හැඳින්වීම

ප්‍රේම ගී හෙවත් සලමොන්ගේ ගී යන පොතේ මනාලයෙකු හා මනාලියක අතරේ ඇති ප්‍රේමය සම්බන්ධයෙන් ගීත රැසක් ඇත. දෙවියන් වහන්සේගේ අමරණීය ප්‍රේමයේ ප්‍රකාශනයක් වශයෙන් මේ පොත, ජුදෙව් පාස්කු මංගලෝත්සවවල දී ප්‍රසිද්ධියේ කියවන ලදී. පිරිසිදු අඹු-සැමි ප්‍රේමයත්, අමරණීය දෙව්-මිනිස් ප්‍රේමයත් සම්බන්ධ බව මේ ගීවලින් ප්‍රකාශ වේ.

අඩංගු කරුණු:

පරිච්ඡේද 1:1; 2:7 පළමු වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 2:8; 3:5 දෙ වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 3:6; 5:1 තුන් වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 5:2; 6:3 සතර වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 6:4; 8:4 පස් වන ප්‍රේම ගීය.
පරිච්ඡේද 8:5-14 සය වන ප්‍රේම ගීය.
1

1 1 රාජා 4:32 සලමොන්ගේ ගීතවලින් ඉතා උතුම් ගීතය ය.

පළමු වන ගීතය

පෙම්වතී

2 ඔබේ සිඹීම්වලින් මා නෑවී ඇත.

2 ඔබේ ප්‍රේමය මිදියුසට වඩා සුමිහිරි ය.

3 ඔබේ සුවඳ විලවුන් සුමිහිරි ය.

3 ඔබේ නම වෑහෙන සුවඳ විලවුන් වැනි ය.
3 එබැවින් මුවැත්තියෝ ඔබට පෙම් වඩති.

4 මා ඔබ සමඟ ගෙන යන්න;

4 අපි එකට දුවමු.
4 මාගේ රජ තුමෙනි, ඔබේ විමනට මා ගෙන යන්න.
4 එකට සිටීම අපට මහා ප්‍රීතියක් වනු ඇත.
4 අපි ප්‍රේමයෙහි ඇලී ගැලී නෑවී සිටිමු.
4 සියලු කාන්තාවන් ඔබට පෙම් කිරීම පුදුමයක් ද?

5 ජෙරුසලම් වනිතාවෙනි, මා කේදාර් කූඩාරම් මෙන් කළු නමුත් රූප සම්පන්න ය;

5 සලමොන්ගේ මාලිගාවේ තිර මෙන් ශෝභන ය.

6 අව්ව මා පිට වැටීමෙන් මා මඳක් කළු වී සිටින නිසා මා හෙළා නොදකින්න.

6 මාගේ සොහොයුරෝ මා සමඟ කෝප වී මිදි වත්තේ වැඩ කරන්න මට නියම කළහ;
6 මා ගැන සලකන්න මට වේලාවක් නො වී ය;

7 මාගේ ප්‍රියාදර සොඳුර, මට මේ දේ කියන්න:

7 ඔබේ බැටළු රැළ කවන්න ගෙනයන්නේ කොතැනට ද?
7 ඉර මුදුන් වේලේ උන් ලග්ගන්නේ කොහේ ද?
7 අන් එඬේරුන්ගේ පට්ටි අතරේ ඔබ සොයන්න මට ඇති උවමනාව කුමක් ද?

පෙම්වතා

8 කාන්තාවන්ගෙන් ඉතා රුවැති සොඳුරිය, ඔබ මෙය නොදන්නෙහි නම්, රැළේ අඩි පාරේ ම ගමන් කර එඬේරුන්ගේ කූඩාරම් ළඟ ඔබේ එළු පැටවුන්ට කවන්න.

9 මාගේ සුන්දරිය, අශ්ව ධේනුවක පාරාවෝගේ රථවල අශ්වයන් කුල්මත් කරන සේ ඔබ මිනිසුන් කුල්මත් කරන්නෙහි ය.

