2

පාවුලු තුමා කොලොස්සිවරුන් වෙනුවෙන් වෙහෙසීම

1 ඔබ උදෙසාත්, ලවෝදීසයේ වැසියන් උදෙසාත්, පෞද්ගලික වශයෙන් මා නුදුටු සියල්ලන් උදෙසාත් මා කෙතරම් අධික ලෙස වෙහෙස මහන්සි දරනවා දැ යි ඔබට දන්වන්නට කැමැත්තෙමි. 2 මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය. 3 උන් වහන්සේ තුළ ප්‍රඥාවේත් දැනගැන්මේත් සකල ධන සම්භාරය නිදන් වී ඇත.

4 මා මෙසේ කියන්නේ කිසිවකුගේ බොරු චාටුවලින් ඔබ මුළා නොවන පිණිස ය. 5 මම ශරීරාකාරයෙන් ඈත් ව සිටින නමුත්, ආධ්‍යාත්මයෙන් ඔබ සමඟ සිටිමින්, ඔබගේ විනයානුකූල හැසිරීමත්, ක්‍රිස්තුන් වහන්සේ තුළ ඇති ඔබගේ ඇදහිල්ලේ ස්ථීරකමත් දැක ප්‍රීති වෙමි.

පරිපූර්ණ ක්‍රිස්තියානි ජීවිතය

6 එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. 7 උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න.

8 ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න. 9 මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි. 10 සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත.

11 උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි. 12 රෝම 6:4මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය. 13 එපී 2:1-5ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක. 14 එපී 2:15අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. 15 මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.

16 රෝම 14:1-6 එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න. 17 ඒවා පැමිණෙන්නට තිබුණු දේවල ඡායාවක් පමණි. ඒ දේවල යථා තත්ත්වය ක්‍රිස්තුන් වහන්සේ ය. 18 තපස් රැකීම නිසා හෝ දේවදූත වන්දනා මාන නිසා හෝ විශේෂ දර්ශන නිසා හෝ උඩඟු වූ කිසිවෙකුට, ඔබට හිමි තැනින් ඔබ පහ කිරීමට ඉඩ නොදෙන්න. එබඳු අය කෙලෙස් සිතින් බැඳී පුහු අභිමානයෙන් උද්දාම වී සිටිති. 19 එපී 4:16ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.

ලෝකයෙන් ජය ගැනීම

20 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරී, ලෝකයේ භූතාධිපතීන්ගෙන් ජය ගත්තහු නම් තව ම ලෝකයට අයිති වූවන් මෙන් ජීවත් වෙමින්, 21 ‘මේවාට අත නොගසනු’, ‘මේවා අනුභව නොකරනු’, ‘මේවා ස්පර්ශ නොකරනු’ යන නියෝග වලට යටත් වන්නේ මන් ද? 22 මනුෂ්‍යයා පැනවූ මේ නියෝග, භාවිතා කළ පසු කුණු වී යන දේ පිළිබඳ ව ය. 23 තමන් ම මවාගත් නමස්කාර ක්‍රම නිසාත්, ව්‍යාජ නිහතමානීකම නිසාත්, ශරීරයට වද දීම නිසාත්, බැලූ බැල්මට ඒ නියෝගවල වටිනාකමක් ඇති සේ පෙනුනත් මාංසික තෘෂ්ණා මැඬලීමට ඒවායින් කිසි රුකුලක් නොලැබේ.

3

පරණ ජීවිතය සහ අලුත් ජීවිතය

1 ගීතා 110:1 ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබූ බැවින්, දෙවියන් වහන්සේගේ දකුණු පස වැඩ හිඳින ක්‍රිස්තුන් වහන්සේ වැඩ සිටින තැන ඇති, ලොව්තුරු දේ ප්‍රාර්ථනා කරන්න. 2 ලෞකික දේ කෙරෙහි නොව, ලොව්තුරු දේ කෙරෙහි ඔබේ සිත යොමු කරන්න. 3 මන්ද, ඔබ මැරුණු බැවින් දැන් ඔබේ ජීවිතය ක්‍රිස්තුන් වහන්සේ සමඟ දෙවියන් වහන්සේ තුළ සැඟවී පවතියි. 4 අපේ ජීවනය වන ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ වන විට, ඔබත් උන් වහන්සේ සමඟ තේජසින් ප්‍රකාශ වනු ඇත.

