මුළාකරන්නාගේ පැමිණීම
1 1 තෙස 4:15-17 සහෝදරවරුනි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආගමනය ගැන ද උන් වහන්සේ හමුවෙහි අප එක් රැස් වීම ගැන ද දැන් අප කතා කළ යුතු ය. 2 සමිඳාණන් වහන්සේගේ දවස දැනට ම පැමිණ ඇතැ යි දැක්වෙන දිවැස් වැකියකින් හෝ, ආරංචියකින් හෝ, අපෙන් යයි කියන හසුනකින් හෝ, පහසුවෙන් වියවුල් නොවන හැටියටත්, නොකැළඹෙන හැටියටත්, අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු. 3 කිසිවෙකුට කිසිසේත් ඔබ රවටන්නට ඉඩ නාරින්න. මන්ද, ඇදහිල්ලෙන් වැටී යෑම ද, විනාශයේ පුත්‍රයා වන නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වීම වන තුරු ද, ඒ දවස නොපැමිණේ. 4 දානි 11:36; එසකි 28:2ඔහු මිනිසුන් දෙවියන් කොට සලකන සියල්ලන්ට ද, මිනිසුන් නමස්කාර කරන සියල්ලන්ට ද විරුද්ධ ව සිට, ඒ හැමට වඩා තමා උසස් කරගනිමින්, දේව මාලිගාවෙහි වැඩහිඳ තමා දෙවියන් වහන්සේ යයි ප්‍රකාශ කරන්නේ ය.
5 මා ඔබ සමඟ සිටිය දී මේ කාරණා ඔබට කී බව මතක නැද් ද? 6 ඒ නොපනත්කමේ මනුෂ්‍යයා නියම කාලයේ දී ප්‍රකාශ වන පිණිස, දැනට ඔහු වළක්වාලන්නේ කිමෙක් දැ යි ඔබ දන්නහු ය. 7 නොපනත්කමේ අබිරහස දැනුදු එසේ ම ක්‍රියා කරයි. එහෙත් වළක්වා ලන තැනැත්තා ඉවත් කරනු ලැබුවායින් පසු, රහසිගත කිසිවක් නොපවතී. 8 යෙසා 11:4එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක. 9 මතෙ 24:24නොපනත්කමේ මනුෂ්‍යයා සාතන්ගේ බලයෙන් යුක්ත ව පැමිණ, සියලු ආකාර ව්‍යාජ ප්‍රාතිහාර්ය ද අරුමපුදුම දේ ද ප්‍රබල ක්‍රියා ද කරන්නේ ය. 10 විනාශයට නියම වූ අය, ගැළවීම අත්කර දෙන සත්‍යය ප්‍රේමයෙන් නොපිළිගත් බැවින්, දුෂ්ට ලෙස රවටනු ලබන්නෝ ය. 11 ඔවුන් අසත්‍ය දේ විශ්වාස කරන පිණිස, ඔවුන් තුළ ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ මුළාවේ බලය එවන සේක. 12 මෙසේ, සත්‍යය විශ්වාස නොකොට පාපයට ප්‍රිය කරන සියලු දෙන විනිශ්චය කරනු ලබති.
ගැළවීම සඳහා තෝරාගනු ලැබීම
13 සමිඳාණන් වහන්සේගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, අප නිතර ම ඔබ ගැන දෙවියන් වහන්සේට තුති පිදිය යුතු ය. මන්ද, ආත්මයාණන් විසින් ඔබ පිරිසිදු කරනු ලැබීමත්, සත්‍යය විශ්වාස කිරීමත් කරණකොටගෙන ඔබ ගැළවෙන පිණිස, දෙවියන් වහන්සේ ආරම්භයේ සිට ම ඔබ තෝරාගත් නිසා ය. 14 එසේ දෙවියන් වහන්සේ ඔබ කැඳෙව්වේ අප ඔබ වෙතට ගෙනා සුබ අස්න මඟින් ය. ඒ කැඳවීම ඔබ ලැබුවේ අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මහිමයට ඔබ පංගුකාරයන් වන පිණිස ය. 15 එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.
16 අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, අපට ප්‍රේම කොට සදාතන ධෛර්යයත්, යහපත් බලාපොරොත්තුවත්, වරප්‍රසාදයත් මඟින් අපට දුන් අපගේ දෙවි පියාණන් වහන්සේ ද 17 ඔබගේ සිත් ධෛර්යවත් කර, සියලු යහපත් දේ කීමට ද කිරීමට ද ඔබ ශක්තිමත් කරන සේක් වා!
3යාච්ඤා කරන මෙන් ඉල්ලීමක්
1 අවසන්කොට, සහෝදරවරුනි, ඔබ අතර සිදු වූ ලෙස ම අන් තැන්වලත් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ගෞරවයට පැමිණෙන පිණිස, අප උදෙසා යාච්ඤා කරන්න. 2 හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත. 3 එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක. 4 තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත. 5 සමිඳාණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා!
රැකියාවක් කිරීමේ යුතුකම
6 තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු. 7 අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත. 8 අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු. 9 අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය. 10 “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු. 11 ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත. 12 එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.
13 එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න. 14 යමෙක් මේ හසුනේ සඳහන් අපගේ අවවාදවලට කීකරු නොවන්නේ නම් ඔහු සිතේ තබා ගෙන, ඔහු ලජ්ජාවට පමුණුවන පිණිස ඔහු ඇසුරු නොකරන්න. 15 එහෙත් ඔහු සතුරෙකු මෙන් නොසලකා, සහෝදරයෙකුට මෙන් ඔහුට දැනමුතුකම් දෙන්න.
අවසානය
16 සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා! 17 හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි.
18 අප ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!