10 ඔබේ කපොලු තලෙහි ඇති කෙස් රොදින් ද ඔබේ ගෙල වට ඇති මැණික් මාලාවලින් ද ඔබ අලංකාර වී ඇත.

11 රිදී පබුළු ඇති රන් මාලා ඔබට සාදා දෙන්නෙමි.

පෙම්වතී

12 රජ සිය යහනේ සිටිය දී මාගේ සුවඳ විලවුන් විහිදී ගියේ ය.

13 මා පෙම්වතා මා පියයුරු අතරේ හෙවී සිටින විට සුවඳලාටුවල සුවඳ ඇත්තේ ය.

14 මා පෙම්වතා මට එන්ගෙදියේ මිදි වතුවල වැවුණ වන මල් පියුම් පොකුරක් වැනි ය.

පෙම්වතා

15 මාගේ සොඳුරිය, ඔබ කොතරම් ශෝභා සම්පන්න ද?

15 ප්‍රේමයෙන් ඔබේ ඇස් බැබළෙන රඟ!

පෙම්වතී

16 මාගේ ප්‍රියය, ඔබ කොතරම් ශෝභන ද!

16 කොතරම් පියකරු ද!
16 අපේ යහන නිල් තණකොළ ය.

17 අපේ ගෙයි බාල්ක කිහිරි ගස් ය;

17 එහි පරාළ දේවදාර ගස් ය.
2

1 මම ෂාරොන්හි සෙව්වන්දියක් ය;

1 මිටියාවත්වල මානෙල් මලක් ය.

පෙම්වතා

2 කටු ගස් අතරේ මානෙල් මලක් යම් සේ ද යුවතියන් අතරේ මාගේ සොඳුරියත් එසේ ම ය.

පෙම්වතී

3 වනයේ ගස් අතරේ ජම්බු ගස් යම් සේ ද තරුණයන් අතරේ මාගේ පෙම්වතාත් එසේ ම ය.

3 ඒ රුක් සෙවණෙහි හිඳීමට මම ප්‍රිය කරමි;
3 එහි ඵල මා මුවට ඉමිහිරි ය.

4 ඔහු බොදුන් හලට මා ගෙනායේ ය.

4 මට උඩින් එසෙවු කොඩිය ප්‍රේමය ය.

5 වියළි මිදි පලවලින් මා ශක්තිමත් කරන්න;

5 ජම්බුවලින් මා පණ ගන්වන්න.
5 මන්ද, මම අනුරාගයෙන් ගිලන් වී සිටිමි.

6 ඔහුගේ වමත මාගේ හිස යට ඇත;

6 දකුණතින් ඔහු මා වැළඳගෙන ඇත.

7 ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙනා අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කුඹුරේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරන්න.

දෙ වන ගීතය

පෙම්වතී

8 අන්න, මා පෙම්වතාගේ කට හඬ;

8 කඳු මත පනිමින්, හෙල් පිට නඟිමින් බලන්න එන හැටි විගසින්.

9 මා පෙම්වතා මුවෙකු වැනි ය.

9 ඔහු මුව පැටවෙකු වැනි ය;
9 බිත්තිය අයිනේ සිටගෙන, කවුළුව දෙස බලමින් ඔහු සිටියි, ගරාදි අතරෙන් එබිකම් කරමින්;

10 මා පෙම්වතා මා අමතමින් මට මෙසේ කී ය:

10 “මා සුරතලිය, නැඟිටින්න;
10 මා සොඳුරිය, දැන් එන්න.

11 සිසිර කාලය දැන් පසු වී ඇත;

11 වැසි වරුසා නතර වී ඇත.

12 මිහි පිට මල් පිපී ඇත;

12 ගී ගයනා කාලය පැමිණ ඇත;
12 කොවුල් හඬ දසත පැතිර යත.

13 පැසුණු දිඹුල් පල ඉදෙන විට, මිදිවැල් සුවඳ හමන විට, මා සුරතලිය, නැඟිට එන්න;

13 මා සොඳුරිය, දැන් එන්න.