5 එබැවින් කාමමිථ්‍යාචාරය, අපිරිසිදුකම, කාමරාගය, නපුරු තෘෂ්ණා සහ රූප වැඳීමක් වැනි තණ්හාව යන කාමුක දුසිරිත් නසාදමන්න. 6 මේ දේ නිසා අකීකරු වන අය පිට දේව උදහස පැමිණෙනු ඇත. 7 ඔබත් එක් කාලයක දී ඔවුන් මෙන් මේ දුසිරිත්වල ඇලීගැලී ජීවත් වූවහු ය.

8 එහෙත් දැන් ඔබ ඒ සියල්ල, එනම්, උදහස, කෝපය, කුඩුකේඩුකම, අපවාදය, අසභ්‍ය කතා මුලිනුපුටා දමන්න. 9 එපී 4:22එකිනෙකාට බොරු නොකියන්න. මන්ද ඔබ පරණ ස්වභාවය එහි දුසිරිත් සමඟ ඉවත ලා, 10 උත් 1:26; එපී 4:24අලුත් ස්වභාවයකින් සැරසී සිටින්නහු ය. දෙවියන් වහන්සේ පිළිබඳ සම්පූර්ණ දැනගැන්මට ඔබ පමුණුවන පිණිස, ඒ අලුත් ස්වභාවය එහි මැවුම්කාරයාණන්ගේ රූපය අනුව උන් වහන්සේ නිරන්තරයෙන් අලුත් කරන සේක. 11 ඒ අලුත් ජීවිතයෙහි ග්‍රීක ජුදෙව් කියා වත්, චර්මඡේදිත අචර්මඡේදිත කියා වත්, ම්ලේච්ඡ ශිෂ්ට කියා වත්, දාස නිර්දාස කියා වත් භේදයක් නැත. ඇත්තේ සියල්ලන් තුළ, සියල්ල වන, ක්‍රිස්තුන් වහන්සේ පමණෙකි.

12 එපී 4:2 එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න. 13 එපී 4:32එකිනෙකා ගැන ඉවසමින් යමෙකුට විරුද්ධ ව පැමිණිල්ලක් ඇත්නම්, එකිනෙකාට කමා කරන්න. සමිඳාණන් වහන්සේ ඔබට කමා කළාක් මෙන් ඔබත් එකිනෙකාට කමා කළ යුතු ය. 14 මේ සියල්ලට ඉහළින්, සියල්ල සම්පූර්ණ ලෙස ඒකාබද්ධ කරන ප්‍රේමයෙන් සැරසෙන්න. 15 ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කෙරේ වා! එක ම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහා ය. කෘතඥතාව ද දක්වන්න. 16 එපී 5:19-20ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න. 17 තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.

පවුලේ හා සමාජයේ යුතුකම්

18 එපී 5:22; 1 පේදු 3:1 භාර්යාවෙනි, කිතුනුවන්ගේ යුතුකම ලෙස ඔබේ පුරුෂයන්ට යටත් ව සිටින්න.

19 එපී 5:25; 1 පේදු 3:7 පුරුෂයෙනි, රළු පරුෂ නොවී ඔබේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.

20 එපී 6:1 දරුවෙනි, සියලු කාරණාවල දී දෙමව්පියන්ට කීකරු වන්න. මන්ද, ඔබ එසේ කිරීම සමිඳාණන් වහන්සේට ප්‍රීතියකි.

21 එපී 6:4 පියවරුනි, ඔබේ දරුවන් කුපිත නොකරන්න. එසේ කළොත් ඔවුන් කලකිරෙනු ඇත.

22 එපී 6:5-8 දාසයෙනි, ඔබේ සමිඳාණන් වහන්සේට ගෞරව දැක්වීමක් වශයෙන් ඔබේ මෙලොව ස්වාමිවරුන්ට සියලු කාරණාවල දී කීකරු වන්න. මූණිච්චාවට ඔවුන් සතුටු කරන අදහසින් නොව, අවංක සිතින් සේවය කරන්න. 23 ඔබ කරන කොයි දෙයක් වුවත්, මනුෂ්‍යයන් උදෙසා නොව, සමිඳාණන් වහන්සේ උදෙසා කරන දෙයක් මෙන් මුළු සිතින් කරන්න. 24 සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ විපාකය ඔබට දෙන බව සිහි කරන්න. මන්ද, ඔබ සේවය කරන්නේ ඔබේ ස්වාමීන් වන ක්‍රිස්තුන් වහන්සේට ය. 25 ද්වි.නී. 10:17; එපී 6:9වැරදි කරන්නා තමා කරන වැරදිවල පල විපාකය ලබන්නේ ය. දෙවියන් වහන්සේ මිනිසුන්ගේ තරාතිරම් නොබලන සේක.

4

1 එපී 6:9 ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න.

