෙත්, අනුවණ තර්ක, පෙළපත් පිළිබඳ කතා, ආරාවුල්, ව්‍යවස්ථාව ගැන වාද විවාද යන මේවායින් වැළකී සිටින්න. මන්ද, ඒවා නිෂ්ඵල ය, නිරර්ථක ය. 10 භේදකාරී මනුෂ්‍යයාට වරක් දෙවරක් අවවාද කළ පසු ඔහුගෙන් අහක් වෙන්න. 11 මෙබඳු මනුෂ්‍යයා සිතින් දූෂ්‍ය වී සිටින බවත්, දැන දැන ම පව් කරන බවත්, තමා පිට විනිශ්චය පමුණුවා ගන්නා බවත් ඔබ දන්නෙහි ය.
අවසාන උවදෙස්
12 ක්‍රියා 20:4; එපී 6:21-22; කොලො 4:7-8; 2 තිමෝ 4:12 මා නිකපොලිසියෙහි ශීත කාලය ගත කරන්නට තීරණය කරගත් බැවින්, අර්තිමස් හෝ තුකිකස් හෝ ඔබ වෙත එවූ විට, ඔබ මා වෙත නොපමා ව එන්නට උත්සාහ කරන්න. 13 ක්‍රියා 18:24; 1 කොරි 16:12නීතිඥයෙකු වූ සේනාස්ට ද අපොල්ලොස්ට ද කිසිවකින් හිඟයක් නැති ව, ඔවුන්ගේ ගමන ඉක්මන් වන පිණිස හැකි තරමින් උපකාර කරන්න. 14 තවද, අපේ සෙනඟ නිෂ්ඵල ව කල් නොයවා, නියම අවශ්‍යතා සඳහා යහපත් වැඩවල යෙදී සිටීමට ඉගෙනගත යුතු ය.
15 මා සමඟ සිටින සියල්ලෝ ඔබට ආචාර කරති. ඇදහිල්ලෙහි අපගේ හිත මිතුරන් වන අයට ආචාර කරන්න.