14 කඳු විවරවල, හෙල් කුහර තුළ මා පරෙවි දෙන, ඔබේ මුහුණ මට දකින්න දෙන්න;

14 ඔබේ කට හඬ මට ඇසෙන්නට දෙන්න;
14 ඔබේ කට හඬ මිහිරි ය;
14 ඔබේ මුහුණ සෝබන ය.”

15 මිදිවැල්වල මල් පිපී ඇති විට ඒවා වනසන සිවලුන්, කුඩා සිවලුන් අල්ලා ගන්න.

16 මාගේ පෙම්වතා මාගේ ය;

16 මම ඔහුගේ ය.
16 ඔහු මානෙල් අතරේ බැටළු රැළ කවයි.

17 මාගේ පෙම්වත, උදේ සුළං හමන තුරු, සෙවණැලි පහ වන තුරු බෙතෙල් කඳු පිට යන මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් හැරී එන්න.

3

1 රාත්‍රියෙහි මා යහනේ දී මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මම සෙවීමි.

1 ඔහු සෙවූ නමුත්, ඔහු මට සම්බ නො වී ය.

2 ඉතින් මම නැඟිට නුවර වීදිවල ද මංහන්දිවල ද ඇවිද මා සිතින් ප්‍රේම කරන තැනැත්තා සොයන්නෙමි.

2 ඔහු සෙවූ නමුත්, මට ඔහු සම්බ නො වී ය.

3 නුවර ඇවිදින මුර සෙබළුන් මට හමු වී “මා සිතින් ප්‍රේම කරන තැනැත්තා ඔබ දුටුවහු දැ”යි මම ඇසීමි.

4 මා මඳක් දුර ඔවුන් පසු කර ගිය විට මා සිතින් ප්‍රේම කරන තැනැත්තා මට සම්බ විය.

4 මම ඔහු අල්ලාගෙන, මාගේ මවුගේ ගෙදරටත්, මා උපන් කාමරයටත් ඔහු පමුණුවන තෙක් ඔහුට යන්න ඉඩ නුදුනිමි.

පෙම්වතා

5 “ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප දෙදෙන අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට කෙතේ දෙවි දේවතාවන්ගේ නාමයෙන් දිවුරා මට පොරොන්දු වන්න.”

තුන් වන ගීතය

ගායක පිරිස

6 ගන්ධ රස හා තුවරලාත්, වෙළෙන්දාගේ සියලු සුවඳ විලවුනුත් රැගෙන, දුම් කණු මෙන් කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?

7 බලන්න;

7 ඒ දෝලාවක නැඟී එන සලමොන් රජු ය.
7 ඉශ්රායෙල් බලවතුන්ගේ බලවත්තු සැටදෙනෙක් එය පිරිවරා සිටිති.

8 ඔව්හු සියල්ලෝ කඩු හරඹයෙහි දක්ෂයෝ ය.

8 සටනෙහි පළ පුරුද්ද ඇත්තෝ ය.
8 රැයේ ඇති විය හැකි ප්‍රහාර නිසා එකිනෙකා තම තමාගේ කඩුව කලවයේ බැඳගෙන සිටිති.

9 සලමොන් රජු තමන්ට සාදාගත් දෝලාව ලෙබනොන්හි ලීවලින් සාදන ලදී.

10 එහි කණු රිදීයෙන් ද එහි වහල රනින් ද සාදන ලදී.

10 එහි ආසන ජෙරුසලම් කාන්තාවන් විසින් ආදරයෙන් වියන ලද රත්නිල් රෙදිවලින් වසා ඇත.

11 සියොන් වනිතාවෙනි, පිටතට අවුත්, සලමොන් රජුගේ මඟුල් දිනයේ දී, ඔහුගේ සිතේ ප්‍රීතියේ දවසේ දී, ඔහුගේ මෑණියන් ඔහුගේ හිස මත තැබූ කිරුළ පැළඳ සිටින රඟ නරඹන්න.