ධර්මානුශාසනා

2 අවදිව, ස්තුතිවන්තකමෙන් යුක්ත ව නොකඩව යාච්ඤාවේ යෙදී සිටින්න. 3 ඒ සමඟ ම ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ අබිරහස ප්‍රකාශ කරන පිණිස දහම් පණිවුඩය දේශනා කරන්නට දෙවියන් වහන්සේ අපට දොරක් ඇර දෙන ලෙස යාච්ඤා කරන්න. මා දැන් හිරභාරයේ සිටින්නේ ඒ සඳහා ම ය. 4 හැකි පමණ පැහැදිලි ලෙස එය ප්‍රකාශ කිරීමට මට වරම් ලැබෙන සේ යාච්ඤා කරන්න.

5 එපී 5:16 ක්‍රිස්තියානි නොවන අය සම්බන්ධයෙන් සිහි නුවණින් ක්‍රියා කරන්න. ඒ සඳහා හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න. 6 රස මුසු, සිත් පිණවන බසින් කතා කරන්න. හැම කෙනෙකුට නිසි පිළිතුරු දිය යුත්තේ කෙසේ දැ යි දැන ගන්න.

අවසාන සුබ පැතුම්

7 ක්‍රියා 20:4; 2 තිමෝ 4:12 එපී 6:21-22සමිඳාණන් වහන්සේගේ සේවයෙහි ප්‍රේමවන්ත සහෝදරයෙකු ද විශ්වාසවන්ත සේවකයෙකු ද හවුල් දාසයෙකු ද වන තුකිකස් මා ගැන සියලු තොරතුරු ඔබට දන්වනු ඇත. 8 ඔහු ඔබ වෙත එවන්නේ අප ගැන ආරංචි ඔබට දන්වා, ඔබේ සිත් ධෛර්යවත් කරන පිණිස ය. 9 පිලෙ 10-12ඔබේ ම කෙනෙකු වන, විශ්වාසවන්ත ප්‍රේමවන්ත සහෝදරයා වන ඔනේසිමස් ද, තුකිකස් සමඟ ඔබ වෙත එවමි. මෙහි තොරතුරු ඔවුන් ඔබට දන්වනු ඇත.

10 ක්‍රියා 12:12,25; 13:13; 15:37-39; 19:29; 27:2; පිලෙ 24 මා සමඟ එකට හිරකාරයෙකු ව සිටින අරිස්තාර්කස් ද බාර්ණබස්ගේ මස්සිනා වන මාක් ද ඔබට ආචාර කරති. මාක් සම්බන්ධයෙන් ඔබ උපදෙස් ලබා ඇත. ඔහු ඔබ වෙතට ආවොත් සාදරයෙන් පිළිගන්න. 11 යුස්තස් කියන ජේසුස් ද, එසේ ම ආචාර කරයි. චර්මඡේදිත ජුදෙව්වන්ගෙන් හැරුණු අය අතුරෙන් මේ තිදෙනා පමණක් මා සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය උදෙසා සේවය කරති. ඔව්හු මට මහත් සැනසිල්ලකි.

12 කොලො 1:7; පිලෙ 23 ඔබේ ම කෙනෙකු වන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, එපප්‍රස් ද ඔබට ආචාර කරයි. ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් ගැති ව, ස්ථීර අධිෂ්ඨානයෙන් සිටින පිණිස ඔහු ඉතා ඕනෑකමින් නොකඩව යාච්ඤා කරයි. 13 ඔහු ඔබ උදෙසාත් ලවෝදීසයෙහි හා හියරපොලිසෙහි සිටින්නන් උදෙසාත් බොහෝ සේ වෙහෙසෙන බවට මම පෞද්ගලික වශයෙන් සාක්ෂි දරමි. 14 2 තිමෝ 4:10,11; පිලෙ 24අපේ හිතවත් ලූක් නම් වෛද්‍යවරයා ද දේමස් ද ඔබට ආචාර කරති.

15 ලවෝදීසයෙහි සිටින සහෝදරයන්ටත්, නිම්පාටත්, ඇගේ ගෙදර රැස් වන සභාවටත් ආචාර කරන්න. 16 මේ ලියුම ඔබ අතර කියවූ පසු ලවෝදීසයේ සභාවෙහි ද එය කියවන්නට සලස්වන්න. එසේ ම ලවෝදීසයෙන් ලැබෙන ලියුම ද ඔබ අතර කියවන්න. 17 පිලෙ 2“සමිඳාණන් වහන්සේ ඔබට පැවරූ සේවය සම්පූර්ණ කිරීමට වගබලාගන්නැ”යි අර්කිපස්ට කියන්න.

18 පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියමි. සිරගත වී සිටින මා සිහි කරන්න. ඔබට කරුණාව වේ වා!