4

පෙම්වතා

1 මාගේ ප්‍රිය සොඳුරිය, ඔබ රුව ඇත්තී ය;

1 එසේ ය, ඔබ රුව ඇත්තී ය.
1 ඔබේ මුහුණ වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ ඇස් පරෙවියන්ගේ ඇස් වැනි ය.
1 ඔබේ වරලස ගිලියද් කඳු බෑවුමෙහි ලැග සිටින එළු රැළක් වැනි ය.

2 ලොම් කපා නාවන ලද බැටළුවන් මෙන් ඔබේ දත් සුදු ය.

2 එකක්වත් අඩු නැත, මනා සේ ගැළපී ඇත.

3 ඔබේ තොල් රතු නූල් මෙන් ය.

3 ඔබේ මුඛය ශෝභමාන ය.
3 ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් මෙන් ය.

4 ඔබේ ගෙල බලවතුන්ගේ පලිස් දහසක් එල්ලා තිබෙන ආයුධ තැබීමට ගොඩනැඟුවා වූ දාවිත් රජුගේ කොත මෙන් ය.

5 ඔබේ දෙතන මානෙල් අතරේ ගොදුරු කන මුව දෙනකගේ නිවුන් පැටවුන් දෙදෙනෙකු වැනි ය.

6 දවාල සිසිල් වී සෙවණැලි පහ ව යන තුරු, මම ගන්ධ රස කන්දටත්, තුවරලා හෙලටත් යන්නෙමි.

7 මාගේ සොඳුරිය, ඔබ මුළුමනින් ම රුව ඇත්තී ය;

7 කැළලක් නැත්තී ය.

8 මාගේ මනාලිය, ලෙබනොන් සිට, එසේ ය, ලෙබනොන් සිට මා සමඟ එන්න සිංහයන්ගේ ගුහා වන, අඳුන් දිවියන්ගේ කඳු වන සෙනීර් සහ හෙර්මොන් කඳු මුදුනෙන් ද අමානා කඳු මුදුනෙන් ද බලන්න.

9 මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.

9 ඔබේ නෙතගින්, ඔබේ ගෙලේ එක මාලාවකින් ඔබ මාගේ සිත දිනාගත්තෙහි ය.

10 මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබේ ප්‍රේමය කොපමණ මිහිරි ද?

10 ඔබේ ප්‍රේමය මිදියුසටත්, ඔබේ විලවුන්වල සුවඳ සියලු සුවඳ ද්‍රව්‍යවලටත් වඩා කොපමණ අගනේ ද?

11 මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි.

11 ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ.
11 ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.

12 මාගේ සොහොයුරිය, මාගේ මනාලිය, ඔබ වැටකින් වට කළ උයනක් ය;

12 වසා තිබෙන ළිඳක් ය;
12 මුද්‍රා කර තිබෙන උල්පතක් ය.

13 එහි ගස් වැඩෙන්නේ ය;

13 ඒවා දෙළුම් උයනක් වැනි ය;
13 එහි ඉතා හොඳ ඵල හටගන්නේ ය.

14 ජටාමාංශ හා කුංකුමත්, වදකහ සහ කුරුඳුත්, සෑම තුවරලා ගසුත්, ගන්ධරස හා අගිල් ද සෑම ප්‍රධාන සුවඳ ද්‍රව්‍ය ද දරන ගසුත් එහි වැඩෙන්නේ ය.

15 දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ.

පෙම්වතී

16 එම්බා උතුරු සුළඟ, පිබිදෙන්න;

16 දකුණු සුළඟ, එන්න.
16 මාගේ උයනේ සුවඳ විහිද යන පිණිස ඊට උඩින් හමා යන්න.
16 මාගේ පෙම්වතා තමාගේ උයනට අවුත් තමාගේ අනර්ඝ ඵල අනුභව කරා වා!
5

පෙම්වතා

1 මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි.

1 මී වදේ සමඟ මී පැණි කෑවෙමි.
1 කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි.
1 මිත්‍රයෙනි, කන්න;
1 ප්‍රිය තැනැත්තෙනි, බොන්න.
1 එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න.

හතර වන ගීතය

පෙම්වතී

2 මම නිදාගෙන සිටියෙමි.

2 එහෙත්, මාගේ සිත පිබිද තිබිණි.
2 අන්න, මාගේ පෙම්වතා දොරට තට්ටු කරන හඬ මට ඇසේ.
2 ඔහු මා අමතමින් මෙසේ කී ය;
2 මා සොහොයුරිය, මා සොඳුරිය, මා පරෙවි දෙන, මා නිර්මල තැනැත්ති ය, මට දොර අරින්න.
2 මන්ද, මාගේ හිස පින්නෙනුත්, මාගේ වරලස රෑ පිණිබිංදු වලිනුත් පෙඟී තිබේ.

3 මාගේ හැට්ටය ගලවා තැබීමි.

3 මා එය යළිත් අඳින්න ද?
3 මා පාද සේදීමි;
3 ඒවා මා කෙසේ කිළුටු කරම් ද?

4 මා පෙම්වතා දොර සිදුරෙන් අත දැමූ විට මාගේ හදවත ප්‍රීතියෙන් ඉපිලී ගියේ ය.

5 මා පෙම්වතාට දොර අරින්න මම නැඟිට්ටෙමි.

5 දොරේ අගුල ඇල්ලූ විට ගන්ධරසය මාගේ අත්වල ද දියර ගන්ධරස මාගේ ඇඟිලිවල ද තැවරිණි.

6 මා පෙම්වතාට මම දොර ඇරියෙමි.

6 එහෙත්, මා පෙම්වතා නික්ම ගොස් තිබිණි.
6 ඔහු කතා කළ විට මට සිහි නැති විය.
6 මම ඔහු සෙවීමි;
6 එහෙත්, සම්බ නො වී ය.
6 මා ඔහුට අඬගැසූ නමුත්, ඔහු මට පිළිතුරු නොදිනි.

7 නුවර මුර සෙබළු මට හමු වී මට පහර දී තුවාළ කළහ.

7 පවුරුවල රැකවල්ලු මාගේ පොරෝණය මාගෙන් පැහැරගත්හ.

8 ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා ඔබට හමු වුවොත්, මා ප්‍රේමාතුර ව සිටින බව ඔහුට දන්වන බවට මට දිවුරා කියන්න.

ගායක පිරිස

9 කාන්තාවන්ගෙන් ඉතා ශෝභන තැනැත්තිය, අන් පෙම්වතෙකුට වඩා ඔබේ පෙම්වතාට ඇති අමුතු දෙය කුමක් ද?

9 ඔබ මෙසේ අපට දිවුරන්න කියන්නේ අන් පෙම්වතෙකුට වඩා ඔබේ පෙම්වතාට ඇති කුමන අමුතු දේ නිසා ද?

පෙම්වතී

10 මා පෙම්වතා කඩවසම් ය;

10 දස දහසක් අතරේ සොයාගත හැකි ඔහු උත්තමයෙකි.

11 ඔහුගේ හිස ඉතා පිවිතුරු රත්රන් මෙන් ය.

11 ඔහුගේ කෙස් රොද රැලි සහිත ය;
11 කපුටුවෙකුගේ මෙන් කාලවර්ණ ය.

12 ඔහුගේ දෙනෙත් කිරෙන් සේදී, හොබනා ලෙස ඇල දොළ ළඟ සිටින පරෙවියන් වැනි ය.

13 ඔහුගේ දෙකොපුල් සුවඳ ගස් පාත්තියක් ද සුවඳ පැළ ඇති පස් කඳු ද මෙන් ය.

13 ඔහුගේ දෙතොල් මානෙල් මෙනි;
13 දියර ගන්ධරස එයින් වෑස්සෙන්නේ ය.

14 ඔහුගේ දෑත පුෂ්ටිමත් ය;

14 ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත.
14 ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.

15 ඔහුගේ කෙණ්ඩා අමිශ්‍ර රන් අඩි පිට පිහිටා තිබෙන සුදු ගල් කණු වැනි ය.

15 ඔහුගේ ස්වරූපය ලෙබනොන් කඳු මෙන් තේජාන්විත ය.
15 කිහිරි ගස් මෙන් අසමසම ය.

16 ඔහුගේ මුඛය ඉතා මිහිරි ය.

16 එසේ ය, ඔහු මුළුමනින් ම පියකරු ය.
16 ජෙරුසලම් වනිතාවෙනි, මාගේ පෙම්වතා මේ ආකාර ය;
16 මාගේ මිත්‍රයා මෙබන්දෙක් ය.
6

ගායක පිරිස

1 වනිතාවන්ගෙන් ඉතා රූමත් තැනැත්තිය, ඔබේ පෙම්වතා කොතැනට ගියේ ද?

1 ඔබේ පෙම්වතා කොයි දෙසට හැරී ගියේ ද?
1 අපි ඔබ සමඟ ඔහු සොයන්නෙමු.

පෙම්වතී

2 මා පෙම්වතා උයන්වල බැටළු රැළ කවන පිණිසත්, මානෙල් මල් නෙළා ගන්න පිණිසත් තම උයනෙහි සුවඳ පැළ ඇති පාත්තිවලට ගියේ ය.

3 මම මා පෙම්වතාගේ ය;

3 මා පෙම්වතා මාගේ ය.
3 ඔහු මානෙල් අතරේ තම රැළ කවයි.

පස් වන ගීතය

පෙම්වතා

4 මාගේ සොඳුරිය, ඔබ තිර්සා නගරය මෙන් අලංකාර ය.

4 ජෙරුසලම මෙන් ශෝභන ය.
4 කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න ව සිටින්නෙහි ය.

5 ඔබේ දෙනෙත මා වෙතින් ඉවතට හරවාගන්න;

5 මන්ද, ඒවා මා වසඟ කරයි.
5 ඔබේ වරලස ගිලියද්හි ලැග ඉන්න එළු රැළක් වැනි ය.

6 ලොම් කපා නාවන ලද බැටළුවන් මෙන් ඔබේ දත් සුදෝ සුදු ය.

6 එකක්වත් අඩු නැත;
6 මනා සේ ගැළපී ඇත.

7 ඔබේ මුහුණු වැස්මට ඇතුළෙන් තිබෙන ඔබේ දෙකපොල දෙළුම් පළු වැනි ය.

8 බිසෝවරුන් සැටක් ද උපභාර්යාවන් අසූවක් ද ගණන් කළ නොහැකි තරුණියන් ද සිටියත්,

9 මාගේ පරෙවි දෙනට, මාගේ නිර්මල තැනැත්තියට සම වූ අන් කෙනෙක් නැත.

9 ඈ ඇගේ මවගේ එක ම දැරිය ය;

9 ඈ බිහි කළ මවගේ ප්‍රියතම තැනැත්තී ය.
9 වනිතාවෝ ඈ දැක ‘ඈ වාසනාවන්තී ය’යි කී හ.
9 එසේ ය, බිසෝවරු ද උපභාර්යාවෝ ද ඇය දැක ඇය වර්ණනා කළහ.

10 අරුණාලෝකය මෙන් නැඟී එන, සඳ මෙන් රුව ඇති, ඉර මෙන් දිළිසෙන, කොඩිගත් සේනාවක් මෙන් බලසම්පන්න මේ තැනැත්තී කවරෙක් ද?

11 මම මිටියාවතේ ගස් කොළන් බලන පිණිසත්, මිදි වැල් දලු ලෑවේ ද කියාත්, දෙළුම් ගස්වල මල් පිපුණේ ද කියාත් බලන පිණිසත් කොට්ටම්බා උයනට බැස ගියෙමි.

12 මම වෙවුලමින් සිටිමි;

12 යුද රියේ නියමුවා සටන පතන සේ ඔබේ ප්‍රේමය පතන්නට ඔබ මා උනන්දු කරවා ඇත.

ගායක පිරිස

13 ෂුලම්මිය කාන්තාව, හැරී එන්න, හැරී එන්න, අප ඔබ නරඹන පිණිස හැරී එන්න, හැරී එන්න.

පෙම්වතී

13 නරඹන්නන් අතර මා නටන විට ඔබ මා බලන්න කැමැති වන්නේ මන් ද?
7

පෙම්වතා

1 රාජ කුමරුවාණන්ගේ දියණියනි, වහන් ලා ගත් ඔබේ පා සඟළ කෙතරම් මනහර ද?

1 ඔබේ කලවා සන්ධි කලා ශිල්පියෙකුගේ කෘතියක් වැනි ය.

2 ඔබේ නාභිය මිදියුස පිරුණු, වටකුරු පාත්‍රයක් වැනි ය.

2 ඔබේ උදරය මානෙල් මලින් වට වූ තිරිඟු ගොඩක් වැනි ය.

3 ඔබේ පියයුරු නිවුන් මුව පැටවුන් දෙදෙනෙකු වැනි ය.

4 ඔබේ ගෙල ඇත්දත් කුළුණක් වැනි ය.

4 ඔබේ ඇස් හෙෂ්බොන් නුවරෙහි බැත්-රබ්බිම් දොරටුව ළඟ තිබෙන පොකුණ වැනි ය.
4 ඔබේ නාසය දමස්කය මුර කරන ලෙබනොන් කොත වැනි ය.

5 ඔබ ඔසවාගෙන සිටින හිස කර්මෙල් කන්ද වැනි ය.

5 ඔබේ ගොතන ලද වරලස රත්නිල් කෙඳි වැනි ය.
5 රජ තෙමේ ඒ කෙස් කළඹින් වසඟ වී සිටියි.

6 එම්බා සොඳුරිය, ප්‍රීතිය වඩවන්න ඔබ කොපමණ ශෝභන ද?

6 ඔබේ ප්‍රේමය ප්‍රියජනක ය.

7 මේ ඔබේ උස ප්‍රමාණය තල් ගසකටත්, ඔබේ පියයුරු මිදි පොකුරුවලටත් සමාන ය.

8 ‘මම තල් ගසට නැඟී එහි අතු අල්ලන්නෙමි’යි කීමි.

8 ඔබේ පියයුරු මිදි පොකුරු මෙන් ද ඔබේ හුස්මේ සුවඳ ජම්බු මෙන් ද

9 ඔබේ මුඛය ඉතා අනගි මිදියුස මෙන් ද වේ වා!

9 ඒ මිදියුස මා පෙම්වතා වෙත ඔහුගේ දෙතොල් පිටත්, දත් පිටත් ගලා යේ වා!

පෙම්වතී

10 මම මාගේ පෙම්වතාගේ ය;

10 ඔහුගේ ආශාව ද මා කෙරෙහි ය.

11 මාගේ පෙම්වත, එන්න, අපි පිටිසරට ගොස්, ගම්වල නැවතී සිටිමු.

12 අපි අලුයම නැඟිට මිදි වතුවලට ගොස්, මිදි වැල් දලු ලා මල් පිපුණේ ද දෙළුම් ගස්වල මල් පිපී තිබේ ද කියා බලමු.

12 එහි දී මාගේ ප්‍රේමය ඔබට පිරිනමන්නෙමි.

13 දුදා ඵල සුවඳක් විහිදුවයි.

13 අපේ දොරටු ළඟ අලුත් ද පරණ ද සියලු ආකාර අනර්ඝ පලතුරු ඇත.
13 මාගේ පෙම්වත, ඒවා ඔබ උදෙසා තබාගතිමි.
8

1 අනේ!

1 ඔබ මාගේ මවුගේ පියයුරුවලින් කිරි බීවා වූ මාගේ සොහොයුරා මෙන් වී නම් මම කැමැත්තෙමි.
1 එවිට පිටත දී ඔබ මට හමු වූ කල ඔබ මා සිඹගත්තත් කිසිවෙක් මා හෙළා නො දක්නේ ය.

2 මම ඔබ ගෙනගොස් මාගේ මවුගේ ගෙට පමුණුවන්නෙමි.

2 ඔබ මට උගන්වන්නෙහි ය.
2 මිශ්‍ර කළ මුද්‍රික පානය ද දෙළුම් යුස ද මම ඔබට බොන්න දෙන්නෙමි.

3 ඔබේ වමත මාගේ හිස යට තිබේ.

3 ඔබේ දකුණත මා වැළඳගෙන ඇත.

පෙම්වතා

4 ජෙරුසලම් වනිතාවෙනි, ඔබ අප අතර ඇති ප්‍රේමයට බාධා නොකරන බවට දිවුරුම් දෙන්න.

හය වන ගීතය

ගායක පිරිස

5 තම පෙම්වතා අතින් අත ගෙන කාන්තාරයෙන් නැඟී එන මේ තැනැත්තිය කවරෙක් ද?

5 ජම්බු ගස යට දී මම ඔබ පිබිදෙවුවෙමි.
5 ඔබ උපන්නේ එහි දී ය;
5 ඔබේ මව ප්‍රසව වේදනාව වින්දේ එහි දී ය.

පෙම්වතා

6 ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න;

6 ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න.
6 මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය;
6 රාගය මිනීවළ මෙන් කෲරතර ය.
6 එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි.
6 එය බුර බුරා ඉහළ නඟියි.

7 මහා දිය දහරින් ප්‍රේමය නිවිය නොහැකි ය;

7 මහා ගංවතුරට එය යට කළ නොහැකි ය.
7 මිනිසෙකු ප්‍රේමය දිනාගන්නට තමාගේ ගෙයි සියලු සම්පත දුන්නත්, ඔහුට ලැබෙන්නේ අවමානය පමණකි.

පෙම්වතියගේ සහෝදරයෝ

8 අපට කුඩා සහෝදරියක් සිටින්නී ය;

8 තවමත් ඇයට පියයුරු නැත.
8 අපේ සහෝදරීට මංගල යෝජනාවක් කරන දවසේ දී අපි ඈ ගැන කුමක් කරමු ද?

9 ඈ පවුරක් නම්, ඈ පිට රිදී කොතක් ගොඩ නඟන්නෙමු.

9 ඈ දොරක් නම්, කිහිරි ලීවලින් ඈ වට කරන්නෙමු.

පෙම්වතී

10 මම පවුරක් මෙන් සිටිමි.

10 මාගේ පියයුරු එහි කොත් කුළුණු ය.
10 ඒ නිසා මා පෙම්වතා අබිමුව ලත් දෙයින් තුටු වී සාමයෙන් සිටිමි.

පෙම්වතා

11 බාල්-හාමොන්හි සලමොන්ට මිදි වත්තක් තිබුණේ ය.

11 ඔහු ඒ මිදි වත්ත බලන්නන්ට බාර දුන්නේ ය.
11 එහි ඵල වෙනුවට රිදී දහසක් බැගින් ගෙනෙන්නට එකිනෙකාට නියම විය.

12 මට ම අයිති මිදි වත්තක් තිබේ.

12 සලමොන්, ඔබට දහසක් ද එහි ඵල බලාගන්නන්ට දෙසියයක් ද දෙනු ලැබේ වා!

13 උයන්වල සිටින තැනැත්තිය, මාගේ මිතුරෝ ඔබේ හඬට සවන් දෙති.

13 එය මට අසන්න ලැබේ වා!

පෙම්වතී

14 මා පෙම්වත, ඉක්මන් කොට, සුවඳ ගස් ඇති කඳු පිට, තිත් මුවෙකු නොහොත් මුව පැටියෙකු මෙන් යුහුසුලු ව එන්න.